ඇත්තටම ආරි අක්කා කියන්නේ කවුද කියන රූපය රාජරත්නම් දැක්කට පස්සේ රාජරත්නම් ගෙ මූණ වෙනස් වුණා කියන්න හඳ එළියෙන් මම දැක්කා. ඒ වුණාට ඒක බිංදුවක්වත් එළියට නොපෙන්වා ඉන්න තරම් රාජරත්නම් දක්ෂ වෙලා හිටියේ එයාගේ වෘතීය නිපුණත්වය හින්දා කියලා මට හිතුනා.
“ඉදගන්න…”
වෙරළු ගෙඩියක් උගුරෙ හිරවෙච්ච කටහඬකින් ආරි අපට කිව්වා ම
“ආරි අක්කට පොඩි බඩුවකුත් ගෙනාවා.. කැමතිනම් ඒක බිබී කතා කරන්නත් පුළුවන්..”
රාජරත්නම් කිව්වේ හරියට අවුරුදු දාහතක දඟ කොලු ගැටයෙක් වගේ..
එහෙම කියන ගමන්ම බ්ලූ රෙකාඩ් කියලා ගහපු අලුත්ම විස්කි වර්ගයේ බෝතලයක් රාජරත්නම් එළියට ඇදලා ගන්නකොට ආරි අක්කගේ ඇස් ගෙඩි දෙක ජිල් බෝල දෙකක් වගේ දිලිසෙනවා හද එළියට මම දැක්කා.කෑදර විදිහට හිනා වෙච්ච ආරි අක්කා ගේ ඇතුළට ගිහිල්ලා වීදුරු තුනක් අරගෙන ආවා…
“ආරි අක්කේ .. මේ මහත්තයා නං ඕව පාවිච්චි කරන්නේ නෑ. අද මටත් ඕක පාවිච්චි කරන්න විදිහක් නෑ..මම පොඩි බාරයක් වෙලා තියෙන්නේ..අපි ඔහොම කතා කරන ගමන් බොමු.ආරි අක්කා ආසයි කියන්න මම දන්නවා.”
“මේ මහත්තයලා කවුද කියලා හිටියනම් ඉස්සර වෙලා…”
“ඇත්ත නේන්නම් අපි කවුද කියලවත් මෙච්චර වෙලා අඳුන්වලා දුන්නේ නෑ නේද..
අපි දෙන්නා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු දෙන්නෙක්.අපි දෙන්නම සමාජ විද්‍යා පීඨය තමයි වැඩ කරන්නේ.අපි පොඩි විස්තර වගයක් හොයනවා.අපිට ඕනේ නීති විරෝධී ගබ්සා සිද්ධවෙන්නේ කොහොමද කියන විස්තර ටික දැනගන්න.”
“ගබ්සා….?”
ආරි අක්කා එහෙම අහපු විදිහට මට බය හිතුනා එයාට තරහා ගිහින් කියලා. ඒ වුණාට රාජරත්නම් ටිකක් වත් කලබල වුණේ නෑ..මේ හැම වෙලාවකම මම දැක්ක එක සුවිශේෂී දෙයක් තමයි රාජරත්නම්ගේ තිබිච්ච වෘත්තීය නිපුණතාවය.ඒ තිබුන ඉවසීම ඒ තිබුන නිවුණකම යම්කිසි අපරාධකාරයෙක්ගෙන් තොරතුරක් දැන ගන්න කොට ආවේගශීලී නොවී කලබල නොවී නූලට තිතට හරි තැනේට ඇනේ ගහන්න පුළුවන්කම පිහිටන්නේ දක්ෂ නිලධාරියෙකුට විතරයි.ඇත්තටම රාජරත්නම් වගේ නිලධාරියෙක් හරි යන්නේ ඇමරිකාවේ රහස් ඔත්තු සේවයට කියලා මට නිකමට හිතුණා. ලංකාව වගේ රටක මේ වගේ දක්ෂ නිලධාරියෙක්ගෙන් ගන්න ලොකුම උදව්ව එක්කෝ කසිප්පු අල්ලන්න නැත්තං කුඩු අල්ලන්න…එච්චර තමයි..
“මෙහෙමයි ආරි අක්කේ ..අපි ඔයාට ඇත්තම කතාව කියන්නංකො..
අපේ මේ පර්යේෂණය මූලික වෙන්නේ… මොකක් හරි වෙනස් විදිහේ හැසිරීමක් තියෙන මනුස්සයෝ ගැනයි.දැන් ඔයාට දැනගන්නත් එක්ක මම එකක් කියන්නම්.මේ ඉන්නේ මහාචාර්ය රංජන් දේව..මම මහාචාර්ය පියසිරි… අපි දෙන්නා අවුරුද්දක් කොළඹ ලිකාඩෝ හෝටලයේ වේටර්ලා දෙන්නෙක් විදිහට වැඩ කළා.හැබැයි ඒ ගැන කවුරුවත් දන්නෙ නෑ.ඒක දන්නෙ හෝටලයේ අයිතිකාරයා විතරයි.අපිට ඕන උනා මේ හෝටලයට එන එක එක විදිහේ හැසිරීම් තියෙන මිනිස්සුන්ව හොයාගන්න.එතනදි දැක්කා අපි එක සුද්දියක් හැම තිස්සේම බ්‍රීෆ් කේස් එකක් අතේ තියාගෙන තමයි කාමරයක් බුක් කරන්නේ.මුලින් අපි හිතුව මොකක් හරි ජාවාරමක් කියල.ඒ වුනාට පස්සේ අපිට හිතුනා එතන මොකක් හරි වෙන දෙයක් තියෙනවා කියලා.ඊට පස්සේ අපි බොහොම රහසිගතව හෝටලේ අයිතිකාරයත් එක්කත් කතා කරලා හැමදාම අර සුද්දි බුක් කරන කාමරයේ හොර හිලක් හදාගත්තා බලන්න.ඇත්තටම ඒක සදාචාර විරෝධී තමයි.හැබැයි අපි කරන්නේ පර්යේෂණයක් හින්දා අපිට ඒ දේ කරන්න සිද්ධ වුණා.දැන් ආරි අක්කා හිතන්නේ අපි මොනවද දැක්කේ?..”
මගේ පිට දිග සීතල වේගෙන යනවා වගේ මට තේරුණා.අපි මේ ප්‍රශ්නය ගැන උඩින් හිතනකොට රාජරත්නම් දවස් දෙකක් තිස්සේ නිදි නැතිව අද කතා කරන දේවල් පෙළගස්වන්න ඇති කියලා මට හිතුනා.
බින්දු මාත්‍රයක් ගොතගහන්නේ නැතුව හිතන්නෙ නැතුව මේ විදිහට බොරු ගංගාවක් අතාරින්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරුව ගියා.ඒ අව් අස්සේ රාජරත්නම් මට දාපු අලුත් නම මොකක්ද කියන්නත් මට මතක නැතුව ගියා.
මේ වෙනකොට ආරි අක්කා විස්කි වීදුරුවක් විතර බීලයි හිටියේ. රාජරත්නම් සැන්ඩිවලට ගෙනල්ලා තිබුණේ ටොනික් එකක් හින්දා වැඩේ නැගලා යනවා කියලා මට හිතුනා.සාමාන්‍ය සෝඩා ස්ප්‍රයිට් වලට වඩා ටොනික් එකක් කලවං උනහම ෆීලින් එක ඉක්මනට දැනෙනවා කියලා මම අහල තිබුණා.
“ම්ම්..හිතාගන්න බෑ නේ සර්..”
ආරි අක්කා කිව්වේ රාජා අහපු ප්‍රශ්නෙටයි.
“ආරි අක්කා ට කියන්න.. අපි දෙන්නා දැකපු දෙයින් අපි දෙන්නත් ගල් ගැහුණා.ඒ බ්‍රීෆ් කේස් එක ඇතුලේ හිටියේ තඩි පිබුරෙක්… ඔව්.. කහ පාට දුඹුරු පාට කලවං වෙච්ච තඩි පිඹුරෙක්..මේ සුද්දී ඔක්කොම ඇඳුම් ගලවලා දාලා අර පිඹුරා එක්ක තමයි අහවල් වැඩේ කළේ..හිතාගන්න බෑ නේද…”
ආරි අක්කා විස්කි වීදුරුව අතේ තියාගෙන ඇස් ගෙඩි දෙකත් උලුප්පගන රාජ දිහා බලාගෙන හිටියා.රාජා මේ මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරුව මාත් රාජා දිහා බලාගෙන හිටියා.මගේ හැසිරීම හින්ද අපේ මුළු ප්ලෑන් එකම අවුල් වෙයි කියලා මට බය හිතුණා. ඒ හින්දා මාත් ඒ ගැන දන්න විදිහට හැසිරෙන්න පටන් ගත්තා.
“ඉතින් මහත්තයා වෙන මොනවද ඔය වගේ දේවල් දැක්කේ..දැන් ඊට ඉස්සෙල්ලා කියන්නකො මාව හම්බවෙන්න ආවෙ ඇයි කියලා..”
“මෙහෙම යි ආරි.. ඒ සිද්ධියෙන් පස්සේ අපි දෙන්නටම ඕනෙ වුනා අසාමාන්‍ය ලිංගික හැසිරීම් තියෙන මිනිස්සු ගැන පර්යේෂණයක් කරන්න.ඔය වගේ අපි තව හොයාගත්ත ගොඩක් දේවල් තියෙනවා. අපිට ඕනේ තව තවත් අලුතෙන් දේවල් හොයාගන්න.වෙත්තමුනි මහත්තයා මගේ යාළුවා. එයත් දන්නවා අපි කරන පර්යේෂණ ගැන.කොහොමත් අපි මේවා ඔක්කොම කරලා ඇමරිකාවට තමයි අරින්නේ.. මගේ උවමනාව මම වෙත්තමුනි මහත්තයා එක්ක කියනකොට එයා තමයි මට ඔයාව හම්බවෙන්න කියලා කිව්වේ.පාස් වර්ඩ් එක ගැනත් කිව්වේ එයා තමයි.ඒක කිව්වහම ඔයා දොර අරි කියලා කිව්වා. ආරි අක්ක පරණ වින්නඹු අම්මා කෙනෙක් කියලා කිව්වා. ඔයා ළඟ ගොඩක් අත්දැකීම් ඇති කියලත් කිව්වා.”
රාජා හෙමින් හෙමින් විස්තර කියන අතරේ ආරි අක්කා හෙමින් හෙමින් විස්කි බෝතලය අඩු කරමින් උන්නා. විස්කි වදින්නේ තැපෑලෙන් බව අපි දැනගෙන උන්නා.ආරි අක්කගෙ හරි පදම එනකන් අපි දෙන්නට සෑහෙන වෙලාවක් වල්පල් දොඩව දොඩව ඉන්න සිද්ධ වෙන බව අපි දැනගත්තා..
“අපේ සර් කෙනෙක් ඉන්නව නන්දසේන රත්නපාල කියලා ආරි අක්කා අහලා තියෙනවාද දන්නේ නෑ…”
මොනවා හරිම දෙයක් මමත් මෙතන කියන්න ඕන හින්දා
නන්දසේන මහත්තයාගේ පොතක තිබිච්ච දෙයක් දෙයියො දුන්නා වගේ මට ඒ වෙලාවේ මතක් වුණා.
“අපි සර් එක්කත් වැඩ කරලා තියෙනවා.එක සැරයක් අපිට අහු උනා ….ඒ මනුස්සයා ඇඳුම් ඇඳගෙන මනුස්ස වේශයෙන් ඉන්න ප්‍රේතයෙක්.. ඇයි දන්නවද මම එහෙම කියන්නේ..මිනිහා ඔය එක එක තැරැව් වැඩ කරන මිනිස්සුන්ට විශාල මුදලක් දීල යම්කිසි දෙයක් ගෙන්න ගන්නවා.මොනවද දන්නවද..පුළුවන් තරම් කිලුටු වෙච්ච ගෑනුන්ගේ යට ඇඳුම්..හිතා ගන්නත් බෑ නේද..මිනිහා බත් කන්නෙත් අර යට ඇඳුම්වලින් අල්ලලා තමයි. අන්න ඒ වගේ දේවල් තමයි අපි හොයන්නේ..
එතකොට ඔය කටුනායක වෙළඳ කලාපයේ ඉන්න ගෑනු ළමයින්ට කීයක් හරි වැඩිපුර අත මිට මොලවලා තමයි ඒ යට ඇඳුම් අරූ අරගන්නෙ..ඒක නිකං ජාලයක් වගේ..”
මම එහෙම කියනකොට රාජරත්නම්ගේ මූණ මලක් වගේ පිපුනා.සමහරවිට මම නොහිතා කියපු දේ නූලට මිම්මට ගැළපුණා වෙන්න පුළුවන්. අපි හරි ට්‍රැක් එකට වැටුනා වගේ හිනාවක් තමයි රාජරත්නම් ට ගියේ..
“අන්න හරි..දැන් ආරි අක්කට තේරෙනවා නේද අපි හොයන්නේ කොයි විදිහේ අය ගැනද කියලා..”
අපි එහෙම කියනකොට ආරි අක්කා එයාගේ දිග ලෝගුවක් වගේ ගවුම කකුල් දෙක අස්සට ගහගෙන එයාගේ කකුල් දෙක පුටුව උඩට ගත්තා.ඇස් දෙක වගෙන අහස පැත්තට මුහුණ දික් කරගෙන
“සිදුහත්ට පෙම් කෙරුව
හින්දා ම හැමදාම
කුමරි බිම්බා කදුලු බිව්වා..
තනිකඩව උන් මමත්
කොහේ හරි කල පිනක්
පලදුන්නු දා නුඹව දුටුවා..
බුදුවෙන්න දුර උනත්
සෙනෙහසට මුතුමිනක්
ඒ සොදුරු හිත ඇතුලෙ
තිබුණා …”
කියලා …මහා ගැඹුරු කටහඬකින් ආරි අක්කා ඔහේ කියවන්න පටන් ගත්තා..