“ඒ කියන්නෙ උඹ ඉන්නවද අද මූවි නයිට් එකට?” කේශිනී ඇසුවේ සිනාව දෙතොලින්ද මුහුණෙන්ද විසිර යන්නට ඉඩ දීය.
“ඔව්”
“තාත්තා එන්නම් කිව්වද රෑට එක්කන් යන්න”
“නෑ තාත්තා එන්නෙ නෑ.”
“එතකොට කොහොමද යන්නෙ?”
එයට ඉතින් උත්තර දෙන්න සුදුසුකම ඇත්තේ අරුණලීට නොවේ කිමල්ටය. තාත්තා ආ යුතු නැති බවත් අරුණලීට හෙට මූවි නයිට් එකට එන්නට ඉඩ දෙන්න යැයි කියා ආරියරත්නගෙන් ඇසුවේ කිමල් ය. ඒ ඊයේ සුවඳ සිහින කැම්පේන් ස්ක්‍රිප්ට් එක කිමල්ට පෙන්වා දුන්නායින් පසු අරුණලී කැබින් එකෙන් පිටව ගියායින් පසුවය.
“තාත්ත එනව නේද එක්කරගෙන යන්න?”
“ඔව්”
“හෙට තාත්තට එන්න වෙන්නෙ ගොඩක් රෑ වෙලා නේද?”
“මම හෙට ඉන්නෙ නෑ, රෑ වෙන හන්දා”
“ඇයි ඒ?”
“අනේ තාත්තට රෑ වෙලා එන්න කියන එක වැරදි නෙ. ඔෆිස් එකේ වැඩක් උනා නම් මං නතරවෙනව. ෆිල්ම් එකක් බලන්න නිසා තාත්තා රෑ වෙලා එන්න කියන එක වැරදිනෙ. මගෙ හිතට හරි නෑ ඒක”
“ඔයා ආසද ඉන්න?”
අරුණලීගෙන් වචනයෙන් උත්තරය පිටවුණේ නැති නමුත් දෙතොල් ලිහී දෙපසට විහිදී දුන් උත්තරය කිමල්ට ඇතිය.
“තාත්තා දැන් ඇවිල්ලද ඉන්නෙ ඔයාව එක්කරගෙන යන්න?”
“ඔව් එළියෙ ඇති”
“ඕකේ දෙන් ඔයා එහෙනං යන්න, මේකෙ චේන්ජස් අපිට හෙට ෆස්ට් හාෆ් එකේ කරගන්න පුලුවන් වෙයි නේද?”
අරුණලීට යන්නට හැර බලා හුන් කිමල් අඩිය ඉක්මන් කර තම කැබිනයෙනුත් අනතුරුව කාර්යාලයේ දොරටුවෙන් එලියට ගොස් වටපිට බැලුවේ ආරියරත්න මහතා දැකගනු පිණිසය. කිමල් කාර්යාලයෙන් පිටතට එනයුරු නොදැකි ආරියරත්න උන්නේ ප්‍රධාන පාරෙ සිට ක්‍රියේටිව්ස් ආයතනයට හැරෙන අතුරු පාර ආද්දර තම්බර්ජියා මල් වැල අසල සිටගෙනය.
ඔහු වෙත ගොස් ඔහු හා කතාකරන්නට කිසිවෙකුගෙන් අවසරයක් උවමනා ඌයේ නැති වුවද කිමල් වීරවර්ධනට දැනුනේ තමා ආපසු වරක් පාසල් යන වියේ කොල්ලෙකු වී ඇති බවය. එදවස ආදරය යැයිවරදවා වටහාගෙන උන් ආකර්ශනයට නතු වූ කෙල්ලකගේ මව් පියෙක් දකිද්දූ වූ බියම, ලැජ්ජාවම, සබකෝලයම ආරියරත්න මහතා ඉදිරියේ තම සිතෙන් පිටතට පැන දෙනෙතින් විද්‍යාමාන වේ යැයි කිමල්ට දැනුනි.
වෙනදාට කඩිනමින් තබන පියවර මදක් සෙමෙන් තබන්නට හේතුවක් වූයේ ඒ බිය, කුතුහලය, සබකෝලය නිසාම වේගවත් වූ හද ගැස්ම විය හැක.
“අංකල්”
තම්බර්ජියා මල් ගාල අසල සිටගෙන ලොකු කුඩය බිම තබා එයට බර දී උන් ආරියරත්න හැරුණේ ඒ හඬටය. ඒ ඇමතුමටය.
“ආහ් පුතානෙ, මං ඒත් බැලුව කවුද කියල”
“කොහොමද අංකල්?”
“හොඳයි පුතා, දන්නවනෙ ඉතින් වයසට තියෙන ඇඟපතේ අමාරු ඇරුණම ඉතින් හොඳින් ඉන්නව කියන්න පුලුවන්”
එක එල්ලේම තමන්ගේ දෙනෙත් දෙසම බලාගෙන කියන ආරියරත්න මහතාගේ හඬේ තිබෙන්නේ සුහද බවකි. එහෙත් ඒ දෙනෙත් හී සැර මෙන් තම දෙනෙත් තුලින් තම සිත අභ්‍යන්තරයට පිවිස විමසන බවක් කිමල්ට නොතේරුනා නොවේ. දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්, විශේෂයෙන් විවාහය ප්‍රේමය නිසා වරක් වේදනාවට පත් වූ හිතක් ඇති දුවෙක් හිඳිනා තාත්තා කෙනෙක් තමන් වැනි පිරිමියෙකු දෙස එසේ බැලීමේ වරදක් නැත. ඒ විමසුම්සහගත ඇස තාත්තා කෙනෙකුගේ ආදරය මොනවට කියාපාන්නකි.
“අරුණලී දැන් එයි අංකල්. මීටින් එකක් තිබුනා ඒකයි ටිකක් ලේට් උනේ”
“අයියෝ ඒක මොකද්ද, මට මොකෝ ගෙදර හිටිය කියල කරන්න වැඩක් තියෙනව කියලද? වෙනසකටත් එක්ක මේ එන එක හොඳයි. පුතාලා වැඩ කරගන්න” කියා ආරියරත්න කියන්නේ සිනාසෙමිනි.
ඒ සිනවට එක්වුණද කිමල් උන්නේ ප්‍රශ්නයක් හිතේ තද කරගෙනය. ඒ ප්රශ්නය තමා ඇසිය යුතුද, ඒ අසන්නට සුදුසුම තැන මෙතනද, සුදුසුම මොහොත මෙයද කියා කිමල් තමන්ගෙන්ම ප්‍රශ්න කරමින් උන්නේය.
“මේ අංකල්”
“කියන්න පුතා” කියමින් ආරියරත්න ආපසු ඒ විමසුම් සහගත බැල්ම කිමල්ගේ තද කලු පැහැ දිගු දෙනයන වෙත යොමු කරේය.
“හෙට මේ අපේ ඔෆිස් එකේ මූවි නයිට් එකක් තියෙනව. අලුත් දෙයක් නෙවෙයි අපි දැන් අවුරුද්දක එකහමාරක විතර ඉඳල කරගෙන එන එකක්. අරුණලීට ඉන්න පුලුවන් උනා නම් හොඳයි කියල හිතුව වෙනසකටත් එක්ක”
“ආහ් ඒකට මොකක් වෙනවද? ඒ කියන්නෙ මං හෙට තව රෑවෙලා ආවනං හරි නේද අරුණලීව එක්කරගෙන යන්න?”
ආරියරත්න මහතා සිනාසෙමින් උන්නද කිමල් උන්නේ කතාවේ ඊලඟ කොටස කියන්නේ කෙසේද කියා සිතාගන්නට නොහැකිවය. කතාවේ හොඳම හරිය එයය. එහෙත් අහන්නට අමාරු කොටසත් එයමය. එහෙත් තව මොහොතකින් හෝ දෙකකින් අරුණලී මෙහි ආහැක. අසන්නට ඇති යමක් ඇසිය යුත්තේ එයට කලිනි.
“අංකල් වරදක් හිතන්නෙ නැත්තම් මම හෙට මූවි නයිට් එක ඉවරවෙලා අරුණලීව ඩ්‍රොප් කරන්න නම් අංකල්. ඔන්ලි ඉෆ් අංකල් ආ ඕකේ විත් දැට්”
කේශිනීත් අරුණලීත් සිනාසෙමින් කතා කරන්නේ අද හවස හයට ඇරඹෙන මූවි නයිට් එකට අරුණලී නතරවෙන සතුට බව ඇතුලත සිට බලද්දී පමණක් පිටත පෙනෙන වීදුරු සහිත කැබින් එකෙන් ඔවුන් දෙස බලා උන් කිමල් දැන උන්නේය.
අද අරුණලීට මෙසේ හිනාවෙන්නට ඊයේ තමන් ඇගේ පියා ඉදිරිපිට නැටූ නාඩගම මතක් වෙද්දී කිමල්ටම හිනාය.
ආලය වෙනුවෙන් මෙවන් දේ කරන්නට සුදුසු වයසකද තමා ඉන්නේ කියා සිතුවද ආදරය දැනෙන්නට ආදරය කරන්නට, ආදරයෙන් බැඳෙන්නට වයසක් තිබේද? නැත. ආදරය ඇතිවෙන්නේත් දැනෙන්නේත් ඒ ආදරය ඇතිවන හදවත්වලට පවා හොර රහසෙන් ය.ඒ හොර රහසේ නැගෙන ආදරය පොඩ්ඩක් හෝ එලියට පනින්නේ මෙවන් අවස්තාවකදී පමණය.
“පුතා මගෙන් ඇහුව එකට මං ගොඩක් සතුටුයි.පුතාව දැක්ක දවසෙම මං දැනගත්තා කෙලින් කතා කරන මනුස්සයෙක් කියල. හැබැයි පුතා ඕකට අවසර ගන්නෝන ඉතින් මගෙන් විතරක් නං නෙවෙයි” ආරියරත්න කිව්වේ සුහදවය. දෙනෙතින් සිනාසෙමිනි.
“මම ඕන්නම් ආන්ටිට කතා කරන්නං අංකල්”
“ආහ් මං මේ කිව්වෙ ආන්ටි ගැන නෙවෙයි. එයා ගැන මං බලාගන්නම්කො, අරුණලී හෙට ෆිල්ම් එක බලන්න ඉන්න කැමති නම් කමක් නෑ”
එදා උදේ වරුවත් දිවා වරුවත් ගෙවුනේ හවස් වරුව ගැන සිතමිනි. කිමල් උන්නේ මද සිනා රැල්ලකින්වත් හිතෙේ ඇති උද්යෝගය එලියට පෙන්වන්නේ නැතුවය. අනෙක් අතට අරුණලී උන්නේද පුදුම සතුටකිනි. මෙවන් සතුටක් වින්ද කාලයක් මතක නැති තරම් ය. ජීවිතය ප්‍රශ්න රැසකින් පිරී තිබෙද්දී මෙවන් කුඩා දෙයකට වුව මහත් සතුටක් ඇති කරන්නට ඇති හැකියාව නම් පුදුමය.
මීටින් අතරතුර කිහිපවරක්ම කිමල්ගේ දෙනෙත් හා තම දෙනෙත් ගැටෙද්දී අරුණලී සිනා රැලි කිහිපයකින්ම කියා පෑවේ ඒ සතුට ලබා දීම ගැන ස්තුතිවන්ත වන බවය.
අරුණලී හිතා උන්නේ ඒ සිනා රැලිවල තේරුම කිමල් තේරුම් නොගත්තද එසේ හෝ ස්තුතිවන්ත විය යුතුයි කියාය.
එහෙත් අරුණලී නොදන්නවාට කිමල් උන්නේ ඒ ගැටපදය අපූරුවට ලෙහා ගනිමිනි.
හෙමෙන් හෙමෙන් පිපෙන්නට යන්නේ වසන්ත කාලයක පලමු මල් පොහොට්ටුවය.