මිය ගිය තාත්තගෙ ආදරෙන් පණ ගැන්වුණ පුතෙක්ගෙ කතාව(La’Avion)

අපි ගොඩක් වෙලාවට කියනවනෙ පුතාලා කියන්නෙ අම්මලගෙ සුරතල්ලු එහෙම නැත්තම් Mama’s boy කියල. ගොඩක් තැන්වලදි ඇත්තටම අපි දකිනව පුතාලා තාත්තලට වඩා ලඟ අම්මලට. තාත්තල එක්ක බහුතරයක් පුතාලට තියෙන්නෙ දුර සබඳතාවයක්. අපේ ගෙදරත් එහෙමයි. තාත්තගෙ උකුලෙ වාඩිවෙලා ෆිල්ම් බැලුවෙ, තාත්තා එක්ක හැම දේම කතා කරේ මම.

අපේ තාත්තා Aircraft engineer කෙනෙක්. තාත්තා ඉස්සර වැඩ ඉවරවෙලා කොළඹ ඉඳල එද්දි අපිට බලන්න ෆිල්ම්ස් අරගෙන එනව. එහෙම අරගෙන ආව එක චිත්‍රපටයක් තමයි La’ Avion කියන්නෙ. මම ජීවිතේ බලපු හරිම වේදනාබර කතාවක් තියෙන චිත්‍රපටයක් කියල මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. සමහරවිට ඒකට හේතුව වුනේ මේ චිත්‍රපටයෙ ඉන්න තාත්තා වගේම අපේ තාත්තත් ගුවන් යානා සම්බන්ධ රැකියාවක් කල හන්ද වෙන්නැති.

ඉතින් චිත්‍රපටයෙ කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම.

චාලි කියන්නෙ පොඩි දරුවෙක්. චාලි බලාගෙන ඉන්නව මෙදා පාර නත්තලට එයාගෙ තාත්තා බයිසිකලයක් අරගෙන දෙනකම්. චාලිගෙ තාත්තා වැඩ කරන්නෙ ටිකක් ඈත පලාතක. චාලි ගෙදර ඉන්නෙ අම්මා එක්ක. ඒත් නත්තල් තෑග්ග විදියට චාලිට ලැබෙන්නෙ කිසිසේත්ම බලාපොරොත්තු නොවිච්ච දෙයක්. ඒ තමයි එයාගෙ තාත්තම හදපු පොඩි සෙල්ලම් ප්ලේන් එකක්.

හැබැයි ඒ ප්ලේන් එකත් සතුටෙන් භාරගන්න චාලිට පූලුවන් කමක් ලැබෙන්නෙ නෑ මොකද චාලිගෙ තාත්තා මිය ගිහින් කියන පුවත එක්ක තමයි මේ තෑග්ග එන්නෙ. චාලි ඇත්තටම තෑග්ග දිහා ඇහැක් ඇරල බලන්නෙත් තමන්ගෙ තාත්තා නැතිවෙච්ච වේදනාව එක්ක දවස් ගාණක්ම ඇඬුවයින් පස්සෙ.

කොහොමහරි මේ ප්ලේන් එක නිකන්ම නිකන් සෙල්ලම් ප්ලේන් එකක්ම නෙවෙයි, තමන්ගෙ තාත්තා තමන් වෙනුවෙන් එවපු ආදරය සහ මැජික් එකක් මුසු වෙච්ච ප්ලේන් එකක් බව චාලි තේරුම්ගන්නෙ පස්සෙ. චාලි දන්නව මේ ප්ලේන් එක ඇතුලෙ තමන්ගෙ තාත්තා එයාගෙ ආත්මය සහ ආදරය හංගල එවල තියෙන බව.

ඒ සිතුවිල්ල ඇත්තක් කරමින් මේ ප්ලේන් එක චාලි එක්ක Communicate කරන්න පටන් ගන්නවා. ප්ලේන් එක පටන් ගන්නව චාලිගෙ සිතුවිලි අනුව වැඩ කරන්න. අසාමාන්‍ය බලයන් ප්‍රදර්ශනය කරන්න. හැබැයි මේ හැමදේම චාලි ඉස්සරහදි විතරයි.චාලිගෙ අම්ම හරි වෙන කෙනෙක් ඉස්සරහදි හරි මේ ප්ලේන් එක නිකන්ම නිකන් සෙල්ලම් ප්ලේන් එකක් විතරයි.

හැබැයි චාලි මේ ප්ලේන් එක ගැන කියන කතා අහගෙන ඉඳල අම්ම හිතනව තාත්තා නැති උන එක චාලිට අහිතකර විදියට මනසට බලපාල කියල. අම්ම චාලිව වෛද්‍යවරයෙක් ලඟටත් එක්කරගෙන යනව. ඒත් චාලි දන්නව මේව ඔලුව ඇතුලෙ මැවිච්ච දෙයක් නෙවෙයි තමන් ඇත්තටම අත්විඳින දෙයක් කියල.

ඒත් ඇත්තටම ලෝකය, සමාජය ඇතුලෙ සෙල්ලම් ප්ලේන් එකකට පණ තියෙනව කියල හිතන් ඉන්න පොඩි කොල්ලෙක්ට ජීවිත් වෙන එක පහසු වෙනවද?

අන්න ඒ අපූරු කතාව තමයි මේ La’Avion චිත්‍රපටයෙන් අපි වෙත අරගෙන එන්නෙ.

La’Avion කියන්නෙ තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර තියෙන ආදරණීය බැඳීමක් ගැන හරිම අපූරුවට ගෙත්තම් කරපු චිත්‍රපටයක්. අභව්‍ය සිද්දියක් උනාට මේ චිත්‍රපටය ඒ අභව්‍ය සිද්දිය පවා අරගෙන එන හැඟීම්බර විදිය ඇස්වලට කඳුලු අරගෙන එනවා. චිත්‍රපටය අපිට කියල දෙනව ආදරණීයයන් නැතිඋනාම දැනෙන වේදනාව, ඒ දුක දරාගන්න විදිය, අපි මනසින් මොන තරම් කඩා වැටෙනවද කියන එක. තාත්තා කෙනෙක් නැතිවෙන එක පොඩි දරුවෙක්ගෙ මනසට කොච්චර අපහසු දරාගැනීමක් වෙනවද කියන එක.

මේ චිත්‍රපටය අහිමිවීම, දරාගැනීම සහ ඔරොත්තු දීම කියන සියුම් සංකල්පයන් හරිම සුන්දරව විග්‍රහ කරනවා. චාලිගෙ ගමන දුක වගේම සතුට කියන හැඟීම දෙකම සමව එක්කහු වෙච්ච ගමනක්. තාත්තා නැතිවෙච්ච දරුවො තමන්ගෙ තාත්තා ඉතුරුකරල ගිය සුන්දර මතකයන් එක්ක ජීවිතේ ඉස්සරහට ගැටගහගෙන යන අපූරු කතාව තියෙන මේ චිත්‍රපටය බලන්නම ඕන එකක් කියල මම හිතනව.

ඕනම දරුවෙක්ගෙ ලෝකෙ තාත්තා කියන්නෙ වීරයෙක්. Super Powers තියෙන කෙනෙක්. එහෙම  Super Powers තිබිච්ච මනුස්සය නැති උනාම දැනෙන වේදනාව දරාගන්නත් Super Power එකක් අපිට තියෙන්නම ඕන.

ඉතින් මේ චිත්‍රපටය හොයාගෙන හරි බලන්න.

චිත්‍රපටය හොයාගන්න පුලුවන් කෙනෙක් හෝ තියෙන කෙනෙක් ඉන්නවන්ම් ඒක අපි එක්කත් බෙදාගන්න කියල ආදරෙන් ඉල්ලන්නත් කැමතියි. 

Related Articles

Don't Miss


Latest Articles