“අවුරුදු ගාණක් ආදරේ කරත් කෙල්ලො අන්තිමේ කරන්නෙ රවට්ටන එක. ඔන්න රට ඉන්න කොල්ලො හොඳට මතක තියාගන්න උඹ රට ඉද්දි කෙල්ල ඉන්නෙ ලංකාවෙනම් මචං කෝකටත් ඇහැදාගෙන ඉඳපන්. උඹල රට ගිහින් දුක් විඳින ඒව උන්ට අදාල නෑ. උන්ට ඕන උඹල එවන තෑගියි සල්ලියි අරං විනෝදෙන් ඉන්න විතරයි”
“අපෝ අපිට අපේ මිනිස්සු වඳින්න ඕන මල් තියල. මාස ගාණකට වතාවක් ගෙදර එන්නෙ. ඒත් අපි ලස්සනට ජීවත් වෙනව”
“මගෙ මහත්තය සීමන් කෙනෙක්, කතාකරන්නවත් වෙන්නෙ නෑ අපිට සමහරවෙලාවට සිග්නල්.ප්‍රශ්න හන්ද. එහෙම වෙලත් අපි කොච්චර ආදරෙන් ඉන්නවද?”
“රට ඉන්න කොල්ලො ඔන්න හොඳට තේරුම්ගන්න ඕන. උඹලට අන්තිමේ දුක් විඳින්න වෙන්නෙ”
“මිනිහව රට යවල උගෙ සල්ලිවලින් ආතල් ගන්න ගමන් උන් මෙහෙන් වෙන කොල්ලො හොයාගන්නව. කොල්ලන්ගෙ නෙවෙයි වරද. හැම එකා ලඟටම යන කෙල්ලන්ගෙ”
මෙනුක විසින් අරුණලීගෙ මුහුණ පමණක් පෙනෙන ලෙස සැකසූ පින්තූරයක්ද මෙනුක සහ අරුණලී අතර හුවමාරු වූ වට්සැප් චැට් කිහිපයක ස්ක්‍රීන්ට්ශොට් ද අමුණා ආදරය බිඳවැටීම නිසා හිත් රිදවුණු අය වෙනුවෙන් වෙන් වුණු ෆේස්බුක් ගෘපයක දමා තිබූ ඇත්තට බොහෝ ඈතින් රැඳුණ බොරුකාර කතාවක් මුහුණු පොත සිසාරායමින් තිබෙන බවත්, අක්කා කාමරයේ දොර වසාගෙන හිඳින බවත්, හැකිතාක් ඉක්මනට එන මෙන් ඉල්ලමින් කිමල්ට කතා කරේ සඳලිනීය.
“අනේ අයියෙ, තාත්තත් ගෙදර නෑ අයියෙ, නුවර ගිහින්. අනේ අයියෙ එන්නකො. අක්ක කාමරේ දොර අරින්නෙම නෑ අයියෙ. අම්ම හොඳටම අඬනව”
කිමල් ඇඳෙන් නැගිට්ටා නොව, පැන්නේය. තප්පරෙන් දෙකෙන් මුහුණට වතුර ඉසගත් කිමල් අතට අසුවූ ඇඳුමක් දමාගෙන කාරයට නැග්ගෙ සෙරෙප්පුද නැතුවය. අද සති අන්තයේ දවසක් වූ නිසාවෙන් කිමල් උන්නේ මදක් වැඩිපුර නිදාගන්න බලාපොරොත්තුවක් වුවත් මේ වී තිබෙන්නෙ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි.
විවේකී සති අන්තයක මෙතරම් උදෑසනින් අවදි නොවන් පුතු කාමරයෙන් එලියට පනිනුත්, දුවගෙන් මෙන් පහල තට්ටුවට එනුත් පේශලා බලා උන්නේ අයාගත් දෙනෙතිනි.
“ඇයි පුතා ඇයි ඇයි?”
“අම්මා යාලුවෙක්ට හදිසියක්, විල් කෝල් යූ” කියමින් වාහනයට පැන රිය පණ ගන්වා ගෙවත්තෙන් පිටවෙනු පමණක් පේශලා දුටුවාය.
කිමල් කිසිදිනක නොපැදවූ තරම් වේගයෙන් රිය පදවා ගෙන ගියේය. වාහනය තුල අසුන්ගෙන සුක්කානම මත දෑත රඳවාගෙන උන්නද හිතත් සිතුවිලිත් තිබුණේ අරුණලී ලඟය.ඇය ජීවිතයට යම් අන්ත්‍රාවක් කරගෙන ඇතැයි යන බියෙන් පිරුණු සිතුවිලි ලඟය.
“අනේ අයියෙ අක්කා කාමරේ දොර අරින්නෙම නෑ අයියෙ” කියමින් බියෙන් සලිතව සඳලිනී කතා කල අයුරු කිමල්ට හිත අස්සේ දෝංකාර දෙන යුරු වලක්වාගන්න හැකියාවක් තිබුනේම නැත.
කිමල් ආරියරත්න නිවසට යද්දීත් සඳලිනී විසින් ගේට්ටුව හැරදමා තිබුනේ කිමල්ට එන්නට පහසු වන ලෙසිනි. අඩියට දෙකට කාරයෙන් බැස ගත් කිමල් මේ තමන්ගේ නිවසක් නොවන තැනක ඒ කිසිත් නොවිමසා අඩියට දෙකට උඩු මහල වෙත පියවර තැබුවේය. නැත අඩියක් හැර අඩියක් පා තබා පියැඹුවේය.
“අනේ මගෙ පුතේ දොර අරින්නකො, මේ අම්මට මෙහෙම වේදනාවක් දෙන්න එපා පුතේ. මිනිස්සු මොනව කිව්වත් අපිට ඔයාව වටිනව මගෙ රත්තරන්, දොර අරින්න මැනික” කියමින් ආරියරත්න මහත්මිය හඬන හඬ ඔස්සේත් “අනේ අක්කෙ දොර අරින්නකො” කියමින් සඳලිනී හඬාවැටෙන හඬ ඔස්සේත් පියවර තබා කිමල් ගියේය.
අරුණලී ගේ කාමරයේ දොරට හේත්තු වී අඬමින් උන් සුභා සහ සඳලිනී කිමල්ව දුටුවේ තමා දුක් කරදරයක වැටී හිඳින විට තමාව එයින් ගලවාගන්නට ආ ඉටු දෙවියෙකු ලෙසිනි.
“අනේ පුතේ බලන්නකො මේ දරුව දොර අරින්නෙම නෑනෙ, අනේ දොර කඩල හරි මගෙ දරුවව බේරල දෙන්න රත්තරන් පුතේ” කියමින් හඬා වැටෙන සුබාගේ දෙනෙත් අස්සේ කිමල් දුටුවේ තමන්ගේ අම්මාගේම වේදනාවය. හැඟීමය.
“අඬන්න එපා අම්මා, අඬන්න එපා. ඉන්නකො මම කතා කරල බලන්න.
අරුණලී හොඳ ලමය වගේ දොර අරින්න. මේ අහන්නකො මේ හැම ප්‍රශ්නයක්ම පොඩි දේවල්නෙ අරුණි. අම්මත් හොඳටම අඬනව. නංගිත් බයවෙලා අඬනව. හොඳ දරුව වගේ දොර අරින්නකො”
නැත එපසින් කිසිත් ශබ්ධයක් නැත.කිමල් කීපවතාවක්ම දොරට තට්ටු කරද කිසිත් සංවේදනයක් පෙන්නුවේ අරුණලී නොවේ. එපස නිහඬතාවය කිමල්ව බියපත් කරවන්නක් වුවද ඒ බව පෙන්වා දැනටමත් සංවේගයෙන්ද බියෙන්ද හඬා වැටෙන සුභාවත් සඳලිනීවත් තවත් බියපත් කරන්න කිමල් සිතුවේ නැත.
“මේ රූම් එකට බැල්කනි එකක් තියෙනව නේද? ඉණිමගක් නැද්ද නංගි? ඒ පැත්තෙන් යන්න පුලුවන්ද බලන්න. බැල්කනි එකේ දොර ඇරලද?”
“අනේ කලබලේට බලන්න උනේ නෑ අයියෙ ඒක. එහා පැත්තෙ ලොකු ඉණිමග තියෙනව. අයියට ඒක ගන්න පුලුවන්ද? ඉන්න මම දොර ඇරල ද බලල එන්න”
සඳලිනී එලියට පැන්නේ අඩියට දෙකටය. වාසනාවකට මෙන් බැල්කනියේ දොර තිබුනේ අඩක් හැරදමා ය. මේ දිනවල පවතින රස්නේ ගතිය නිසා බැල්කනියෙ දොර හැර නිදාගන්නට පුරුද්දක් ඇති කරගත්තේ සඳලිනීය.
“පිස්සුද ලමයො බැල්කනිවල දොරවල් ඇරන් නිදියනවද ගෑණු ළමයි ඉන්න කාමරවල? හොරු විතරක් නෙවෙයි මේ සත්තුන්ට පවා එන්න පුලුවන් නෙ” කියමින් අම්මා සහ අක්කා බැන වැදුනද ඒ බැනුම් අසමින් හෝ දොර අඩවන්ව තබන්නට තබන්නට තමන් කටයුතු කිරීම මෙවෙලේ කෙතරම් වාසනාවක්ද කියා සඳලිනී නොසිතුවා නොවේ.
ඊයේ රාත්‍රියේ කිමල් අයියාගේ නෙට්ෆ්ලික්ස් ගිණුම ඔස්සේ ෆෝකාස්ටින් ලව් ඇන්ඩ් වෙදර් බලන්නට අරුණලී එක්ක සඳලිනීත් එකතු වූයේ දෙවන වසරට අදාල විභාග අවසන්ව තිබීමත් හිත සැනසිල්ලේ තිබීමත් නිසාය.
ෆෝකාස්ටින් ලව් ඇන්ඩ් වෙදර් බලා නින්දට යද්දීත් හොඳටම රෑ බෝ වී තිබුණ මුත් පුරුද්දට මෙන් සඳලිනීට උදේ ඇහැරුණාය. අරුණලී උන්නේ ඒ වනවිටත් හොඳටම නින්දේය. සඳලිනී පහලට ඇවිත් නිරුවත් දෙපයින් උඳුපියලියගොල්ල මත ඇවිද කුස්සියට විත් තේ බොද්දී මුහුණු පොතට ලොග් උනේ නිකමට මෙනි.
“මං අවුරුදු ගාණක් රට ඉඳගෙන දුක් වින්දෙ එයාව බැඳල මෙහෙට ගෙන්න ගෙන සන්තෝසෙන් ජීවත්වෙන්න. කොහොමද බං කෙල්ලො අපිව මෙහෙම රවට්ටන්නෙ, ඇයි අපෙන් මෙහෙම ආතල් ගන්නෙ?” කියමින් මහා බොරුවක් ඇත්තක් ලෙස පෙනෙන්නට ගොතා තමන්ගේ මුහුණ ආවරණය කර අක්කාගේ මුහුණ පෙනෙන ෆොටෝ කිහිපයක් සහ අක්කා විසින් ඔහුට දෝශාරෝපණය කර තිබෙන, ඔහු විසින් හඬා වැලපෙන මැසේජ් පමණක් තිබෙන චැට් එකක ස්ක්‍රීන්ශොට් කිහිපයක්ද අලවා මෙනුක අයියා විසින් ෆේස්බුක් ගෘපයක පල කර තිබූ පෝස්ටුවට ඒ වනවිටත් බොහෝ කමෙන්ට්ස් සහ ශෙයාර්ස් ප්‍රමාණයක් එක් වී තිබුනේ එක්පසෙකින් පමණක් කතාව අසා අක්කාව සහමුලින්ම වැරදිකරුවෙකු කරමිනි.
සඳලිනීට අක්කා මේ පෝස්ටුව දකින්නට හැකි බව මතක් වුනේ ඒ කමෙන්ට්ස් බාගයක් දුර කියවගෙන යද්දීය. අඩියට දෙකට උඩු මහලට දුව ගියද ඒ වනවිටත් විය යුතු දේ වී තිබුණි.
“අයියෙ බැල්කනි එකේ දොර ඇරල බාගෙට” සඳලිනී කියද්දිත් කිමල් ඉණිමග ඔසවාගෙන එහි එමින් උන්නේය. සුබා බිත්තිය අල්ල අල්ල ආවේ ඇත්තටම ඇඟට පණක් නැති නිසාවෙනි. සඳලිනී ඉණිමග අල්ලාගෙන හිඳිද්දී කිමල් හෙමින් සැරේ බැල්කනිය වෙත නැග්ගේය.
තබන තබන අඩියක් පසා දෙපාද හිත ද වෙවුලුම්කනු දැනෙද්දීත් කිමල් ඒ නොතකා ඉණිමග තරණය කලේය. ආදරය වෙනුවෙන්, අරුණලී වෙනුවෙන් මේ ඉණිමග නොව ඕනෑම ගිරි දුර්ගයක් තමාට තරණය කරන්න හැකි බවට විශ්වාසයක් කිමල්ගේ හිතේ
“ඔයාලා එහා පැත්තෙන් එන්නමං දොර අරින්නම්” කියා කිමල් කාමරය තුලට වැදුණේය. නිඳන ඇඳ මතවත් කොතැනකවත් අරුණලී පෙනෙන්නට නැති වෙද්දී කඩිනමින් දොර හැරිය කිමල් නාන කාමරය වෙත රිංගුවේ එයින් වතුර වෑස්සෙන සද්දයක් ඇසෙද්දීය.
කිමල් නාන කාමරය වෙත ගිය බව ඇත්තකි. එහෙත් දකින්නට ලැබෙන්නේ කුමනාකාරයේ දර්ශනයක්ද යන බිය හිතේ පත්ලේ නොතිබුණා යැයි කියන්නට නොහැක.