“සර්ලගෙ අම්මා මං ගැන මොනව හිතනවද දන්නෙ නෑ නේද?”
පහලින් ඇසෙන නොදන්නා කාන්තා කටහඬ තමන්ගේ අම්මා වන පේශලා වීරවර්දනගේ බව කිමල් කිව් පසු අරුණලී ඇත්තටම බොහෝ ලැජ්ජා වුණාය. මොන දේ උනත් මෙවන් ලැජ්ජාවකට පත් වූ කෙල්ලක ගැන සමාජයේ කිසිවෙකු හොඳක් නොහිතන බව අරුණලී නොදන්නවා නොවේ.
“පිස්සුද ළමයො. අපෙ අම්මා කිසිදවසක කිසිම ගෑනු ලමේක් ගැන වරදක් කතා කරල නෑ. කොටින්ම ඉස්සර මම බ්‍රේක් අප් උනයින් පස්සෙ සමහර ගර්ල්ස්ල අපෙ ගෙදරටත් අඬාගෙන ඇවිත් තියෙනව. අපෙ අම්ම මට බැනල ඒ ලමයින්ට කවල පොවල හිත සනසල ගෙදර අරිනව. එහෙම එකේ ඔයා හිතනවද ඔයා ගැන වරදක් හිතාවි කියල” කිමල් සිනාසෙමින් එසේ කියද්දී එක් මොහොතකට හඬා වැටීම නිසාත් කඳුලු නිසාත් රැලි වැටී තිබුණ දෙතොල විදා මද සිනාවක් නගාගන්න අරුණලීට පුලුවන් විය. ඒ අද දවසටම සිනා වූ පලමුවෙනි වතාවය.
“තාම කාලා නෑ නේද?” කිමල් ඇසුවේ ඇඳ එහා පැත්තේ බෙඩ්සයිඩ් කබඩය උඩ පියනකින් වසා තිබුණ අරුණලීගේ කෑම පාර්සලය දෙස බලමිනි. උයන්නට සිහියක නොවුන් සුබාට එසේම ඉන්න යැයි කියා ගොසින් දහවලේ මේ කෑම පාර්සක් අරගෙන ආවේද කිමල්මය.
“කන්න බෑ අප්පිරියයි” අරුණලී කිවේ මුහුණ ඇඹුල් කරගෙනය.
“එහෙම කියල බෑනෙ. නොකා ඉඳිය කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ. ඉස්සරවෙලා කාල බීල ඉන්න ඕන මොනදේ කරන්නත් කලියෙන්.
හරි හරි කතා පස්සෙ, අපි කමුකො” කිමල් නැගිට්ටේ කෑම පාර්සලය වෙත යන බලාපොරොත්තුවෙනි.
“අනේ කන්න බෑ”
“ඔයා කන්න ඕන නෑ. මං කවන්නකො. එතකොට හපල ගිලින්න විතරනෙ තියෙන්නෙ” කිමල් කිව්වේ කිසිසේත්ම තමන් ඉන්නා තැනක නොකා ඉන්නර හැටියක් අරුණලී ට නැතිබව නොකියා කියමිනි.
අක්කා ඉන්නේ කිමල් අයියා විටෙක ආදරයෙන්ද විටෙක තරවටුවෙන්ද හෙලිකරන ආදිපත්‍යයට යටත්ව බව පල්ලෙහ තට්ටුවේ අයට තේ පිලිගන්වා කිමල්ගේ තේ කෝප්පය රැගෙන උඩු මහල වෙත ආ සඳලිනී තේරුම් ගත්තාය. අක්කා මොනවා කිව්වද කිමල් අයියා අක්කාට ආදරය කරන බවත්, වසත් කලෙක ආ වැස්සකට වඩා ගිමන් කල කතරකට වට වැස්සක් වඩා වටිනා බවත් සඳලිනී නැවත නැවත සිතුවාය. ඒ ඇත්ත අක්කා කෙදිනක හෝ තේරුම් ගනු ඇති බවටත්, එයම මෙනුක අයියා විසින් හදවත පුරා වපුරුවාලූ වේදනාකින් මිදෙන්නටත් අක්කාට හේතුවක් වනු ඇති බවත් සඳලිනී සිතුවාය.
ඉතින් මේ ඔවුන් දෙදෙනාට කරදර නොකල යුතු මොහොතකි. කිමල් අයියා ඔහුගේ විදියට අක්කාව සැනසුවාවේ කියා සිතා සඳලිනී හෙමින් සීරුවේ පල්ලෙහට බැස්සාය.
ආරියරත්න නිවස මහා කුණාටු මුහුදක රුවල් බිඳුණ නෞකාවක ගමන් කරමින් හිද්දී දූපතක් හමුවූවෙකුට දැනෙන සතුට කිමල් සහ පේශලා වීරවර්දන වෙතින් විඳිමින් උන්නහ. මොන දේ උනත් නෑයන් කතා කර “අපෝ මොකද්ද මෙ අරුණලී කරගෙන තියෙන විනාසෙ, සඳලිනීටවත් පාරට බහින්න වෙන්නෙ නෑනෙ ඔය වෙච්ච ලැජ්ජාවට” කියා ඇවිලෙන ගින්නට පිදුරු දමද්දී ප්‍රශ්නය විසඳාගන්නට හැකි විවිද ක්‍රම ගැන සොයන්නට කිසිත් නෑකමක් නොතිබූ අලුතෙන් ඇති වු හිතවත්කම් කටයුතු කරමින් උන්නහ.
අරුණලී යාන්තම් මෙනුකගේ කටින් බත් කටවල් දෙක තුනක් කෑවේ ඔහුගේ පෙරැත්තයට විරුද්ධ වෙන්නට බැරි හන්දාමය. මොන දේ මේ කුණාටු සමයක තමන් වෙනුවෙන් මෙහි පැමිණ හිඳින හිතවතෙකුගේ හිත රිදවන්නේ කෙසේද?
අනෙක් අතට නංගී කීවාක් මෙන් කිමල් වීරවර්දන මේ සියල්ල කරන්නේ තමන් ගැන බලාපොරොත්‍තුවක් තබාගෙන නම් මේ මොහොතේ පවා පැමිණ ඔහු තමා අස්වසන්නට තනන්නේ ඒ හැඟීම, බලාපොරොත්තුව යහපත් නිසා නොවන්නේද?
වීරවර්දන මවත් පුතුත් හැකියාත් ආරියරත්න පවුල අස්වසන්නටද මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්නටද කටයුතු කලහ. ඔවුන් ආරියරත්න නිවසින් පිට වූයේ සැඳෑ අන්දකාරය ආරියරත්න නිවස වටකොටගෙන බොහෝ වෙලාවක් ගියායින්ද පසුවය.
“අපි එහෙනම් ගිහින් එන්නම්. ඕන දේකට කතාකරන්න නේද පුතා?” කියා අම්මා ආරියරත්න නිවසින් සමුගන්නට හදද්දී “මම අරුණලීව බලල එන්නම්” කියා කිමල් උඩුමහලට නැග්ගේය. දමා යන්නට හිතක් නැති බව ඇත්තකි. එහෙත් මෙවෙලේ කරන්න වෙන දෙයක් නැත.
“ගිහින් එන්නම් කියන්න ආවෙ”
තවමත් විදුලිපහන් නොදැල්වූ අන්දකාර කාමරයේ වාඩි වී ගෙන පිටත පෙනෙන සැඳෑ අඳුර දෙස බලාගෙන කල්පනා කරමිනි.
“මට කතාකරන්න ඕන දේකට හොඳ ද?” කිමල් කිව්වේ වඩා මුදු හඬකිනි. අරුණලී එය භාරගත්‍තේ අස්වැසිල්ලක් විලසිනි.
“ආවට තැන්ක්‍යු මේ කරදර වෙලාවෙදි. ඒ වගේම එක්ස්ට්‍රීම්ලි සොරි හැම වෙලාවෙම මං හින්ද කරදර වෙනවට”
“පිස්සු නෙ. එහෙනම් අඬන්න එපා හොඳේ. ඕන දේකට ඕනම වෙලාවක මම ඉන්නව. ඒක අමතක කරන්න එපා, හරිද ම්ම්?”
හිමින් සැරේ අරුණලීගේ හිස මත අත තැබූ කිමල් එසේ කිව්වේය. ඒ විශ්වාසය, බලාපොරොත්තු ඇතිකරවන වඩා සුබදායී හඬකිනි. හැඟීමකිනි.
“ගිහින් එන්නම්” එහෙනම් කියා රහසෙන් මෙන් කියද්දීත් අරුණලී මෙතෙක් වෙලා ඇස් අස්සේ හිරකරගෙන උන් කඳුලකට ඔහේ ගලන්න ඉඩ හැරියාය.
ඒ අවසරයෙන් හෙමින් සැරේ පහත් වූ කිමල් හැඬීම නිසා රත් පැහැ වු ද සීතල වූද කම්මුලක් මත හාදුවක උණුහුමක් රැඳෙව්වේය.
“උඹ කොහෙද ගියේ ඔක්කොම බඩුත් අස් කරගෙන? මං කතාකරාට ආන්ස්වර් කරෙත් නෑනෙ”
මෙනුක විසින් රමිත්ව පිලිගත්තේ එසේ අසමිනි.මෙනුක හැබෑවටම උන්නේ අරුණලීගෙන් පලිගත් නිසාවෙන් මෙතනින් එහාට තමන්ට ඇය ගැන නොසිතන ජීවිතයක් ගෙවන්නට හැකිවේය යන සතුටින් ය. බලාපොරොත්තුවෙන් ය.
“මං ඒත් හිතුව උඹ මාත් එක්ක තරහවෙලාද දන්නෙ නෑ කියල මම කියන්නෙ නැතුවම ගිය එකට. මං එහෙම කරේ උඹට විස්තරේ කියල ගියානම් උඹ මට යන්න දෙන එකක් නෑ කියල හිතල. මගෙ එහෙ කරන්න තිබ්බ වැඩ ටික මං කරගෙන ආව. ආයෙ මට එහෙ යන්න අදහසක් නෑ. මං අරුණලීව සහමුලින්ම අමතක කරල ඉන්නෙ. සොරි බං පහුගිය කාලෙ මං උඹෙ හිත රිදෙන මොනවහරි කිව්වනන්” කිසිවක් සිදු නොවූවක් මෙන් මෙනුක මෙසේ කතාකරද්දී රමිත් ඇත්තටම පුදුම වුණේය. මොන දේ උනත් ඒ තමන් වසර ගණනාවක් පුරාවට ආදරය කල කෙල්ලය. තමන් නිසා රැවටීමට ලක් වූද හිත රිදවාගත්තාවූද කෙල්ලය. එහෙම කෙල්ලව කිසිසේත්ම තරම් නොවන ලැජ්ජාවකට ඇද දමා මෙනුක කිසිවක් සිදු නොවුණාක් මෙන් කතාකරන්නේ කෙසේද?
ඇත්තටම බලද්දී මෙනුක කිසිවිටක තමන්ටවත් අරුණලීටවත් ආදරය කල නෑ නොවේද? ඔහු විසින් කර තිබෙන්නේ එකම
කාලයක් ඇතුලත තමාව මෙන්ම අරුණලීවද රවටා දමා ඇති එකය. අනෙක් අතට ඇත්තටම මෙහිදී දඬුවමක් විඳිනවානම් විඳිය යුතු වන්නේ මෙනුක සහ තමන් වෙද්දී අරුණලී පමණක් තනිවම දුකක ලැජ්ජාවක ඇලී ගැලී හිඳීම කෙතරම් නම් සාදාරණද?
“උඹ කොහොමද බං මුකුත් උනේ නෑ වගේ ඔහොම කතාකරන්නෙ?” රමිත් කට ඇරියේ මෙනුකගේ දෙඩවිල්ල අහන් ඉන්න බැරිම තැනය.
“ඇයි?”
“ඇයි කියන්නෙ? ඇයි බං උඹ අර කෙල්ල ගැන අරහෙම බොරු ෆේස්බුක් එකේ දැම්මෙ? ඒකි උඹට මොන වරදක් කරාටද?”
“උඹට කවුද කිව්වෙ? කුමිලද?” මෙනුක අහන්නෙ මදක්වත් පැකිලීමෙන් තොරවය. ඒ දෙතොල් අතර රැඳී තිබෙන සමච්චලයද තමන් ගැන අඩම්බරයද රැඳුණ සිනාව දකිද්දී මෙනුකගේ කණ හරහා පාරක් දෙන්නට තිබුණා නම් කෙතරම් අපූරුද කියා රමිත්ට නොසිතුනා නොවේ.
“කවුරු කිව්වත් උඹ කරල තියෙන්නෙ පුදුම බලු වැඩක්නෙ. මොන වරදක් කරාටද ඒකිට උඹ එහෙම කරේ? උඹනෙ වැරැද්ද කරේ ඒකි ඉද්දි මාත් එක්කත් නිදාගෙන. එහෙම එකේ උඹ නේද විඳවන්න ඕන”
“උඹට ඒකෙන් වැඩක් නෑනෙ. ඒකි ඔෆිස් එකේ වෙන එකෙක් එක්ක යාලුවෙලා.ඒකිට පාඩමක් උගන්නන්න ඕන ඒකිගෙ වැරැද්ද තේර්‍ර්න්නත් එක්ක”
“මොකද්ද වැරැද්ද? ඒකිට උඹත් එක්ක අෆෙයාර් එකක් දැන් නැති එකේ ඒකි මොකා එක්ක යාලු උනත් උඹට මොකද කියපංකො. උඹ කියන්නෙ ඒකිට ආයෙ උඹ එක්ක යාලුවෙන්න කියලද? ඒකිට හම්බුවෙන්න ඇති හොඳ මිනිහෙක් උඹට වඩා. ඒක වැරදිද කියපං මට”
“මේ උඹ උඹ ඒකි ගැන කතාකරන්න එපා. උඹ නිකන් මෙතන සුදන වෙන්න හදන්නෙ. උඹ ඒකිට වීඩියෝ යැව්වෙ නැත්තම් අද ඒකි මාව කසාද බැඳල. උඹ තමයි ඔක්කොම විනාස කලේ. උඹ දැන් නිකන් මෙතන සුදන වගේ කතාකරාට”
“ඔව් මං වීඩියෝ යැව්ව. මට වෙඩින් එකට කලින් ඒක යවන්න තිබ්නෙ. උඹ වගේ ඩබල් ගේම් ගහන එකෙක් ගැන ඒකිට කලින්ම තේරුම් කරල දෙන්න. උඹ හිතාගෙන ඉන්න ඇත්තෙ මාත් එක්ක මෙහෙ එකට ඉඳල ඒකිගෙන් හැමදේම හංගල ඒකිවත් කසාද බැඳගෙන අපි හැමෝවම රවට්ටන්න වෙන්නැති නේද? උඹව අතෑරපු එක හොඳයි ඒකි. ඒකි විතරක් නෙවෙයි මමත් එහෙම කරනව. ඉඳපන් මම උඹ දාපු හැම පෝස්ට් එකක් යටින්ම ගිහින් උඹෙයි මගෙයි කතාව කියනව. උඹ අරුණලීට ඔහොම බලු වැඩක්
කරපු හේතුව පැත්තකින් මාත් ගෑවිල ඉන්නවනෙ. මං හැමෝටම උඹ ගැන ඇත්ත කියනව”
“මොකද්ද උඹ කිව්වෙ?” කියාගෙන මෙනුක රමිත් ඉදිරියට පැන්නේ මාරාවේශයෙනි.
තමා රමිත්ගේ බෙල්ල උවමනාවටත් වඩා තදින් අල්ලාගෙන හිඳිනුත්, රමිත්ගේ දෙනෙත් රතු වෙමින් තිබුණ අතර ඔහු අත පයද ගසමින් දඟලා අවසානයේ නිහඬ වූ අයුරුත් මෙනුකට බොඳ වූ ඡායාවක් මෙන් මතක තිබුණේය.
අනතුරුව සියල්ල අවසන් වූහ.