ශෘතිව මැරුවෙ එයාගෙ අම්මයි තාත්තයිද?

කාලෙකින් තමයි මම මේ ආදරය කියන මාතෘකාවෙන් ටිකක් ඇතට ගිය චිත්‍රපටයක් ගැන ලියන්න යන්නෙ. මේ චිත්‍රපටය ඉන්දියාවෙ වෙච්ච ඇත්තම මිනිමැරුව නඩුවක් පාදක කරගෙන හැදුන චිත්‍රපටයක් බව මුලින්ම කියන්න ඕන. මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ අන්න ඒ නිසා.

ඉතින් අපරාධ, මිනිමැරුම් නඩු ගැන චිත්‍රපට බලන්න ආස කෙනෙක්ට මේ Talvar කියන්නෙ බලන්නම වටින චිත්‍රපටයක් බව අනිවාර්‍යෙන්ම කියන්න ඕන.

ජාත්‍යන්තරව නිකුත් කරන ලද Talvar කියන්නෙ 2015 අවුරුද්දෙ හැදුණ ඉන්දියානු අපරාධ – ත්‍රාසජනක  චිත්‍රපටයක්. Meghna Gulzar විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Vishal Bhardwaj විසින් රචනා කරන ලද මේ චිත්‍රපටය 2008 නොයිඩා වල සිදුවුන ද්විත්ව මිනීමැරුම් නඩුවකට පාදක වුන නව යොවුන් වියේ ගැහැණු ළමයෙකු සහ එයාගෙ පවුලේ සේවකයෙකු සම්බන්ධ කර ගනිමින් හැදුණ එකක්.

 Irrfan Khan , Konkona Sen Sharma සහ Neeraj Kabi රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය, පළමු මධ්‍යම විමර්ශණ කාර්යාංශය (CBI)විසින් සිදුකරන ලද මිනීමැරුම් චෝදනාවලට ඇගේ දෙමාපියන් වැරදිකරුවන් ද නිවැරදිකරුවන්ද යන බවට විවිධ දෘෂ්ටිකෝණ තුනකින් නඩුවක් විමර්ශනය කිරීමක් තමයි පෙන්වන්නේ.

ඉතින් මේ චිත්‍රපටය මුල ඉඳල අගට වෙනකම්ම කුතුහලයෙන් පිරුනක් කියල කියන්නම ඕන.

කතාව යන්නෙ මෙන්න මේ විදියට.

ඒ 2008 මාර්තු මාසෙ 15 වෙනිදා මධ්‍යම රාත්‍රිය.

නොයිඩා වල සමීර් විහාර් පාරෙ ගෙදරක ඉන්නව රමේශ්, නූටන් සහ එයාලගෙ දුව ශෘති. රමේශ් සහ නූටන් හොයාගන්නව එයාගෙ දුවව කවුරුන් හරි නිදන ඇඳේම මරල දාලා කියල. පොලිසියේ දුරකතන හැඬවෙනව. අපරාධ විමර්ශන අංශය ගෙදරට එනව. මරල දාපු ශෘතිගෙ මිනිය පරීක්ශා කෙරෙනවා.

ප්‍රධාන සැකකාරය වෙන්නෙ ගෙදරින් අතුරුදහන් වෙලා ඉන්නෙ කේම්පාල් කියන සේවකයව.

පොලිසිය පන දාගෙන කේම්පාල්ව හොයනව. හොයන්නෙ මනුස්සයව වුනාට අහුවෙන්නෙ කේම්පාල්ගෙ මිනියෙ. මහ දුරකින් නෙවෙයි ශෘතිගෙ තට්ටු ගෙදරම උඩම තට්ටුවෙ ටෙරස් එක උඩින්.

කේම්පාල්ගෙ යාලුවා වෙච්ච කනයියා මේ වෙලාවෙ කියන්නෙ මහ පුදුම කතාවක්.

“කේම්පාල්ට සම්බන්ධයක් තිබුනා මැරිච්ච ශෘති එක්ක”. ඒ කතාව ගැන පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන්න ගන්නව. කේම්පාල්ට ශෘති එක්ක සම්බන්ධයක් තිබිලා කේම්පාල් අතින් ශෘති මැරුණානම් කේම්පාල්ව මරල දැම්මෙ කවුද? ඒ කියන්නෙ මෙතනට තව තුන්වෙනියෙකුත් සම්බන්ධ ද කියන සැකය පොලිසියට සහ අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවට තියෙනවා.

එතනදි තමයි මෙයාලා සැකයක් ගොඩනගන්නෙ “කේම්පාල් ශෘති එක්ක එකට ඉන්නව දැකපු එකට තරහ ගිය ටන්ඩන්ස් ලා, එහෙම නැත්තම් ශෘතිගෙ අම්මයි තාත්තයි තමයි තමන්ගෙ දූව සහ කේම්පාල්ව මරල තියෙන්නෙ, තමන්ගෙ නම්බුව පරිස්සම් කරගන්න” කියලා.

ඒ සැකය උඩ පොලිසිය මාර්තු 25 වෙනිදා රමේශ්ව අත් අඩංගුවට ගන්නවා.මාධ්‍ය හමුවක් පොලිසිය සූදානම් කරනවා.

“රමේශ් තමන්ගෙ දූව සහ කේම්පාල්ව මරල තියෙනව ඒ දෙන්න අතර තියෙන මේ අසම්මත සම්බන්ධය ලෝකෙ මිනිස්සු දැනගත්තොත් ඒක තමන්ගෙ නම්බුවට ප්‍රශ්නයක් වෙයි කියල හිතලා” පොලිසිය මාධ්‍යයට මේ කතාව කියනවා.

ඒත් මෙතන මොකක් හරිම ගැටලුවක් තියෙන බව තේරුම් අරගෙන මේ කේස් එක මධ්‍යම විමර්ශණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඇත්තටම කතාව පටන්ගන්නෙත්, මෙච්චර වෙලා අපි නොදැක්ක දේවල් ගොඩක් මේ කතාව ඇතුලෙ තියෙන බවත් අපිට තේරුම් යන්නෙ මෙන්න මෙතන ඉඳලා.

Joint Director අශ්වින් කුමාර් සහ CDI Agent වේදන්ත් තමයි මෙතනදි මේ කේස් එක හැන්ඩ්ල් කරන්නෙ. මේ දෙන්නා තරයේ විශ්වාස කරනවා “ශෘතිගෙ දෙමව්පියන් මේ මරණයට සම්බන්ධ නෑ” කියල.

අශ්වින් කුමාර් පෙන්නල දෙනව පලමුවරට කල අපරාධ විමර්ශනයෙ තිබු දුර්වලතා සහ මග හැරුණ තැන්. ඒ මගහැරීම් නිසා පලවෙනි වතාවෙම වැරදිකරුවාව අල්ලගන්න තිබුන චාන්සස් මිස් වෙච්ච විදිය අශ්වින්බොහොම ලස්සනට කියල දෙනව. තමන් වැඩේ වරද්දගෙන බව පොලිසිය තේරුම් ගන්නෙත් අන්න එතනදි.

2008 ජුනි මාසෙ 22 වෙනිදා අශ්වින් කුමාර්ගෙ වාර්තාව අනුව ශෘතිගෙ දෙමව්පියන්ව නිවැරදිකරුවන් කියල නිදොස් කරනව. ඒත් අපි හොයාගන්න ඕන ඇත්තටම ශෘතිගෙ සහ කේම්පාල්ගෙ මිනීමරුව කවුද කියන එක.

අශ්වින් කුමාර් දිගටම වැඩ කරගෙන යනව. පරීක්ශනය නතර වෙන්නෙ නෑ. ඔය අතරවාරයෙදි තමයි අශ්වින්ගෙ සීනියර් ඔෆිසර් රිටයර් වෙන්නෙ. අලුතෙන් පත් කරන CDI ඔෆිසර් අශ්වින්ට මේ කේස් එක නිවැරදි විදියට ඉවර කරන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ වගේම මෙච්චර දවසක් දකුණු අත වගේ අශ්වින් ලඟින්ම උන්නු ACP වේදන්ත් අශ්වින්ට විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා.

කොහොමහරි ඒ දෙන්න අතර වෙන බහින්බස් වීමක් නිසා අශ්වින් ගෙ වැඩ තහනම් වෙනවා. එයාට කේස් එක හැන්ඩ්ල් කරන්න බැරිවෙනව.

ඉතින් මේ චිත්‍රපටයෙ අවසානයේ මොකද වෙන්නෙ කියල බලන්න ඔයාලා චිත්‍රපටය අනිවාර්‍යෙන්ම නරඹන්න කියල මම ඉල්ලනව. මේ චිත්‍රපටයට අවසානයක් තියෙනව. හැබැයි ඇත්තටම වෙච්ච කේස් එක එහෙම විසඳිලා නෑ කියල තමයි නඩු වාර්තා වලින් නම් කියන්නෙ.

ඒ නඩු වාර්තාවලට අනුව 2009 දී,  නව විමර්ශ කණ්ඩායමකට විමර්ශනය භාර දීල නඩුව අවසන් කිරීමට නිර්දේශ කරල තියෙනවා. පරිවේශනීය සාක්ෂි මත පදනම්ව , එය එකම සැකකරු ලෙස රාජේෂ් තල්වාර් (මැරුණ තරුණියගේ පියා) නම් කරල තිබුණ නමුත්, සාක්ෂිවල බරපතල හිඩැස් නිසා ඔහුට චෝදනා කිරීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. රාජේෂ් තල්වාර් පිළිබඳ CBI  සැකය පදනම් විරහිත යැයි පවසමින් දෙමාපියන් දෙදෙනාම මේ වාර්තාවට විරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සෙ, CBI විශේෂ අධිකරණය ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට CBI කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරලා, තල්වාර්වරුන්ට එරෙහිව නඩු පැවරීමට නියෝග කරල තියෙනවා. 2013 නොවැම්බර් මාසයේදි, විනිශ්චය දුර්වල සාක්ෂි මත පදනම් වූ බවට විවේචන මධ්‍යයේ, දෙමාපියන් වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරල තියෙනවා. හැබැයි තල්වාර් යුවළ 2017 දී ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන්න අලහබාද් මහාධිකරණයේ තීන්දුව හේතුවෙලා තියෙනව. නඩුව තාමත් නොවිසිදිල තමයි තියෙන්නෙ.

ඉතින් චිත්‍රපටය බලල ඔයාලා සැකකරන්නෙ කවුද කියල හිතන්න. ඒ වගේම ඇත්තටම මැරුණ අවුරුදු 13 වයස ආරුශි තල්වාර්ගෙ ආත්මයට සැනසීමක් අත්වෙන්න කියලත් ප්‍රාර්තනා කරන්න!

Related Articles

Don't Miss


Latest Articles