Narcissistic පෞරුශ ආබාධ සැමියෙක් නිසා පීඩාවට පත් වූ බිරිදකගේ ඉරණම?

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

මධූශා හිටියෙ උදේ වරුවෙ කෑම එහෙම උයල පිහල ඉවර කරල ගෙවල් දොරවල් අස්පස් කර කර. සති අන්තයක් නිසා කිසල් හිටියෙ ගෙදර. අද බබාලාටත් පංති නැති හන්ද මධූශාට පොඩ්ඩක් නිවනයි. ඒ වුනාට ඉතින් මධූශා කියන්නෙ එහෙම නිවනක් බලාපොරොත්තුවෙන් පොඩ්ඩක් දවල් වෙලා නැගිටින්න, වේලක් එලියෙන් කන්න පුලුවන් විදියෙ මනුස්සයෙක් නෙවෙයි.

“කිසල් හරි අකමැති අනේ මම නිකන් ඉන්නව දකින්න”

“කිසල් ආස නෑ අප්පා එලියෙන් කන්න”

“කිසල් ආසම නෑ අනේ මම ලස්සනට ඇඳල කරල එලියට යනවට. බනිනව හරියට” කියල මධූශා ඕව එලියෙ මිනිස්සුන්ට හිනා වෙවී තමයි කියන්නෙ. හැබැයි ඉතින් හිත ඇතුලෙන් “අනේ මේ මොන ජීවිතයක්ද?” කියල හිතිච්ච වාර නැතුවත් නෙවෙයි.

ඉතින් මධූශා කිසල්ගෙන් කතා අහන්න බැරි හන්දම සෙනසුරාදා ඉරිද දවස්වලටත් උදේම ඇහැරුණා. උදේම ඉව්ව, ඉන්පස්සෙ විවේකයක් ගන්නෙ නැතුවම ගෙදර අස්පස් කරන වැඩ කරා. දරුවො බලාගත්තා. ගෙදරටම වෙලා හිටියා.

එදත් මධූශා දෙන්නගෙ බෙඩ් රූම් එක අස් කරද්දි කිසල් උන්නෙ බාත් රූම් එකේ. කොස්සෙන් බිම අතුගාන්න කලින් සයිඩ් කබඩ් වල උඩ එහෙම රැඳිලා තියෙන දූවිලි එහෙම පිහදල දාන්න ඕන කියල හිතාගෙන තමයි මධූශා කිසල්ගෙ පැත්තෙ සයිඩ් කබඩ් එක උඩ තිබිච්ච බඩු ටික හෙමින් සැරේ අස්පස් කරන්න ගත්තෙ.

වෙනදට බාතෘම් එකට යද්දි අනිවාර්‍යෙන්ම ෆෝන් එක අමතක නොකර යන කිසල් එදා සයිඩ් කබඩ් එක උඩ ෆෝන් එක තියල ගිහින් තිබුනෙ බැටරි බැහැපු නිසා. කිසල්ගෙ පැත්තෙ සයිඩ් කබඩ් එක අස් කල මධූශා තමන්ගෙ පැත්තෙ සයිඩ් කබඩ් එකට යන්න හදද්දිම තමා “ටිං” ගාලා කිසල්ගෙ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආවෙ.

කිසල්ගෙ ෆෝන් එක අල්ලන එක තමන්ට තහනම් දෙයක් හන්ද සද්ද නැතුව යන්න ගියත් ඇස් කොණින් දැක්ක රතු පාට හදවතක ලකුණක් හන්දමයි මධූශා ෆෝන් එක දිහා ඇස් ඇරල බැලුවෙ.

“මධූශාට බොරුවක් දාලා අදත් එන්නකො. කවුරුවත් නෑ ගෙදර” කියල රතු පාට හදවත් සලකුණක් එක්ක නොදන්න නමකින් ඇවිත් තිබුණ මැසේජ් එක අතේ තියාගෙනම මධූශා තක්බීර් වෙලා ඉද්දිමයි කිසල් බාතෘම් එකෙන් එලියට ආවෙ.

“තමුසෙ මගෙ ෆෝන් එක අරගෙන මොකද්ද කරන්නෙ?” කියල අඩියට දෙකට තමන් ලඟට කිසල් පැනගෙන ඉද්දි මධූශා ස්ක්‍රීන් එක කිසල් පැත්තට හරවල ඇවිත් තිබ්බ මැසේජ් එක පෙන්නුවා.

“කවුද මේ? ආ කවුද මේ ගෑණි?” මධූශා උන්නේ මාරාවේශ වෙලා. සාධාරණයිනෙ ඉතින්. තමන්ගෙ හස්බන්ඩ්ට මෙහෙම වෙන ගෑණියෙක් නරක ආශ්‍රයක් තියෙන මැසේජ් එකක් එව්වම ඒක දකින ඕනම ගෑණියෙක් මධූශා වගේම කලබල වෙනවා.

“තමුසෙ මොකටද ගෑණියෙ මගෙ ෆෝන් එක බලන්නෙ?” කියල මධූශාගෙ අතින් ෆෝන් එක උදුරල ගත්ත කිසල් මධූශාව ඇඳේ වැදෙන්නම වගේ තල්ලු කරල. ඒත් මධූශට ඒ වැදිච්ච වේදනාව නොදැනිච්ච තරම්.

ඊට වඩා කී ගුණයක වේදනාවක්ද හිතේ තියෙන්නෙ?”

“තමුසෙට ලැජ්ජනැද්ද ඕයි හොරෙන් හොරෙන් ෆෝන් බලන්නෙ?”

“මට ලැජ්ජද අහන්නෙ තමුසෙට ලැජ්ජ නැද්ද හොර ගෑණු එක්ක මගුල් නටන්නෙ?”

“මේ උඹ…උඹ මෙන්න මේක හොඳට මතක තියාගනිං.. උඹට වැඩක් නෑ මං කරන කියන ඒව. උඹට වෙලාවට කන්න බොන්න ලැබෙනවනම්, ගෙදර බිල් ටික ගෙවෙනවනම් මං මොනව කරත් වැඩක් නැනෙ. කොහෙන් ආව හයියකටද උඹ මගේ ෆෝන් එක බලන්න ගත්තෙ?” කියල කිසල් අත උස්සද්දි අත් දෙකෙන්ම මූණ වහගත්ත මධූශා ඇඳ කෙලවරක ගුලි වුනා.

“එතකොට තමුසෙ මොන වරද කරල ආවත් මම කට වහං ඉන්න ඕනද? ඒක තමුන්ගෙන් අහපු මම ද දැන් වැරදි?” කියල මධූශා අඬ අඬ අහද්දි කිසල් කරේ අතට අහුවෙච්ච ඇඳුමක් දාගෙන ගෙදරින් පිට වෙල ගිය එක.

මේ ඔහොම වෙච්ච පලවෙනි වතාව නෙවෙයි. තමන් මොනව කරත්, මොනව ඇහුවත් කිසල් හැම තිස්සෙම පෙන්නන්න උත්සහ කරේ තමන් පහල බවත් කිසල් උසස් බවත් කියන එක මධූශාට අමතක නෑ. කිසල් මොන වරද කරත් එයාගෙන් ඒ ගැන අහන එක තමන් කරන මහ ලොකු වරදක් කියල කිසල් දඬුවම් කරපු අවස්තා නම් කොයිතරම් ද කියන එකත් මධූශාට මේ වෙලාවෙ මතක් වුණා.

ඒත් මේ හැමදේම ගෙදරට විතරයි. කිසල් ඔෆිස් එකේදි අනිත් අය සැලකුවෙ හොඳම හොඳ ලීඩර්ශිප් ස්කිල්ස් තියෙන මනුස්සයෙක් විදියට. ගෙදරදි මධූශාට මොන විදියට සැලකුවත් කිසල් එලියෙ පිට මිනිස්සු ඉස්සරහ පුදුම හොඳ සැමියෙක් විදියට හැසිරිල කොච්චර නම් ඇටෙන්ශන් එක අරගන්නවද?

ගෙයි ගිනි පිටට දෙන්න එපා කියල අම්ම කියල තියෙන හන්ද මධූශා මේ පහුගිය අවුරුදු දහයම ඉවසුවා. ඒත් මේක මෙතනින්වත් නතර වෙන්න ඕන කියල හිතලමයි මධූශා උපදේශනයට ආවෙ.

එතනදි තමයි මධූශාට තේරුම්ගන්න පුලුවන් වුනේ කිසල්ට තියෙන්නෙ Narcissistic Personality Disorder එකක් කියලා.

තමන් හැම තිස්සෙම හරි කියල හිතන එක, තමන්ගෙන් ප්‍රශ්න කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් පුලුවන්කමක් නෑ කියල හිතන එක, එහෙම වුණ අවස්තාවල තමන්ට අත උස්සන එක, මොන දේ කරත් එයාට ඉහලම සැලකිල්ල ලැබෙන්න ඕන කියන එක, අනිත් හැම දේම පල්ලෙහට දාලා බලන එක මෙච්චර දවස් සාමාන්‍යයි කියල හිතන් හිටියට ඒ කිසල්ගෙ නාසිස්ටික් පෞරුශත්ව ආබාධය ගැන කියවන ලක්ෂණ බව මධූශා තේරුම් ගත්තෙත් මේ උපදේශන සැසියෙදි.

“නාසිසිටික් පෞරුශ ආබාධය තියන කෙනෙක් එක්ක ඔය හැසිරෙන්න ඕන හරි පරිස්සමෙන්. එයාලා බොහොම ඉක්මනට කේන්ති අරගෙන තමන් හරි කියල පෙන්වන්න හදන මිනිස්සු හන්දා මානසිකව වැටිලා, අඬල රණ්ඩුවෙලා මේ ප්‍රශ්න විසඳගන්න යන්න එපා. අපි දන්නෙ නෑනෙ එයා මොන විදියට හැසිරේවිද කියල?” උපදේශන සැසියෙදි දැනගන්න ලැබුණ දේවල් අනුව මධූශා මුලින්ම කරේ ගෙදර ඉඳන් කරන්න පුලුවන් පොඩි ජොබ් එකක් හොයාගත්ත එක.

දැනට ගෙදර සියලු වියදම් දරන්නෙ කිසල්. මොන දේ උනත් තමන් හදිසි තීරණයක් අරගන්න එක දරුවන්ට පවා කිසල්ගෙන් ලැබෙන උදව් පදව් නැතිවෙන්න හේතුවක් වෙන්න පුලුවන්. තමන් ආර්තිකව ශක්තිමත් උනොත් තමන්ටත් තමන් ගැන වගේම දරුවො ගැන වගකීමක් ගන්න පුලුවන් නෙ කියල හිතලයි මධූශා ඒ විදියට මේ ප්‍රශ්නෙට ස්මාට් විදියට උත්තර හොයන්න හිතුවෙ.

ඉතින්,

මේ වගේ නාසිස්ටික පෞරුෂ අබාධය තිබෙන අයව අපිට අපේ ජීවිතයේදි හමුවෙන්න පුලුවන්. ගොඩක්වෙලාවට මේ ආබාධය ඇතිවෙන්නෙ පුරුෂ පාර්ශ්වයට සහ එයාලා මේ ගති ලක්ෂන පෙන්වන්නෙ තමන්ගෙ සහකරුට.

මේ වගේ මොහොතක ඔබ හැසිරෙන්න ඕන ඉතාම Smart විදියට බව අමතක කරන්න එපා. කලබල වීමෙන්, රණ්ඩු සරුවල් වීමෙන් මේ තත්ත්වය විසඳාගැනීමකට වඩා තවත් ගැටලුකාරී විය හැකි බව හොඳින්ම මතක තබාගන්න.

මේ විදියෙ පෞරුෂ ආබාධයක් තියෙන සහකරුවෙක් නිසා ඔබත් පීඩාවට පත්වෙලා ඉන්නවානම් ඔබට පුලුවන් අපව සම්බන්ධ කරගන්න.

උපදේශන සහය හෝ නීතිමය සහය ඔස්සේ ඔබට සහනයක් ගෙන දෙන්න අපි සූදානම්!

Related Articles

Don't Miss


Latest Articles