අතහැර නොයන ආදරේ…

“කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ

නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විදා මෝද සහනේ

මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා

ඒ ගැන හිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා”

කසුනි හිටියෙ ඇඳ උඩ වාඩිවෙලා සින්දුවක් අහන ගමන් තමන්ගෙ මංගල සාරිය අත ගගා. හෙට තමයි ඒ ලස්සන දවස. ඕනම කෙල්ලෙක් ජීවිතේ පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්න සුන්දරම දවස.

“කෙල්ලෙක්ගෙ ජීවිතේ තියෙන වටිනම දවස එයා මනමාලියෙක් වෙන එක” කියල කසුනි හිතපු වාර අනන්තයි. ඒ කතාව ඇත්තක් කරන්නම වගේ ප්‍රපෝසල් එකකින් උනත් හම්බෙච්ච තරුක පුදුමාකාර තරම් හොඳිනුත් ආදරෙනුත් කසුනිට සැලකුවා.

කසුනි ඇත්තටම හිටියේ හිතේ පිරිච්ච පුදුමතරම් සතුටකින්. තමන් වාසනාවන්ත කෙල්ලෙක් කියන හිතුවිල්ලෙන්.

ඕෆ් වයිට් කැටයම් කපපු ලස්සන සාරිය අරගත්තෙ ඩිසයින් බ්‍රයිඩල් වෙයා ශොප් එකකින්. ඒ ඒක්කම කස්ටමයිස් කරල මහගත්තා දෙවනි මනමාලියො අඳින ලා දුඹුරු පාට ඔසරිත් කසුනි ඇඳ උඩම අතුරල තිබ්බා. තව ටිකකින් මේව අරගෙන ගිහිල්ලා සැලෝන් එකට දෙන්න ඕන. නේල්ස් හදාගන්නයි, තව වැඩ වගේකුයිත් තියෙනව කිව්ව හන්දා තරුක කිව්ව එයාම කාර් එකෙන් එන්නම් කියල කසුනිව සැලෝන් එකට එක්කරගෙන යන්න.

“ඔයා කීයට වගේද තරූ මෙහෙට එන්නේ?”

කසුනි කෝල් එකක් දුන්නෙ ඒ සන්තෝසෙන්මයි.

“මම තව පැයකින් ඔතන” කිව්ව තරුක ෆෝන් එක තිබ්බා. කසුනි හෙමින් සැරේ රංගන ආවම යන්න ලෑස්තිවෙන්න හිතාගෙන ගිහිල්ල අඳින්න සුදුසු ඇඳුමක් තේරුවා.

පැයක් ගෙවුණත් තරුක ආවෙ නෑ.

“ඒ ලමයටත් වැඩනෙ ලමයො. ඔයා ඒ දරුවට එන්න කිව්වෙ අපරාදෙ මේ හෙට වෙඩින් එක තියාගෙන. පික් මී එකක් දාගෙන යන්න තිබුනනෙ”

“තරූමයි අම්මෙ එන්නම් කිව්වෙ අර කප් කේක්ස් ටික අරගෙන එන්නත් ඕන හන්ද. හොටෙල් එකට ගෙනියනවට වඩා මෙහෙ තියෙන එක හොඳයි කියල කිව්වා. නංගිලට හෙට එද්දි ඒ ටිකත් අරගෙන එන්න ඇහැකිනෙ”

කොච්චර වෙලා බලාගෙන හිටියත් තරුක ආවෙ නෑ. කසුනි කීප සැරයක්ම කෝල් ගත්තත් තරුක කෝල්වලට සම්බන්ධ වුනෙත් නෑ. ඒ වෙනුවට ඒ කෝල් එක ආවෙ කසුනි තාත්තට. තරුකගෙ හිතවතෙක්ගෙන්.

“තරුක ඇක්සිඩන්ට් වෙලා. එතනමයි”

කාලෙ ගෙවුණා. නංගිත් බැන්දා. කසුනි හිටියෙ තරුකගෙ මතක වලින් ඈත් වෙන්න බැරුව. අවුරුදු දෙකකට පස්සෙ වුනත් වෙඩින් එකට කලින් දවසෙ, තමන්ව බලන්න එන්න ආව තමන්ගෙ පෙම්වතා, මනමාලයා ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච එක අමතක කරල, හිත හදාගෙන වෙන කසාදෙකට යන්න පුලුවන්ද කියල කසුනි ගෙදර අයගෙන් ඇහුවා.

අම්මලා හිටියෙ හරිම හිත් වේදනාවෙන්. මොන දේ උනත් කසාදෙට කලින් දවසෙ බඳින්න ඉඳපු පිරිමි ළමය මැරිච්ච කෙල්ලෙක්ට “අවාසනාවන්තයි” කියල හංවඩු ගහන්න මිනිස්සු දෙපාරක් හිතන්නෙ නෑ. වයසට ගිහින් බඳින්න හිතුණත් ඒව එක්ක කසුනිට ජීවිතේ තව අමාරු වෙනව ඇරෙන්න ලේසි වෙන්නෙ නෑ කියල ඒ අම්මයි තාත්තයි හිතුවා.

ඒ නිසාමයි හැමෝටම හොරෙන් අම්මයි තාත්තයි ඒ ගමන යන්න තීරණේ කරේ.

“ඔයාලා කිව්වොත් කසුනි ඇත්තටම අපි කියනවට වඩා අහවි” දෙමව්පියො දෙන්නෙක් විදියට කසුනිගෙ අම්මයි තාත්තයි එහෙම ඉල්ලීමක් කරා.

ඒ තමන්ගෙ එකම පුතා මැරුණත්, කසුනි අවාසනාවන්ත කෙල්ලෙක් කියල හංවඩු ගැහුවෙ නැති, හිතවත්කම් නැති කරගත්තෙ නැති තරුකගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි.

ඒ ජෝඩුව කසුනිලගෙ ගෙදර ආවෙ ඒ ඉල්ලීම අනුව.

“දූ ඔහොම කඳුලු බිබී ඉන්න එක අපිට විතරක් නෙවෙයි පුතේ, කොහෙ හරි ඉඳන් ඔයා දිහා බලන් ඉන්න තරුකටත් දුකක් වෙයි.

තරුකට හොඳ ආත්මෙකට යන්න, සැනසීමක් දෙන්න දූ දැන් දූ ගැන හිතන්න ඕන. අපිවත් අම්මලවත් කියන නිසා නෙවෙයි දූ, තරුක ගැන හිතලවත් එහෙම කරන්න”

ඒ අම්මයි තාත්තයි කසුනිගෙන් ඇවිත් එහෙම ඉල්ලුවා

කසුනියි නිමන්තයි උන්නෙ පුදුමාකාර සන්තෝසෙකින්.

බොහොම අමාරුවෙන් හිත හදාගෙන නිමන්තව කසාද බැන්ද කසුනි කසාද බැන්දයින් පස්සෙ ගෙවපු සතුටුම රෑ වුනේ පුතා හම්බෙන්න කලින් දවසෙ ඉස්පිරිතාලෙ ගෙවිච්ච රෑ.

ලැබෙන්න ඉන්නෙ පුතෙක් බව දැනගත්ත  ගමන් කසුනි තීරණේ කරා, කේන්දර හදල, ඉපදෙන නැකතට මොන අකුර ආවත් තරුක කියල ඒ නමට කෑල්ලක් එක්කහු කරනවමයි කියල.

නිමන්තත් ඒකට විරුද්ධ වුණේ නෑ. මොන දේ උනත් තමන් බඳින්න උන්නු මනුස්සය වෙඩින් එකට කලින් දවසෙ මැරෙන එක කෙල්ලෙක්ට දරාගන්න අමාරු බව තේරුම්ගන්න තරම් නිමන්ත හිත උණුකරගත්ත වගේම, ඕනවෙලාවක කසුනිට අඬන්න තමන්ගෙ උරහිසත් දීල තිබුනා.

පුතා ඉපදුණේ උදේ පාන්දර.

නර්ස් කෙනෙක් අඬ අඬ උන්නු පොඩ්ඩව කසුනිගෙ අතෙන් තිබ්බ විතරයි පොඩ්ඩගෙ ඇඟිල්ල වගේම කසුනිගෙ ඇඟට දැනිච්ච වේදනාවත් නැති උනා.

තරුකට නම දාන්න හේතුවෙච්ච හේතුවම මේ පොඩ්ඩටත් ඇවිල්ල තියෙන බව දැක්කම ඇස්වලින් වැක්කිරිච්ච කඳුලු නතර කරගන්න කසුනිට පුලුවන් වුනේ නෑ.

අනන්ත වාරයක් අතගාපු තරුකගේ දකුණු අතේ වැලමිට ලඟ පිහිටල තිබ්බ තරුවක් හැඩේ උපන්ලපේ මේ පොඩ්ඩගෙත් අතේ එතනම ඒ විදියටම පිහිටල තිබ්බා.

“ඇත්ත ආදරේ කවදාවත් අපිව අතැරල යන්නෙ නෑනෙ” කියල පුතාව දැකල කසුනිගෙ නළල උඩින් නිමන්ත තිබ්බ උණුහුම් හාදුව එක්ක කසුනි තරුකගෙ ආත්මෙට හදවතින්ම සමු දුන්නා.

More Stories

Don't Miss


Latest Articles