පොඩ්ඩන්ට ඉස්කෝලේ ගෙනියන්න මැක් විත් චීස් හදමු 

අපේ පොඩ්ඩො හැමදාම අලුත්, අලුත් රස හොයනවනේ. 

පෝෂණය පැත්තකින් තියල රස හොයන නිසාම පොඩ්ඩන්ට කෑම තෝරන එක smart ඔබට ලොකු අභියෝගයක් වෙලා කියල අපි දන්නව. 

අද වෙද්දි වෙළඳපොලේ මිලදී ගන්න ලැබෙන ආහාර වල ප්‍රමිතියේ තියෙන ගැටළු නිසාම ඔබේ මුළුතැන්ගෙයි ඔබේ අතින්ම රසට පිරිසිදුවට පිළියෙල වෙන ආහාරයක වටිනාකම ගොඩක් වැඩියි. 

අන්න ඒ නිසාම, අපි අද වෙනස් රසට මැක් විත් චීස් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

මුලින්ම බලමුකො අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල? 

අවශ්‍ය ද්‍රව්‍ය 

මැකරෝනි 220 g ක් 

බටර් හෝ මාගරින් මේස හැඳි 02 ක් 

පිටි මේස හැඳි 02 ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

ගම්මිරිස් කුඩු ස්වල්පයක් 

දියර කිරි කෝප්ප 01 ක් 

චෙඩාර් චීස් හෝ සාමාන්‍ය චීස් 200 g (මොසරැල්ලා චීස් සුදුසු නොවේ) 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට වතුර එකතු කරගන්න. 

එයට ලුණු කුඩු තේ හැඳි ½ ක් පමණ දමා වතුර නටන තුරු තබා මැකරෝනි එකතු කරගන්න. 

මැකරෝනි වල මැද සුදු පැහැය ඉවත්වෙන තුරු තම්බා ගන්න (මැකරෝනි එකක් දෙකට මැදින් කැඩූ විට දාරය සුදු පැහැති නම් මැකරෝනි තැම්බී නැත)

මැකරෝනි තැම්බුණු පසු වතුර පෙරා හොඳින් වතුර බේරීමට තබන්න. 

භාජනයක් ලිප තබා එයට බටර් හෝ මාගරින් එකතු කර මඳ ගින්නේ බටර් දියවන තුරු තබාගන්න. 

බටර් දියවන විට එයට පිටි, රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර විනාඩි 05 ක් පමණ හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට සෙමින් කිරි එකතු කරමින් දිගටම හැඳි ගා ගන්න. 

මිශ්‍රණය මෘදුවී බුබුළු එන තුරු විනාඩි 05 ක් පමණ හැඳි ගා ගන්න. 

දැන් මෙ මිශ්‍රණයටම චීස් එකතු කර චීස් දියවන තුරු නැවත විනාඩි 02 ක් 04 ක් පමණ හැඳි ගා ගන්න. 

චීස් දියවූ පසු එයට වතුර බේරාගත් මැකරෝනි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. 

ඔන්න දැන් උණුසුම් චීස් බේරෙන මැකරෝනි සූදානම්. 

වඩාත් රසවත් නම් උණුසුම්ව තමයි, ඒත් දවල් කෑම පෙට්ටියෙ වෙනද පුරුදු කෑම වෙනුවට චීස් වලින් වැහුණු මැකරෝනි තියෙනව දැක්කොත් උණුසුම් නැතිව වුනත් පොඩ්ඩො ඔක්කොම කාල ඉවර කරනව කියල නම් අපිට විශ්වාසයි. 

එහෙනම්, හදල බලමු නේද මේ විදිහට මැක් විත් චීස් ?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles