ගෙදරදීම හදල උණුවෙන්ම රෝස් පාන් කමු

උණු රෝස් පාන් එක්ක කන්න කැමතිම මොනවද ?

උණු රෝස් පාන් එක්ක පොල් සම්බෝල, පරිප්පු හොද්දක්, මස් හරි මාළු හරි හොද්දක් කාල උණුවෙන්ම තේ එකක් බීවම දැනෙන්නේ හරිම වෙනස් වගේම ආවේණික රසයක්නෙ. 

රෝස් පාන් වල සුවඳ ඒ රස වැඩිකරන්න එක හේතුවක්නේ. 

කලාතුරකින් වුනත් අදටත් පාන් පෝරණුවක් ලඟින් යද්දි එන පාන් පුච්චන සුවඳට අපේ බඩගිනි අවුස්සන්ඩ පුළුවන් ඒ නිසානේ. 

ඒ සුවඳටම රසට, පිරිසිදුවට ගෙදරදිම රෝස් පාන් හදාගන්න තිබුනොත් වැඩිය හොඳයිනෙ. ඔන්න අද අපි කියල දෙන්න සූදානම් වෙන්නෙ ගෙදරදීම හරිම ලේසියෙන් රෝස් පාන් හදාගන්නෙ කොහොමද කියලයි. 

එහෙනම්, මුලින්ම බලමු අපිට අවශ්‍ය වෙන්නෙ මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

පිටි 01 kg ක් 

ලුණු කුඩු තේ හැඳි 02 ක් 

සීනි තේ හැඳි 02 ක් 

ඊස්ට් මේස හැඳි 03 ක් 

පොල්තෙල් මේස හැඳි 03 ක් 

මඳ උණුසුම් ජලය (අත දැමීමට හැකි ප්‍රමාණයේ)

අවශ්‍ය වූ විට ගැනීමට වෙනම පිටි ස්වල්පයක්

සාදාගන්නා ආකාරය 

මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, ලුණු කුඩු, සීනි සහ ඊස්ට් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට පොල්තෙල් ද එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට සාදාගත් පිටි මිශ්‍රණයට මඳ උණුසුම් ජලය ටිකෙන් ටික එකතු කර අතේ නොඇලෙන පිටි ගුලියක් සාදාගන්න. 

දැන්, පැතලි මතුපිටකට පිටි ස්වල්පයක් ඉස ඒ මත පිටි ගුලිය දමා අත් දෙකම පාවිච්චි කර පිටි ගුලිය විනාඩි 10 ක් පමණ අත් ගසා ගන්න. 

අවසානයේ පිටි ගුලිය දෙපසට අදින විට මැඳින් නොකැඩෙන යම් ඇදෙන සුළු ස්වභාවයක් ලැබී තිබිය යුතුයි. 

දැන් මේ පිටි මිශ්‍රණය නැවත කලින් භාජනයට දමා පොලිතීන් කවරයකින් සුළං නොවැදෙන සේ හොඳින් භාජනය ආවරණය කර පැයක් පමණ තබාගන්න. 

පිටි ගුලිය මුල් ප්‍රමාණයට වඩා දෙගුණයක් වන තරමට පිපී තිබිය යුතුයි. 

මේ අතර වෙනම තරමක් විශාල තැටියක තෙල් ආලේප කර සූදානම් කරගන්න. 

පැයකට පසු දෙගුණයක ප්‍රමාණයට පිපුණු පිටි ගුලිය නැවත පැතලි මතුපිටට දමා අතේ හොඳින් තෙල් ආලේප කරගෙන පිටි ගුලිය 200 g පමණ කුඩා පිටි බෝල වලට වෙන්කර ගන්න.  

වෙන් කරගත් පිටි බෝල තෙල් ආලේප කර තැටියේ මඳක් ඈතින් අසුරා ගන්න. 

තැටියේ අසුරාගත් කුඩා පිටි බෝල වල උඩ හොඳින් තෙල් ආලේප කර නැවත හොඳින් වසා පැය භාගයක් පමණ තබා ගන්න. 

ගෙදරදී ඔබ කේක් සාදාගන්න යොදාගන්න තැටියක තෙල් ආලේප කර සූදානම් කරගන්න. 

දැන් පිපී ඇති කුඩා පිටි බෝලයක් ගෙන එය පැතලි මතුපිට මත තබා එය සමතුරස්‍රාර හැඩයට අතින් සකසා නැවත දෙකට නමාගන්න. 

එය පැතලි මතුපිට මත තබා කේක් තැටියේ පළලට සෙමින් දෙපසට ඇඳගන්න. 

දැන් එහි නැවත හොඳින් තෙල් ආලේප කර දිග අතට කේක් තැටියේ අසුරා ගන්න.

(පිටි ගුලියේ දිග පැත්ත යටට සිටින සේ)

මෙලෙස එක් එක් පිටි ගුලිය සකසා හොඳින් තෙල් ආලේප කර කේක් තැටියේ අසුරා ගන්න. (පිටි ගුලි දෙකක් එකතු වෙන තැන හොඳින් තෙල් ආලේප වී තිබීමෙන් පසුව ගලවා ගැනීම පහසු වේ) 

සියල්ල අසුරා ගත් පසු උඩත් හොඳින් තෙල් ආලේප කරගෙන තෙත රෙදි කැබැල්ලකින් ආවරණය කර නැවත පැය භාගයක් පමණ තබාගන්න. 

ඒ අතර අවන් එක සෙන්ට්‍රිගේට් අංශක 175 ක 180 ක උෂ්නත්වයට විනාඩි 10 ක් පමණ රත් කරගන්න. 

දැන් සූදානම් කරගත් පාන් ඇසිරූ තැටිය පාන් උඩින් නැවත තෙල් ආලේප කර සෙන්ට්‍රිගේට් අංශක 175 ක 180 ක උෂ්නත්වයේ විනාඩි 20 ක් බේක් කරගන්න. 

විනාඩි 20 ක් අවසානයේ තැටිය එළියට ගෙන පිළිස්සුණු රෝස් පාන් එකිනෙක ප්‍රවේශමෙන් වෙන් කරගන්න. 

ඔන්න දැන්, උණුසුම්, සුවඳ විහිදෙන රසම රස රෝස් පාන් හදල ඉවරයි. 

එහෙනම්, හොඳ හොද්දක් හදාගෙන රස බලමුද රෝස් පාන් ? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles