ඉක්මණින් හදාගන්න පුළුවන් ලේසිම ලේසි රොටියක්

හැමදාම එකම රසට, එකම විදිහට රොටී හදල කාල පුරුදු ඔබට ඔන්න අද වෙනස්ම රසකට රොටී හදන ක්‍රමයක් ගැන කියල දෙන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ. 

පිටි අනන්න, පිපෙන්ඩ තියන්න මොනවත් ඕනෙ නැති හරිම ඉක්මණින්, පහසුවෙන් වැඩි වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන් පෝෂණයෙන් පිරුණු මේ රොටිය ඔබේ පොඩ්ඩන්ට වුනත් බය නැතුව කෑමට දෙන්න පුළුවන් වගේම හරිම රසවත් කියලත් ඔබට මතක් කරන්න කැමතියි. 

එහෙනම්, අපි මුලින්ම බලමු අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කෝප්ප 01 ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු මේස හැඳි 02 ක් 

කුඩා කොටු හැඩයට කපාගත් තක්කාලි මේස හැඳි 02 ක්

කුඩා කොටු හැඩයට කපාගත් කැරට් මේස හැඳි 02 ක්

සිහින්ව ලියාගත් ලූණු කොළ හෝ ලීක්ස් මේස හැඳි 02 ක් 

කෑලි මිරිස් මේස හැඳි 01 ක් 

කුඩාවට කපාගත් සුදුලූණු බික් 01 ක් 

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 02 ක් 

සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ / ගොටුකොළ මේස හැඳි 01 ක්

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු මේස හැඳි ¼ ක් 

වතුර කෝප්ප 01 ක් / පොල් කිරි කෝප්ප එකක්

බිත්තර 02 ක් 

තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, ලොකු ලූණු, සුදුලූණු, තක්කාලි, කැරට්, අමු මිරිස්, ලූණු කොළ / ලීක්ස් කොළ, කොත්තමල්ලි කොළ / ගොටුකොළ, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, රස අනුව ලුණු කුඩු සහ වතුර හෝ පොල් කිරි කෝප්ප එකක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් මේ මිශ්‍රණයටම බිත්තර 02 ක් එකතු කර පිටි කැට නොසිටින සේ නැවත සියල්ලම හොඳින් කලවම් කරගෙන තරමක් දියාරු මිශ්‍රණයක් සාදාගන්න. 

ඊළඟට, තැටියක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තැටියේ අඩිය පුරා තෙල් ආලේප කරගන්න. (මඳ ගින්දරේ)

තෙල් රත්වුණු පසු සාදාගත් පිටි මිශ්‍රණයෙන් කොටසක් තැටියට දමා හැන්දක් මඟින් පිටි මිශ්‍රණය සෙමින් භාජනය පුරා තුනී කරගෙන රවුම් රොටියක හැඩයට සකසා ගන්න. 

ටික වේලාවක් තබා රොටියේ උඩ පැත්තේ නැවත තෙල් ස්වල්පයක් ආලේප කර රොටිය ප්‍රවේශමෙන් අනෙක් පසට හරවා ගන්න. 

මෙලෙස රොටියේ දෙපස තැනින් තැන දුඹුරු පැහැ පැල්ලම් සහිත රන්වන් පාට වනතුරු දෙපැත්ත හරවමින් බැඳගන්න. 

රොටිය භාජනයෙන් ඉවත් කර නැවත තෙල් ස්වල්පයක් ආලේප කර පිටි මිශ්‍රණයෙන් තවත් කොටසක් තැටියට දමා පෙර පරිදිම රොටී සාදාගන්න. 

පිටි මිශ්‍රණය තැටියට දැමීමට හැන්දක් භාවිතා කිරීම මඟින් එකම ප්‍රමාණයේ රොටී හදාගන්න ඔබට පුළුවන්. 

ඉතිං, මේ පෝෂණීය උණුසුම් රසම රස රොටී ඔබට බටර්, සෝස්, මයෝනීස් වගේ ඔබ කැමති මේ ඕනෑම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. 

එහෙනම්, හදල බලන්නකෝ.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles