කැරට් පිට්ටු හදමු 

අපේ සාම්ප්‍රදායික කිරිබත MasterChef Australia තරඟාවලියෙදී නවීන විදිහට සකසල පිළිගන්වපු විදිහ ඔබ දැක්ක නේද?

අන්න ඒ වගේ සාම්ප්‍රදායික කෑම බීම වුනත් වෙනස් රසයට රස බලන්න කැමති ඔබ වෙනුවෙන්ම රස වගේම පෝෂණ ගුණයෙනුත් අනූන තවත් කෑමක් හදන විදිහ අරගෙනයි ඔන්න smart lady අපි අද මේ ලිපියෙන් එකතු වෙන්නෙ. 

අපි කලින් රුලං පිට්ටු හදන විදිහ ඔබට ගෙනාව ඔබට මතක ඇතිනෙ. (https://smartlady.lk/article/37667/cooking-54/

අද අපි ඔබත් එක්ක බෙදාගන්න මේ සූදානම් වෙන්නෙ, කැරට් වලින් පිට්ටු හදන විදිහයි. ඉක්මණින් පහසුවෙන් හදාගන්න පුළුවන් නිසා උදෑසන හෝ රාත්‍රී ආහාර වේලක් සඳහා වගේම විශේෂ අවස්ථාවලදී අමුත්තන්ට පිළිඟන්වන්න වුනත් මේ කැරට් පිට්ටු හදාගන්න ඔබට පුළුවන්. 

මුලින්ම, අපි බලමු අපිට අවශ්‍ය කළමණා මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

යන්තමින් බැඳගත් හාල් පිටි / හාල් පිටි කෝප්ප 01 ½ ක් 

ගාගත් පොල් කෝප්ප ¼ ක් (දුඹුරු පැහැ කොටස ගාගන්න එපා) 

ගාගත් කැරට් කෝප්ප 01 ක් 

පොල් වතුර හෝ වතුර ස්වල්පයක් 

ලුණු කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට හාල් පිටි සහ ගාගත් කැරට් දමා හොඳින් කලවම් කරගන්න. 

මේ මිශ්‍රණයට පොල් වතුර හෝ වතුර තේ හැන්ඳක් දෙකක් ඉසගෙන නැවඛොඳින් කලවම් කරගන්න. 

මිශ්‍රණය අත්ලේ ගුලිකර විට ගුලියක් ලෙසත්, ඇඟිලි වලින් පොඩි කිරීමේදී කුඩු වෙන ලෙසත් තිබිය යුතුයි. 

ඒ පදම ලැබෙන තුරු වතුර හෝ පොල්වතුර ප්‍රමාණය අඩු වැඩි කර එකතු කරගන්න ඔබට පුළුවන්. 

දැන් පිට්ටු බම්බුවේ යට කොටසට වතුර පුරවා වතුර නටන තෙක් ලිපතබා පිට්ටු බම්බුව සූදානම් කරගන්න. 

පිට්ටු බම්බුවේ උඩ කොටසේ යටටම ගාගත් පොල් වලින් කොටසක් අතුරා ගන්න. ඊට උඩින් පිට්ටු බම්බුවේ ¼ ක් පමණ පිරෙන තෙක් කැරට් – සහල් පිටි මිශ්‍රණය දමා ගන්න. 

නැවත ගාගත් පොල් තීරුවක්ද ඊට උඩින් කැරට් – සහල් පිටි මිශ්‍රණයද ඊට උඩින් නැවත ගාගත් පොල් තීරුවක්ද දමා පිට්ටු බම්බුවේ කට වසා ගන්න. 

(ඇඟිලි වලින් මේ මිශ්‍රණය ටිකක් තද කිරීම ප්‍රමාණවත් වේ)

දැන් පිට්ටු බම්බුවේ යට කොටසට මේ පිට්ටු මිශ්‍රණය දමාගත් උඩ කොටස සම්බන්ධ කර විනාඩි 05 ක් / පිට්ටු බම්බුවේ උඩින් දුම් ඉවතට පැමිණෙන තෙක් තම්බාගන්න. 

ලිපෙන් ඉවත් කරගත් පිට්ටු බම්බුවෙන් ප්‍රවේශමෙන් පිට්ටුව ඉවතට ගෙන පොල් කිරි, ලුණු මිරිස්, කෙසෙල් ගෙඩි, මස් හෝ මාළු හොඳි වගේ ඔබ කැමති දෙයක් සමඟ රස විඳින්න ඔබට දැන් පුළුවන්. 

පිට්ටු බම්බුවෙන් භාගයකට කැරට් පිට්ටු මිශ්‍රණයත්, ඉතිරි භාගයට සාමාන්‍ය පිට්ටු මිශ්‍රණයත් පුරවා සකස් කරගන්නත් ඔබ කැමති නම් පුළුවන්. 

එහෙනම්, මේ විදිහට කැරට් පිට්ටු හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles