මියුරු පෙම් වසන්තේ – 16

නදී මියුරුගේ කරේ එල්ලී නටන ආකාරය ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ සියල්ලන්ම බලා උන්නේ ඇස් දෙක නළලේ තියාගෙනය. ආයතනයේ වෙන්න හිමිකරු එක්ක මෙහෙම කරේ එල්ලී නටන්න නම් ඒ කෙල්ල පුදුම බයක් සැකක් නැති එකියක් විය යුතු බව කට්ටියම හිතද්දී මියුරුට නම් හිතන්න තිබ්බේ වෙනම දෙයකි.

“මේ ගෑනිටනම් මෙලෝ ලැජ්ජාවක් නෑ. බෝයි ෆ්‍රෙන්ඩ් එක්කම මෙතනට ඇවිල්ලා දැන් මගේ කරේ එල්ලිලා නටනවා” කියා හිතන අතරම මියුරු උත්සහ කරේ තමන්ගේ ඇඟේ එල්ලිලා නටන නදීව ගලවගන්නය. ඒ උනාට නදී නම් උන්නේ එහෙම ලේසියෙන් මියුරුට ගැලවෙන්න ඉඩ දෙන්න හිතාගෙන නොවේ.

අනිත් අතට මියුරු නදී ගැන මොනවා හිතාගෙන උන්නත් තමන් තාම තනිකඩ කෙල්ලෙකු බව දන්න හන්දා කාගෙවත් හිත රිදේවි යැයි නදී බය උනේ නැත. අනික්කෙක බය උනත් මත් බව හන්දා නදීට තමන් මෙහෙම නටන එක ලැජ්ජ වෙන්න කාරණාවක් කියා හිතුනේත් නැත. ඇය දිගටම නැටුවේ ඒ හන්දාය.

ෆේවිකෝල් සේ සින්දුව ඉවර වෙද්දීම උත්සවයට සංගීතය සපයන්න ආ ඩීජේ කොල්ලා ආයෙම වරක් ඒ වගේම තව සුපිරි සිංදුවක් දැම්මේය.

“වොන බී මයි චම්මක් චල්ලෝ” කියමින් නදී මියුරුගේ අතින් අදිමින් නැටුවේ කරීනා ශාරුක් එක්ක නැටුවාට වඩා හොඳ නැටුමකි. කරකියා ගන්න දෙයක් නැති හන්දා මියුරුද නිකන් බීගෙන මෙන් නටන්න ගත්තේ තමන් මෙතන බුම්මට්ටා වගේ ඉන්න එකෙන් වෙන්නෙ දෙන්නටම ලැජ්ජ වෙන්න වෙනවා කියා දන්න හන්දාමය. මියුරුද හරිහරියට නටන්න පටන්ගත්තයින් පසු මෙතෙක් වෙලා නදීගේ නැටුමට රුකුල් දෙන්නට අත්පුඩි ගසමින් ඩාන්සින් ෆ්ලෝර් එක අයිනේ රැඳී උන් පිරිසද ආයෙම වරක් ඩාන්සින් ෆ්ලෝ එකට ආවේ නටාගෙනය. හැමෝගෙම මුහුණු පිරී තිබුණේ සතුටෙන් උනත් සකුනිත් තේමියත් ලිඩියාත් උන්නේ මූණ දෙක කරගෙනය. මේ වනාහී තමන් බලාපොරොත්තු වුණ දෙයක් නොවේ.

“මොකද්ද බං මේ උනේ?” කියා තේමිය සනුකි ලිඩියාත් දෙස බලා කිව්වේ ඒ හන්දාය.

“මේ ගෑණි මාරයිනෙ. කිසි ගාණක් නැතුව බොසාගෙ කරේ එල්ලිලා නටන්නෙ” කියා ලිඩියා කියද්දී සනුකි උන්නේ ඩාන්සින් ෆ්ලෝ එක මතට ගොස් නදීගේ බෙල්ල මිරිකන්න තරම් කේන්තියකය. සාමාන්‍යයෙන් කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් තඹ සතේකට මායිම් නොකරන මියුරු රදන්පොල ජීවිතේ පලවෙනි වතාවට තමන්ගේ කාර්‍යාලයේ සේවක ප්‍රජාවත් දෙමව්පියනුත් ඉදිරියේ මෙසේ නැටීම සනුකි කිසිම දිනක දකින්නට බලාපොරොත්තු වූ දෙයක් නොවේ.

එහෙත් දැන් මේ දෙනෙත් ඉදිරියේ වෙමින් පවතින්නේ ඒ කිසිම දිනක දකින්න බලාපොරොත්තු උනේ නැති දේය.

“කවුද බං හිතුවෙ මේකි මෙහෙම හිමිජ්ජා වගේ ඔලුව නවන් ෆ්ලෝ එක මැදින් යද්දි මෙහෙම දාංගලයක් තියෙන එකෙක් වේය කියල” ලිඩියාත් තේමියත් එකිනෙකා සමග අදහස බෙදාගනිමින් උන්නද සනුකි උන්නේ වෙනදා මෙන් ඒ කිසිවකට උල්පන්දන් දෙන්න පුලුවන්කමක නොවේ.

“මං හිතුවෙ නෑ බං මෙහෙම දෙයක් වෙයි කියල”

“මාත් හිතුවෙ එක්කො මේකි අමාරුව හන්දා යන්නයාවි කියල ඒ නැතත් කවුද මෙහෙම දෙයක් වෙයි කියලා”

“මහ ලොකුවට කිව්ව නේද මේක නම් තිතට වැඩ කරන මාස්ටර් ප්ලෑන් එකක් කියලා” සනුකි කට ඇරියේ මේ ලිඩියාගේ සහ තේමියගේ කතාව කණටත් මියුරු සහ නදීගේ රුව දෙනෙතටත් වදයක් වී ඒ වදය දරාගන්නට අපහසුම තැනය.

“මහ ලොකුවට කිව්වෙ නම් කොහොමද? මෙහෙම වෙයි අරහෙම වෙයි කියල. අන්තිමේ නිකන් අපි චාටර් වෙච්ච එක වෙන්නෙ. මෙච්චරකල් පැත්තක ඉඳපු එකියක් අන්තිමේ ඔෆිස් එකෙ ඇනිවසරි පාටි එකේදි හැමෝටම නෝට් වෙච්ච එකයි උනේ” කියා සනුකි ගස්සගෙන ඉස්සරහට ගියාය.

තේමියටත් ලිඩියාටත් කරන්නට පුලුවන් උනේ මුහුණට මුහුණ බලාගෙන කල්පනා කරන එක විතරය.

හැමෝම ෆ්ලෝ එකේ නට නට ඉද්දී මියුරු උත්සහ කලේ නදීගෙන් ඈත්වෙන්නය. ඒ උනාට නදී උන්නේ මියුරුගේ අත් දෙකෙන් අල්ලගෙන නටන ගමන් ය. එතනට වට වී උන් බොහෝ පිරිමින්ට නදී එක්ක නටන්නට උවමනාවක් තියෙන බව තේරුම් ගිය හන්දා මියුරුට ඇයව එතන තනිකර යන්නට පුලුවන්කමක් තිබුනේත් නැත. මොක උනත් හිත අස්සක ඉතින් මේ පිස්සු ගෑණි ගැන හැඟීමක් තියෙන එක හංගන්නට බැරිය.

නදී නම් උන්නේ ලෝකෙ පෙරලුණත් කමක් නෑ කියන ගාණට නටමිනි.මේ සැහැල්ලුව ඇඟටත් හිතටත් දැනුනේ බොහෝ කාලයකට පස්සේය. ඉතින් ඒ ආතල් එක මග හැරගන්න එක මෝඩකමකි.

“දැන් නැටුවා ඇති නේද?”” කියා අසමින් මියුරු උත්සහ කලේ නදීව ඩාන්සින් ෆ්ලෝ එකෙන් එලියට අරගෙන යන්නට උනත් නදී නම් එයට කැමති උනේම නැත.

“අනේ දැන්ම යන්න බෑ අනේ, තව නටමුකො, මොකද්ද?”

“දැන් කොච්චර නැටුවද? මගෙ කකුල් දෙකත් රිදෙනව, ඔයා එල්ලිල ඉඳල මගෙ බෙල්ලත් රිදෙනවා”

“අනේ චූටි කුමාරයගෙ බෙල්ල රිදෙනවද? පව්ව්ව්ව්ව්. ඒ උනාට කමක් නෑ අපි තව නටමු හොඳේ” කියමින් පිස්සියක මෙන් හිනාවෙමින්, කොමල කරමින් නදී දිගටම නටයි.

“චූටි කුමාරයා?”” වෙනදා මේ තමන්ගේ මූණ දිහා කෙලින් බලන්නේ නැතුව කතාකරන ගෑණි අද මෙහෙම කොමල කරමින් කතා කරන එක ගැන මියුරුට නිකන් ඔල්මොරොන්දන් වගේය. අනික මේ කෙල්ල මෙහෙම බීලා මත්වෙන ජාතියේ කෙල්ලක බව මියුරු හිතලා තිබුනේත් නැත. කොටින්ම තමන්වත් මෙහෙම බීලා මත්වෙලා නැත.

“මොනවද කියවන්නේ? ඔයාට කන්ට්‍රෝල් කරගන්න බැරි නම් ඔහොම බිව්ව එක කැතයි නේද?” මියුරු හීන් සැරේ නදීගේ කණට ලං වී ඇසුවේ තාලෙට පාද තබන ගමන් වෙන කාටවත් මේ කතාව නොඇහෙන බව ස්තිර කරගනිමිනි.

“බීලා කවුද බීල තියෙන්නෙ? මං බීලා නෑ. ඔයා බිව්වද? කෝ ගඳක් නෑනෙ” කියා කියවමින් නදී මියුරුගේ කට ළඟට නාහෙ ලං කර සුවඳත් බැලුවාය.

“මං නෙවෙයි තමුන් තමා බීල ඉන්නෙ, නැත්තන් මෙහෙම පිස්සෙක් වගේ නටනවද?””

“ආ මං බීලා නෑ. මං කවදාවත් බීලා නෑනෙ. මං නටන ගමන්ද ඉන්නෙ? නෑනෙ”

“බීලා නැත්තම් මෙහෙම හැසිරෙනවද?” මියුරු අසන්නේ නදීගේ කණ ලඟටම ලංවෙලා දත් මිටි කාගෙනය. කෑවයින් කාලා නෑ මෙහෙම චාටර් එකක් කියා හිතෙද්දි මියුරුගේ ඇස් සීසීටීවී කැමරා දෙකක් මෙන් වටේ පිටේට එල්ලවුනේ මේ නාඩගම දිහා කවුරු බලාගෙන ඉන්නවද කියන එකය.

“ආහ් ඇයි මොකද්ද මේකේ තියෙන වරද?” නදී අහන්නේ සරාගී විදියට මියුරුගේ දෙනෙත් දෙසම බලාගෙනය. මේ ඉලව් ඔක්කොම අස්සෙත් “මේකි පුදුම ලස්සනයිනෙ” කියා හිතන්නෙ නැතුව ඉන්න පුලුවන්කමක් මියුරුට තිබේ නැත. ඒ රාත්‍රියේ මන්දාරම් ආලෝකය යට නදී උන්නේ දිළිසෙමිනි. ඒ වනාහී ඇය ඇඳ පැලඳගෙන ආ ඇඳුමෙන්වත්, ඇය මුහුණේ තවරාගෙන උන් වත්සුණු වලින්වත් ආ දිස්නයක් නොව, ජීවිතේ පළවෙනි වතාවට මෙච්චර සෙනගක් මැද්දේ කිසිම බයක් නැතුව නිදහසේ නටන්නට ලැබුණ සතුට නිසා පැලඳගන්නට, වැළඳගන්නට ලැබුණ දිස්නයකි.

නදී ඉන්නේ හොඳටම වැදී බව තේරුණයින් පස්සේ ඇයව හෝටලයේ කාමරයකට ගෙනිහින් දානව ඇර වෙන කරන්න දෙයක් මියුරුට තිබ්බේ නැත.හැමෝම උන්නේ විනෝදවෙමින් හන්දා කට්ටියගේ ඇස් වලින් මිදී වේටර් කොලුවෙකුගේ උදව්වද ගෙන නදීව හෝටලයේ පහතමාලයේ කාමරයකට ගෙන ගිය මියුරු ඇයව ඇඳ උඩට අත හැර ආපහු යන්නට හැදුවද නදී මෙතෙක් වේලා අල්ලගෙන උන් මියුරුගේ අත අතෑරීයෙ නැත.

“යන්න එපා” නදී කිව්වේ හාන්සි වී උන් ඉරියව්වෙන්ම මදක් කොන්ද කෙලින් කර මියුරුගේ අතින් අල්ලාගෙනය. මෙතෙක් වේලා ඇයගේ දෙනෙත් වසාගෙන තිබුන මත් බව නිසා ආ සරාගී බව මිදී ගොසින් ඒ දෙනෙත් අස්සේ පිරී තිබුනේ තනිකමක සේයාවකි. අවුරුදු ගාණක් පුරාවට මියුරු කෙල්ලෙකුගේ දෙනෙත් අස්සෙන් දකින්නට බලාපොරොත්තු වූ බැල්මකි.

එහෙත් නදී වනාහී වෙන ගහක පිපුණු මලකි. තමාට ඇයව සිඹින්නට ඉඩක් නැති බව දන්න හන්දාම “යන්න එපා” කිව්වත් නොගිහින් ඉන්න හැටියක් මියුරුට නැත.

“මට මෙතන ඉන්න බෑනෙ. ඔයා නිදාගන්න දැන්. ටිකකින් හරියාවි. මම මොනවහරි එවන්නම් කන්න බොන්න”
“ඒ උනාට යන්න එපා, ඔයා ගියාම මට පාලුයිනෙ” හුරතල් කටහඬකින් හුරතල් විදියට බලා අහද්දී එය මගහරින්න පුලුවන්කමක් නැතත් “කොල්ලෙකුත් ඉද්දි “මේකිට මෙහෙම කියන්න ලැජ්ජ නැද්ද?” කියා නොහිත ඉන්න මියුරුට බැරිය.

“මට මෙතන මේ ඔයා එක්ක ඉන්න බෑනෙ, ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ නම්බර් එක දෙන්න. මම කෝල් කරල කියන්නම් එයාට ඇවිල්ල ඔයාව එක්කන් යන්න කියල”

මියුරු කිව්වේ මේ බීගත්ත ගෑණිව මෙතන තියාගෙන තව මොන නාඩගම් නටන්න වෙයිද කියා බියෙනි.

“බෝයි ෆ්‍රෙන්ඩ්? මොන බෝයි ෆ්‍රෙන්ඩ් ද?”

“ඔයාගෙ අර ත්‍රීවිල් එක එළවන බෝයි ෆ්‍රෙන්ඩ්. මම නම දන්නෙ නෑ”

“අනේ චූටි පැටියෝ, ඒ මගෙ යාලුවෙක් විතරයි අනේ. මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑනෙ”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles