බිඳ වැටුණ හොග්වාට්සි සිව් වන කුළුණ – මැගී ස්මිත්

පුංචි දරුවො විදියට අපිව මායා ලෝකයකට අරගෙන යන්න සමත් වෙච්ච Harry Potter කතා මාලාව 90 දශකයේ ඉපදිච්ච දරුවන් වෙච්ච අපිට අමතක කරන්නම බැහැ.

ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර්, ස්නේප්, හැග්‍රිඩ්, රොන් සහ හර්මයිනි එක්ක ගෙවිච්ච අම්මා තාත්තා නැති හැරීගේ ජීවිතේට අම්මා කෙනෙක්ගෙ සෙවණැල්ල වට්ටවන්න සමත් වෙච්ච කාන්තාවො දෙන්නෙක් මේ චිත්‍රපටයේ උන්නා. එක්කෙනෙක් රොන් ගෙ අම්මා. අනික් කෙනා ප්‍රොෆෙසර් මැගොනිගල්.

ඉතින් අද කතාබහ හොග්වාට්ස් මන්දිරයේ සිව් වන ශක්තිමත් කුළුණත් බිඳ හෙලමින්, හැග්‍රිඩ්, ස්නේප් සහ ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් හමුවෙන්නට දෙව් ලොව බලා ගිය ආදරණීය මැගී ස්මිත් නොහොත් ප්‍රොෆෙසර් මැගොනිගල් ගැන.

මැගී ස්මිත් මිනිසුන් අතරට එන්න හේතු වුන ප්‍රබල චිත්‍රපට දෙකක් ලෙස හැරී පොටර් වගේම Downtown Abbey හඳුන්වන්න පුළුවන්.

දශක අටක් පුරා දිව ගිය ඇගේ සිනමා ජීවිතය ඇතුලෙ මැගී ස්මිත් ජනප්‍රිය වුනේ ඇය සතුව තිබූ චතුර කථිකත්වය මෙන්ම නොබිය වාග් මාලාව නිසාවෙන්.

හැරී පොටර් චිත්‍රපටවල, උල් කලු පැහැති තොප්පියක් පැලඳගෙන, තරුණ මායාකාරියන් අතරෙ බොහොම යුහුසුලුව එහෙ මෙහෙ ඇවිද්ද ප්‍රශංසනීය මායාකාරියක් ලෙස හැමෝගෙම නෙත්වලත් හිත්වලත් ලොකු ඉඩක් ලබාගන්න ඇය සමත් වුණා.

“ඇයට තිබුනේ ප්‍රශංසනිය හැකීයාවක් වගේම බය නැතුව වචන පාවිච්චි කරන්න හැකියාව ඇයට තිබුණා. කෙනෙක්ව එකම එක බැල්මකින් බය ගන්වන්න වගේම ආකර්ෂණය කරගන්නත් ඇයට පුලුවන්කම තිබුණ” බව කියන්නෙ මැගී ස්මිත් වෙනුවෙන් ගෞරව දක්වන්න ආව හැරී පොටර් නලුවා වෙන ඩැනියෙල් රැඩ්ක්ලිෆ්.

“ඇයත් එක්ක වැඩකරන්න ලැබිච්ච එක ලොකුම ලොකු දෙයක් සහ වාසනාවක් විදියට මම දකිනවා. ලෙජන්ඩ් කියන වචනය තමයි ඇත්තටම එයාට ගැලපෙන්නෙ” කියලා මැගී ස්මිත් සමග රඟපෑව බොහොමයක් දෙනා ඉතාම ආදරයෙන් වගේම සංවේගයෙන් ඇගේ නික්මයාම ගැන අදහස් ප්‍රකාශ කරේ ඒ විදියට.

මිනිස්සු අතර ගොඩක්ම ජනප්‍රිය වුන Downtown Abbey කතා මාලාවෙ මැගී ස්මිත් රඟපෑවේ Violet Crawley, the Dowager Countess of Grantham කියන චරිතය. ඉතාම විශිෂ්ට චරිත සමග කරලියට ආව මැගී ස්මිත්ට ඇය 1970 රඟපෑව The Prime of Miss Jean Brodie සහ 1979 රඟපෑව California Suite කතාවට ඔස්කා සම්මානත් හම්බුවෙනවා.

තවත් සම්මාන රැසකට නිර්දේශ වෙච්ච මැගී ස්මිත් Bafta Awards හතක් දිනාගන්නත් සමත්වෙලා තියෙනවා. මැගී ස්මිත් ගෙ මේ වියෝව ගැන කම්පනයට පත්වෙමින් රජු සහ රැජිණ නිවේදනයක් පවා නිකුත් කරලා තියෙනවා.

“ජාතික වස්තුවක් වූ ඇය මේ විදියට අපේ ලෝකයෙන් සමුගෙන යනවිට අපි ලෝකයේ හිඳින ඇගේ බොහෝ රසිකයන් එක්ක එක්කහු වෙලා අපි ඇය වන් විශිෂ්ට රංගන ශිල්පිනියකව සිහිපත් කරන්නෙ ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන්.

මැගී ස්මිත් කියන්නෙ ඉදිරි පරම්පරා ගණනාවක් අගය කරන ජාතික වස්තුවක්”

ඇයත් සමග වැඩ කල බොහෝ දෙනා ඇය ගැන තවත් අදහස් රැසක් ඉදිරිපත් කර තිබුණා.

“ඇයගේ දිගු වෘත්තීය ජීවිතය තුළ ඇය රඟපෑ අසංඛ්‍යාත කථා සමඟින් අපව නව ලෝකවලට හඳුන්වා දුන්නා”

“ඇය ඇගේ පරම්පරාවේ සැබෑ පුරාවෘත්තයක්”

ඉතින් මේ විශිෂ්ට නිළිය ජීවිතයෙන් සමුගනිද්දි ඇයගේ වයස අවුරුදු 89ක්. ඇය මියගියේ සැප්තැම්බර් 27 සිකුරාදා දිනයේ අසනීපයෙන් රෝහල් ගතව සිටිද්දී. ඒ මොහොත ගැන ඇගේ පුතුන් දෙදෙනා ප්‍රකාශ කලේ මේ වගේ අදහසක්.

“අම්ම හරිම පෞද්ගලිකත්වයට රුචිකත්වයක් දක්වපු කෙනෙක්. අවසාන මොහොතේ ඇය ළඟ හිටියේ හොඳම යාලුවන් සහ පවුලේ අය විතරයි”

මැගී ස්මිත් කියන්නෙ පුතාලා දෙන්නෙක්ගෙ සහ මුණුබුරන් පස් දෙනෙකු ඉන්න ආදරබර අම්මා කෙනෙක් වගේම මිත්තණීයක්. ඉතින් ඇය වන් විශිෂ්ට කාන්තාවකගේ නික්මයාම අපට මෙච්චර වේදනාවක් වෙද්දි ඒ පවුලෙ අයට ඒ වේදනාව කොහොම දැනෙනවා ඇතිද?

“චෙල්සි සහ වෙස්ට්මිනිස්ටර් රෝහලේ සේවය කළ විශිෂ්ට කාර්ය මණ්ඩලයට ඇයගේ අවසාන දිනවලදී ඔවුන් දැක්වූ සැලකිල්ල සහ අසීමිත කරුණාව පිළිබඳව ස්තූති කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. ඔබගේ සියලු කාරුණික පණිවිඩ සහ සහයෝගය සඳහා අපි ඔබට ස්තූතිවන්ත වන අතර මෙම අවස්ථාවේදී අපගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු” කියලා මැගී ස්මිත්ගෙ අවසන් කටයුතු ගැන ඒ දරුවන් ඇතුලෙ පවුලේ සියලුදෙනා කිව්වත් ඇගේ නික්ම යාම මුලු ලෝකයේ ඇයට මෙන්ම හැරී පොටර් කතා මාලාවට ආදරය කල සියල්ලන්ගෙම හිතට වේදනාවක් ගෙන ආව කාරණාවක් බව නොකියාම බැහැ.

ඉතින් ආදර ප්‍රොෆෙසර් මැගොනගල්,

90 දශකයේ ඉපදිච්ච පුංචි දරුවො විදියට අපිව මායා ලෝකයකට අරන් ගිය, ඒ මායා ලෝකය ඇතුලෙ අපිව අම්මා කෙනෙක්ගෙ ආදරයෙන් බලාගත්තාට ස්තුතියි!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles