මතක මන්දිර – 9

0
4514

“ඔයා තාමත් මාත් එක්ක තරහෙන්ද කාලින්දී?”

නොසිතූ විරූ ලෙස අවුරුදු ගණනාවකට පසු මුණ ගැහීමෙන් අනතුරුව, කාලින්දී අමතන්නට සමුද්‍රට සිතුණේ කුමන හේතුවකටදැයි සමුද්‍ර පවා දන්නේද යන්න කාලින්දීට ගැටළුවකි.

ධනිත් පවසනා ආකාරයටම “කරකාර බැඳගෙන මගේ කරගෙන -නුඹ සිරකරගෙන හීන මවන්නට -මං වෙනුවෙන් තටු සිඳදාලන්නට- එහෙම දේවල් නෑ හිතේ මගේ” යැයි කියා සමුද්‍ර එදවස තමා අතහැරියා නම් තම සිතේ අතීතයේ අතහැරුණු ප්‍රේමය පිළිබඳව මෙතරම් වේදනාවක් ඉතිරි නොවන බව කාලින්දීට සහතිකය.

හිත රිදුනේ, තමා නොවටිනා බවටත්, තමාට ඔහු සිටින තත්ත්වය හා පෑහෙන්නට බැරි බවත් පවසමින් සමුද්‍ර තමා මග හැර ගිය මොහොතේ ය.

“මිහින්තලේ ඉඳල ආපු ඔයාටවත්, ඔයාගෙ පවුලෙ අයටවත් අපෙ ෆැමිලි එකත් එක්ක මැච් වෙන්න බෑ කාලින්දී. ඒක දැන දැනම මම ඔයාවයි ඔයාගෙ ෆැමිලි එකේ අයවයි එහෙම තැනකට ඇදල දාන එක වැරදියි”

“එහෙම මැච් වෙන්නෙ නෑ කියල දැන දැනත් ඇයි එහෙනම් ඔයා මට ළංවුණේ? ඔයා ඇයි ඒ දවස්වල ඒ ගැන නොහිතුවෙ?”

“අෆෙයාර් එකක් පටන් ගනිද්දි කිසිම කෙනෙක් ඔය හැම කන්සීක්වන්ස් එකක් ගැනම හිතනව කියල මම හිතන්නෙ නෑ”

සී බ්‍රීස් හෝටලයේ කාමරයෙන් පිට වූ සමුද්‍රට දුරකතන ඇමතුමක් දෙමින් රැයේ හඬා වැටුණු විට ලැබුණු පිළිතුරත්, හිතට දැනුණු වේදනාවත් හේතු කරගෙන එදා තමන්ට නොතිබූ තත්ත්වය ලබා ගන්නට, ළඟා කරගන්නට අවුරුදු ගණනාවක් පුරා වෙහෙස වූ අයුරුත් තවමත් කාලින්දීට අමතක නැත.

වසර ගණනාවකට පසුව ඇසුණු, කුතුහලය, වේදනාව සහ ලැජ්ජාව පිරි සමුද්‍රගේ කටහඬින් ඇසුණු එකී පැනයට ඉතින් දෙන්නට තිබෙන පිළිතුර ඔව් මිස වෙන කුමක්ද?

නිහඬතාවය බොහෝ තැන්වලදී ගැළපෙනම පිළිතුර විය හැකි බව තමන් කොහේ හෝ දැක තිබෙන බව කාලින්දීට මතක් වුනේ අහම්බෙන්‍ ය.

“ඔයාට මාත් එක්ක තරහ වෙන්න, කතා නොකර ඉන්න රීසන්ස් ගොඩක් තියෙනව කියල මම දන්නව කාලින්දී. මම ඔයාට කරේ කොච්චර ලොකු වැරැද්දක්ද කියල මට තේරුණේ මට වැරදුණාම, ආදරේ, කරුණාව බලාපොරොත්තු වෙවී හිඟාකන්න වුණහම”

දිගු සුසුමකින් අවසන් කල ඒ කතාවට තමන් නොසිතන තරම් දිගු ඉතිහාසයක් ඇති බවත්, ඒ පිළිබඳව තතු විචාරා බලන්නට අවශ්‍ය වූවත් එසේ ඇසීම කෙතරම් නම් සදාචාර සම්පන්නද?

අනෙක් අතට නොඅසා ඉන්නට තරම් තමා සමුද්‍ර සමග එදවස හැසිරුනේ සදාචාරාත්මකවද?

“මම කතා කරපු එක කරදරයක් ද?”

පෙර නොවූ විරූ තරමේ දුක්ඛිත බැගෑපත් කටහඬක් උරුම කරගත් අතීතයෙන් පැමිණි හඬකි. කරදරයක් නොවුණමුත් වූවාද නොවේ. එදා හමුවීමෙන් පසු යළිත් හිත ඔහු ගැන විපරම් කරන්නට තනන බවත්, එය මෙතෙක් ගෙවූ නිස්කලංක ජීවිතයට බාදාවක් බවත් කෙසේ නම් පවසන්නද?

“නෑ, කියන්න”

“ඔෆිස් වෙලාවෙ මම කෝල් කරේ රෑට ඔයාට කතාකරන එක හස්බන්ඩ් ට ප්‍රශ්නයක් වෙයි කියල හිතල”

“ඔයා මාව දාලා ගියාට පස්සෙ මම කමිටඩ් රිලේශන්ශිප් එකක් පටන් ගත්තෙ නෑ සමුද්‍ර, මට එහෙම කරන්න හිත හදාගන්න බැරිවුණා” යැයි තමන් පිළිබඳව සැබෑ තතු ඔහුට පවසන්නට තිබුණානම්?

“ඒකට කමක් නැහැ, ඔයා කතාකරේ හදිසියකටද?”

එවදන් තම මුවින් පිටවුනේ කුමන හේතුවකටදැයි තමන් පවා නොදනී.

සමුද්‍ර එය, මෙම කතා බහ අවසන් කළ යුතු බවට වක්‍රව කළ දැනුම් දීමක් ලෙසට වරදවා වටහාගනු ඇද්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here