මතක මන්දිර – 11

0
4793

“මම එයාට නොසෑහෙන්න ආදරේ කරලා, ඒත් ඒක එයා දන්නෙවත් නැහැ.එයා හරියට රඟපෑමක් කරලා වගේ අවස්තාවට ගැළපෙන විදියට.

මම මුළු හිතින්ම එයාව මගේ කරගෙන, මම එයාගේ වෙලා, ආදරය කියන බීජය හිත කියන උද්‍යානයේ වපුරලා, ස්නේහය කියන ජලයෙන් හැමදාම උදේ හවා නහවලා බලාගෙන ඉඳලා තියෙනවා ආදරේ මල් පිපෙනකම්.

නමුත් එයාට අනුව එයාගේ හිතේ එහෙම හැඟීමක් තිබිලාම නැහැ.”

සමුද්‍ර එන තුරු ඩිල්මා ටී ලෞන්ජ්හි කෙළවර කුෂන් පුටුවක සුවපහසුව වාඩි වී මුහුණ පොත පිරික්සමින් උන් කාලින්දීගේ නෙත ගැටුණේ තමා සාමාජිකයකු වී සිටින කාන්තා ගෲපයක, අන්වර්ත නාමයකින් ගැටළුවක් පවසා එයට පිළිතුර සොයන පෝස්ටුවකි.

ආදරය රිදවා බිඳවා ඇත්තේ තම හදවත පමණක්ම නොවේ.

ආදරය වනාහී තවකෙකුට සුවීසල් වූ සතුටක්, සැනසුමක් ලබා දෙන්නක් වී තවකෙකුට ජීවිතය අවසන් වනතුරුව විඳවිය හැකි හලාහල විසක් ශරිරගත කරන්නක් වූයේ මන්දැයි තමවත් කිසිවෙකු සොයා ගෙන නැත.

“යූ ඩිසර්ව්ඩ් ටු බී ලව්ඩ්” යැයි කාර්‍යාලයේ සඟයන් හා එක්ව ආදරවන්තයන්ගේ දිනයට කළ හැකි කැම්පේන්ස් ගැන කතා බස් කරමින් සිටි අවස්තාවක තරුණ පහේ කොලු ගැටයකුගේ මුවින් නික්මුණු වදනකට එදා තමා එදා කෙතරම් නම් වාද කරාද?

එදයින් පසු “තමන් ආදරය ලබන්නට නුසුදුසු දැයි” යන පැනය, හීනමානය කෙතරම් නම් වද දෙන්නට වීද?

කේසරගෙන් ලැබූ අප්‍රමාණ අවවාද උපදෙස් අවසානයේත් සමුද්‍රගේ ඇරයුම පරිදි හමුවන්නට යොදා ගත්තේ තමන් දැන්වත් ආදරය ලබන්නට සුදුසු බව සමුද්‍රට පෙන්වනු පිණිස නොවේද?

අව පැහැ සුදු ලිනන් කලිසමට, ඩිලී ඇන්ඩ් කාලෝ වෙතින් මිලඳීගත් කහ සහ සුදු පැහැය මිශ්‍ර වූ කුර්තා බ්ලව්සය හැඳ, රන් පැහැ රවුම් කරාබුත්, එක් අතෙක ඇපල් වොචයත් පැළඳ සිටින කාලින්දී සමුද්‍ර මෙයට පෙර දැක පුරුදු, ඇසුරු කර පුරුදු කාලින්දී නොවන බව සිතට විශ්වාසය.

එදවස චීත්ත ගවුම් හෝ කෙටි කාර්‍යාලීය සායට මල් මල් බ්ලව්සයක් හැඳ විශ්ව විද්‍යාලයට ගෙනගිය පොත් බෑගයද කරලා, ලාබ පරි සෙරෙප්පු දෙකකින් දෙපය වසාලූ කාලින්දීට වඩා, අද දිවයිනේ ඉහළම සන්නාම වලින් ගත් රෙදි පිළිද, ආලේපනද, අත් බෑග්ද භාවිතා කරන්නා වූ කාලින්දී සමුද්‍රගේ තත්ත්වය, රූපය සමග කරට කර පෑහෙන බවත් කාලින්දීට විශ්වාසය.

එනමුත් එදවස ඔහු කෙරේ සිතෙහි වූ දෝරේ ගලායන අපරිමිත සෙනෙහස, අවිශ්වාසය නිසාවෙන් වැට කඩොලු බැඳ සිරකොට තබා ඇත.

ටී ලෞන්ජ්හි වීදුරු දොරෙන් ඇතුළට පැමිණෙමින්, කාලින්දී දෙස බලා තම සුපුරුදු අයස්කාන්ත සිනහව විසුරුවන සමුද්‍ර දෙස බලා හිඳිමින් ඇය කල්පනා කරන්නට වුයේ කාලයට ආදරයට කළ හැකි බලපෑමක තරමයි.

පෙර දිනෙක නම් අසුනින් නැගී සිට, ඔහු වෙතට දෑත විදා පැන බදාගන්නට පෙළඹුණ යොවුන් ආදරවන්තිය සිත තුළ හිඳ ඔහු දෙස බලා හිඳී.

“මම පරක්කු වුණාද කාලින්දී?” යැයි කියමින් ඇයට ඉදිරිපස අසුනේ හිඳගනිමින්ම සිනා මල් විසුරවන්නට සමුද්‍රට තවමත් හැකිය.

වේටර්වරයා රැගෙන ආ මෙනු පතින්, හකුරු මිශ්‍ර පොල් කිරි තේ සමග, ක්ලබ් සැන්විච් ඇණවුම් කරන්නට මුල් වුණේද ඔහුමය.

මතක, ආදරය, තමන් තමවත් වෙනසක් නොමැත.

වෙනස් වූයේ ඔහුම පමණි.

ඔහුම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here