සාගර තරංගා – 26

0
7879

“මේ ඉන්නෙ දුල්මිණී. දුල්මිණී දූ මේ ඉන්නෙ මගේ හොඳම යාලුවෙක් වෙච්ච මේ ආන්ටිගෙ එකම පුතා” කියා අම්මාගේ යාලුවෙක් වෙච්ච ශ්‍රියානි මිස් තමන් සමග ආ තවත් පිරිස් කිහිපදෙනෙකු අතර උන් යුවතියක්ව හඳුන්වා දෙද්දි සාගර කලේ මුවඟට සිනාවක් නගාගෙන ඒ දුල්මිණී යැයි කිව් යුවතියට හෙලෝ කිව්ව එකය.

“සාගර පුතා ඉතින් මේ දූව එක්කරගෙන ගිහින් පොඩ්ඩක් කතා බස් කරන්න නේද. ආයෙ අපි කාටවත් හංගන් උවමනාවක් නෑනෙ අපි මේ ඔයාලා දෙන්නට දෙන්නව අඳුනගන්න ඉඩකඩ සලස්වන්න යන විත්තිය” කියමින් ශ්‍රියානි මිස් අම්මාත් අනෙක් අයත් එක්කත් හිනාවෙද්දි සාගරත් දුල්මිණිත් ඒ හිනාවට එක්වූහ. මේ ඉතින් ඔය වගේ කතන්දර වලට සබකෝලකම් කරන වයසක් නොවන බව සාගරත් දුල්මිණිත් දෙන්නාම දනී.

සාගර කලින් විවාහ වී දික්කසාද වෙච්ච මනුස්සයෙක් බව තමන්ගේ නැන්දා වෙච්ච ශ්‍රියානි කියද්දිත් දුල්මිනී ඒ කතාව අහගෙන උන්නේ ඔහේ ය. ජීවිතයේ වැරදිච්ච මිනිස්සු ඕන තරම් ඉන්න බව දන්නවා උනත් එකපාරක් ජීවිතේ වැරදිච්ච ගෑණියෙක්ට ආයෙමත් හම්බුවෙන්න ඕන ජීවිතේ වැරදිච්ච මනුස්සයෙක්ද කියා වැඩිහිටියන්ගෙන් අහන්න හොඳටම උවමනාව තිබ්බත් දුල්මිණී ඒ හැඟීම් වචන කරේ නැත. සාගරට අඩුම ජීවිතේ වැරදී තියෙන්නෙ කසාද බැඳ දික්කසාදත් වුණාට පස්සේය. තමන්ට ජීවිතේ වැරදුනේ දිවිහිමියෙන් ප්‍රේම කල මිනිසාගෙන් ගැබ් ගෙන අනතුරුව ඒ මිනිසා විවාහකයෙක් බව දැනගෙන දරුවාද නැති වීමෙන් පස්සේය.

දුල්මිණීට උවමනා උනේ වෙන රටකට ගොස් තමන් දිහා අමුතු විදියට බලන නෑයන්ගෙන් ද සමාජයෙන්ද බේරී ඉන්නය. එහෙත් අම්මලා ඒ තීරණයට ඉඩ දෙන්නේ දුල්මිණී විවාහ වීමෙන් අනතුරුව රටකට යනවානම් පමණක් බව කියද්දී ඒ තීරණයට විරුද්ධ වෙන්නවත් එකඟ වෙන්නවත් දුල්මිණී වෙහෙස වුනේ නැත. තමන් තමන්ට උවමනා දේ කරන්න ගොස් ජීවිතය එක පාරක් වරද්දගත්ත එකේ මේ වතාවේ අම්මලා කියන දෙයක් අහන එකෙන් හෝ හොඳක් වේවායි ඇය සිතුවාය.

සාගරත් දුල්මිණීත් හමුවුණේ ඒ අනුවය.

“දුල්මිණී වර්ක් කරනවද?” සාගර ඇසුවේ දෙදෙනා අතර වූ නිහඬතාවය බිඳින්නට මෙනි. 

“ඉස්සර වර්ක් කරා සාගර. මම මාකටින් ෆර්ම් එකක වැඩ කරේ”

“දැන් වර්ක් කරන්නෙ නැද්ද?”

“නෑ මම පර්සනල් රීසන් එකක් නිසා ජොබ් එකෙන් අස්වුණා. දැන් ගෙදර ඉඳගෙන මම රෙසින් ආට්ස් කරනවා”

“ශා මරුනෙ . ඒවට දැන් සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙනව නේද?”

“ඔව්. ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ කම්මැලිකමට පටන් ගත්තෙ. ඒ උනාට දැන් වැඩ තියෙනව. අනික ඔලුවට නිදහස් එහෙම ක්‍රියේටිව් දෙයක් කරන එක”

“කම්මැලිකමට පටන් ගත්තා කියල හිතුවට ඔයා දැන් පොඩි බිස්නස්වුමන් කෙනෙක්නෙ. ඔලුවට නිදහස් දෙයක් තමයි දුල්මිණී ඕනම මනුස්සයෙක් කරන්න ඕන. අපි කියනවනෙ සතුට සල්ලිවලට ගන්න බෑ කියලා. ඒ උනාට ඇත්තටම සතුට සල්ලිවලට ගන්න පුලුවන්. දැන් ඔයා හදන ඔය රෙසින් විකුණලා ඔයාට හම්බෙන්නෙ සල්ලි විතරද්ස් නෑ. සතුටත් එනවා. එතකොට ඔයාගෙ කස්ටමර්ස්ල සල්ලි දීලා ගන්නෙ රෙසින් ආට්ස් විතරද? නෑ සතුටත් ගන්නවා. ඒක නිසා සල්ලිවලට ගන්න හරි සල්ලිවලට දෙන්න හරි පුලුවන් අපෙ ඔලුවට සතුටක් ගේන දෙයක් තමයි අපි කරන්න ඕන”

“ඒක මහ අමුතු කතාවක්”

“ඇයි එහෙම දෙයක් කිව්වෙ?”

“නෑ මං ඇත්තටම එහෙම කතාවක් මීට කලින් අහලා නෑ. අපි දන්න හැමෝම කියනව මට ඇහිලා තියෙන්නෙ සල්ලි වලට ගන්න බැරි දේවල් අතරෙ ආදරය, සතුට, සැනසීම තියෙනව කියලානෙ. ඇයි අර කියන්නෙ මහා මන්දිරවල නැති සතුට තියෙනව කියලා දුගී පැල්පත්වල”

“මිනිස්සු එහෙම කියනවනම් තමා. ඒ උනාට මෙහෙම හිතලා බලන්නකො. ඔන්න ඔයාට හම්බෙනවා කසාද බඳින්න සුදුසු මිනිස්සු දෙන්නෙක්. ගතිගුණ එහෙම එකම වගේ කියලා හිතන්නකො. එක්කෙනෙක් හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන වෙල් සෙට්ල්ඩ් මනුස්සයෙක්. අනික් කෙනා එහෙම නැති ලොකුවට සෙට්ල් නැති එදා වේලා හම්බ කරගෙන කන මනුස්සයෙක් කියලා හිතන්නකො. දෙන්නම ඔයාට ආදරෙයි.ඔයා කාවද තෝරගන්නෙ?”

“මම කෙනෙක්ව තෝරගන්නෙ ආදරේ මත. හැබැයි දැන් මෙතන දෙන්නම මට ආදරෙයි කියලා කිව්වනෙ. ඒ නිසා මම තෝරගන්නෙ අර මුලින් කිව්ව හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන වෙල් සෙට්ල්ඩ් කෙනාව”

“ඇයි ඒ?”

“ඉතින් එයාව මට ගැලපෙනවනෙ. වෙල් සෙට්ල්ඩ් කියලා කිව්වෙ”

“ඉතින් ඒක තමයි. අපි හැමෝම රිලේශන්ශිප් එකකදි උනත් තෝරගන්නෙ ඒ වගේ මනුස්සයෙක්ව.ආදරේ කිව්වට කීයටවත් අපි ආතක් පාතක් නැති හරිහමං රස්සාවක් නැති කෙනෙක්ව තෝරගන්නෙ නෑ. ඉස්සර ඉඳලම ඒක එහෙමනෙ දුල්මිණී.ඉතින් කොහොමද කෙනෙක් කියන්නෙ ආදරේ සතුට සැනසීම කියන දේ සල්ලිවලට ගන්න බෑ කියලා”

“ඒක ඇත්තටම මාරම අයි ඕපනින් ටෝක් එකක්. තැන්ක්‍යු සාගර අයියා ඒ ගැන කිව්වට. මම ඇත්තටම කවදාවත් ඒ ඇස්පෙක්ට් එකෙන් ජිවිතේ දිහා බලල තිබ්බෙ නෑ. මම ඇත්තටම ජීවිතේ දිහා බැලුවෙ අර මොන දේ නැතත් ආදරේ තියනවනෙ කියන තැන ඉඳල. සමහරවිට මට වැරදෙන්න ඇත්තෙත් ඒ හන්දා”

“අපි කාටවත් වැරදුනේ ආදරේ හන්දා නෙවෙයි දුල්මිණී. ආදරේ නැති හන්දා. අපි ආදරේ කරපු මිනිස්සු අපිට ආදරේ කරානම් ඔයා හිතනවද අපි අද මෙහෙම දුක් විඳියි හෝ මේ අපේ ඉරණම වෙයි කියලා. නෑ. අපිට වැරදුනේ අපි ආදරේ කියලා හිතලා ලංවෙලා තියෙන්නෙ අපිට ආදරේ නොකරපු මිනිස්සුන්ට.

අපි සමහර තැන්වල හිතනවනෙ එයා මට ආදරේ නොකලට කමක් නෑ. මම එයාට ආදරෙයිනෙ. මට ඒ ඇති මුලු ජීවිත කාලෙම එයා එක්ක හොඳින් ඉන්න කියලා. ඒක තමයි දුල්මිණී අපි අපේ ජීවිතේ කරගත්ත ලොකුම වරද. අපිට ආදරේ නැති මිනිස්සුන්ට ආදරේ කල එක. ඒ මිනිස්සු අපේ හිත් කොච්චර රිද්දුවත් තවමත් අපිට ඒ මිනිස්සු දිහා වෛරයෙන් බලන්න බැරි එක. ආදරේ හින්දා පැරදිච්ච මනුස්සයෙක් කියන්නෙ සදාකාලික බිඳිච්ච හිතක් තියෙන කෙනෙක්. ඒ බිඳිච්ච එක පාස්සන්න ආයෙ බෑ. හැබැයි තව ආදරේකට පුලුවන් ඒ බිඳුණ ආදරේ වේදනාව උඩට ඉස්මතු වෙන්න ඉඩ නොදී තියන්න”

සාගර එහෙම කියද්දී දුල්මිණී ඇත්තටම උන්නේ මීට බොහෝ කලකට පෙර තමන් හා ආදරයෙන් බැඳුණා වූද අවසානයේ තමන්ට සදාකාලික බිඳුණ හිතක් උරුම කර දී නොපෙනී ගිය ලවංග ගැන මතක් කරමිනි. සාගර කියූ විදියටම අවසානයේ ලවංගට තමන් කොච්චර ආදරේ කර තිබුණත් ලවංග තමන්ට ආදරේ කර තිබුනේ නැතැයි යන ඇත්ත තමන් තේරුම්ගෙන තිබුණ බව දුල්මිණී තේරුම්ගත්තාය.

“මම කාලයක් හිතාගෙන ඉඳියෙ මම කෙනෙක්ට ඇත්තටම ආදරේ කරත් ඒ කෙනාගෙ ඇත්ත ආදරේ මට ලබන්න බැරිඋනේ මගේ මොකක් හරි අවාසනාවක් හන්දා කියලා. අද සාගර එක්ක කතා කරනකම්ම මම ඇත්තටම හිතාගෙන හිටියෙ එහෙම. ඒ උනාට මට දැන් තමයි තේරෙන්නෙ ඇත්තටම මම පණ දීගෙන ආදරය කරත් මට ඒ ආදරේ වෙනුවෙන් ලැබිලා තියෙන්නෙ දුකක් වේදනාවක් විතරයි කියලා”

එදා දුල්මිණීත්, ශ්‍රියානි මිස් සහ ඉතුරු පිරිසත් සාගරගේ ගෙදරින් නික්ම ගියේ සතුටු බර සිතකිනි.

“මට නම් හිතෙන්නෙ අපි නෑයො වෙන්න තමයි යන්නෙ” කියා ශ්‍රියානි යන්නට පෙර සාගරගේ අම්මාගේ කණට ලං කොට කිව්වේත් සාගරත් දුල්මිණීත් බොහෝ වේලාවක් තිස්සේ එලියට වී කතාබස් කරනවා දුටු හන්දාය.

දෛවය උන්නේ මේ වෙන සියල්ල දෙස බලාගෙනය. 

බොහෝ දේ කරන්නට මග බලාගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here