මල් බිඟුන් – 6

0
6400

ආර්ය නිර්වාන් මහානාම, හැල්මේ අත්‍යවශ්‍ය වැඩ ටික නිම කළේ ය. වැඩ කරන විට අවධානය මුළුමනින් රැඳෙන්නේ ඒ මත නිසා සන්තාප වේදනා රැඳෙන්නේ දුරිනි. සන්තාන සුසුම් තියෙන්නේ ඇතුළාන්තයේ හිර වී ය. නමුත් පරිගණකයෙන් මඳක් ඉවත් වන විට ම එතෙක් උදරයෙහි ඇවිළෙමින් තිබූ ගින්දර රොටු පපුව දෙසට නැගෙන්නට විය. දැවීමක් ද දැවිල්ලක් ද එකවර දැනී අළු වී ගියා බඳු ශුන්‍යත්වයක් ඇති විය. ආර්ය සිය විධායක අසුනේ ඇන්දට හිස බර කොට ඇස් වලට පියවෙන්නට හැරියේ ය. සුසුමක් යට පවා වහං වී තිබුණේ රිදුමකි. ඔහු සුරතේ අතැඟිලි වලින් පපුව යන්තම් පිරිමැද ගත්තේ ය.

නිධී යළි අවශ්‍ය ම නැත. විශ්වාසය බිඳ දැමූ මිනිසුන් ජීවිතයෙහි රඳවා ගැනීම තරම් වරදක් කෙනෙකුට තමන්ගේ ම ආත්මයට වෙන කරගත නො හැකි තරම ය. එවන් මිනිසුන්ගෙන් යළිත් යහපතක් බලාපොරොත්තු වීම යනු තමන්ට කරගන්නා අයහපතකි.  නිධී ව සිය ජීවිතයෙන් මුළුමනින් අතුගා දැමිය හැක. නමුත් ආර්ය ගේ බඩ පපුව දැවේ. නිධීව අතැර දැමුවා කියා ඒ ගින්න නිවී යන්නේ නැත. ආයු!

කිසිදු මිනිසෙකුට පමණ ඉක්මවා හොඳ කළ යුතු නැති වග දැන් ආර්ය ගේ දෑස් පනාපිට ඔප්පු වී තිබේ. නිධී නික්ම ගොස් තිබෙනුයේ ඒ පරම සත්‍ය ඔහු ට අලුතෙන් උගන්වමිනි. හිතවත්කම් හා සබඳතා යන සියල්ල මායාවක් ද?

ඇය නවකයෙකු ලෙස කාර්යාලයට පැමිණෙන විටත් ආර්ය යනු ස්ත්‍රීන් කෙරේ ඔහු ගේ  මිතුරන් වාගේ උනන්දුවක් දැක්වූ අයෙකු නොවේ. එය ලැජ්ජාවක් ද අහංකාරකමක් ද කියාත් ඔහු දන්නේ නැත. විවිධ පුද්ගලයන්               එය විවිධාකාරයෙන් අරුත් ගන්වා තිබේ. සිනහවක් නගාගන්නවා මිස ඒ පදරුත් පසිඳලීම් ගැන ද ආර්ය උනන්දුවක් දක්වා නැත.

කෙසේ වෙතත් ළමා වියෙහි පටන් ම ඔහු ට සමාජ ආශ්‍රය ගැන ගැටළු තිබී ඇත. සැබවින් ඒවා ගැටළු වන්නේ ද අන් අයට මිස ඔහු ට නොවේ. එක්වර ම මිතුරන් ඇති කරගන්නට වන අසීරුව දුර්වලකමක් ද නැත්නම් සාමාන්‍ය චරිත ලක්ෂණයක් ද කියා ඔහු දන්නේ නැත. නමුත් සම වයස් අනිත් පිරිමි ළමුන් වාගේ ඔහු ඉක්මනින් කිසිවෙකු සමග සුහද වූවා නොවේ. මුලින් කිසිවෙකු සමග දොඩන්නට ඔහු කොහෙත් ම නො පෙළඹුණේ ය. කවුරුන් හෝ මුලින් කතා කළේ වී නම් ඊට ප්‍රතිචාර දැක්වූවා පමණි. එද ඉතා කෙටි හා අත්‍යවශ්‍ය පිළිතුරු ය. පාසල් වියෙහි පටන් එහෙම ය.

“නිධී අහිංසක කෙල්ලෙක්. ඒ කෙල්ලට අම්ම තාත්ත දෙන්නම නෑ. නැන්ද කෙනෙක් ළඟ හැදිල තියෙන්නෙ. හැබැයි කෙල්ල හොඳට ඉගෙනගෙන තියෙනව. පෙනුමත් හොඳයිනෙ බං. මං කියන්නෙ උඹ නිධී ගැන හිතන එක හොඳයි කියලයි”

කාර්යාලයේ සිය මිතුරෙකු වන ජාලිය නිතර නිතර එසේ කියනා විට ආර්ය ද නිධී ගැන විශේෂයක් කොට සිතුවේ ය.

“දැං ඉන්න කෙල්ලො ආංබාං කරන්න ලේසි නෑ බං. උඹ ඔය ගෑනු සබ්ජෙක්ට් එක එච්චර දන්නැති නිසා කොහොමත් බෑ. කසාද බඳිනව කියන්නෙම මරාළයක් බං. ඒත් මේ කෙල්ලට කාත් කවුරුත් නැති නිසා උඹට දෙයියන්ට වගේ සලකගෙන ඉඳියි. පාට් දාන්න එන එකක් නෑ”

මිතුරන් එක් වී ඔහුට ඇයව ම යෝජනා කළේ නිධී පෙන්වූ අහිංසක ගති හින්දා ම ය. ආර්ය ගේ සමවයස් මිතුරන් විවාපත් වෙමින් සිටි අතර විවාහයක් ගැන උනන්දුවක්වත් ආර්යගෙන් දැකිය නො හැකි හින්දා ය.

“අපේ ලොකු පුතාටත් ගැලපෙන ගෑනු ළමයෙක් හොයල දෙන්න පුතා. මෙයා අපිට කෙනෙක්ව හොයන්න දෙන්නෙත් නෑනෙ”

කියා ඔහු ගේ මව් මණී, මිතුරන් හමු වෙන වෙලාවල් වල මන්තරයක් වාගේ කියූ නිසා ය. කෙසේ හෝ අවසන ඒ විවාහය සිදු විය. ඔහු ඇය ට ප්‍රේම කළා ද කියා ආර්ය දන්නේ නැත. කොටින් ම එය යෝජිත විවාහයකි. යෝජනාව ඔහු ගේ මිතුරන් ගෙනි. කෙසේ වෙතත් සැමියෙකු ලෙස ඔහු නිධී ට කිසිදු අඩුපාඩුවක් වන්නට ඉඩ තැබුවේ නැත. බිරිඳක වශයෙන් ඇය බලාපොරොත්තු වූ අයිතිවාසිකම් සියල්ල ඇයට දිනාගන්නට හැරියේ ය. රැකියාවට සමු දී ගෙදර නවතින්න ය කියා ඔහු අණ කළේ නැත. දරුවා කුසට පැමිණි දින වල අසීරුතා හමුවේ රැකියාවට යා නො හැකි බව කියා සිටියේ ඇය ම ය. ආයු දිනෙන් දින වැඩෙත්දීත් ඇය යළි රැකියාවට යාමේ අවශ්‍යතාවයක් මතු කළේ නැත. ඉතින් ඔහු ඇයව බලයෙන් ඊට යොමු කරන්නට ද නො සිතී ය.

විවාහ වී පැමිණි ගමන් නිධී ඔවුන් දෙදෙනාගේ පවුලේ වෙනම අයිතිය ඉල්ලා සිටියා ය. නැන්දම්මා මණී සමගින් එක කුස්සියක් බෙදා ගැනීම ද එක බත් මුට්ටියක් බෙදා ගැනීම ද ප්‍රතික්ෂේප කළ ඕ, ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෙදර මතු මහළ වෙන් කරගත්තා ය.

“කොහොමත් ඔයානෙ ඉතිං උඩ තට්ටුව හදල තියෙන්නෙ”

ඇයට ඉදිරිපත් කරන්නට හේතුවක් ද තිබිණ. උපුල් මහානාම විසින් ස්ලැබ් එක දමා පහළ මහළ පමණක් තනාගෙන වසර ගණනාවක් මුළු පවුල ම ජීවත් වූ ගෙදර මතු මහළ තැනවුණේ ආර්ය රැකියාවකට ගිය පසු ඔහු ඉපයූ මුදලිනි. නමුත් ඒ මතු මහළ තමන්ගේ පෞද්ගලික පරිහරණය වෙනුවෙන් වෙන් කරන්නට ඔහු සිහිනයෙන්වත් සිතුවේ නැත. නිධී ඔහු ගේ මූලික පවුලෙන් වෙන් වීමට අවශ්‍යතාවය හැඟවූ වෙලාවේ ආර්ය මඳක් කම්පිත නොවූවා නොවේ.

“එහෙම තමයි ලොකු පුතා. ගෑනුනෙ. ම්… ඒ ගෑනිත් තමන්ගෙම කියල ජීවිතයක් ගෙවන්න ආස ඇතිනෙ. අපි ඒ ගැන හිත් රිදෝගන්නවත් අමනාපකං ඇති කරගන්නවත් ඕන නෑ. පුතාල උඩ තට්ටුව තනියම පාවිච්චි කරන්න. අපිට ඉතිං මේ පහළ ඉඩ ඇතිනෙ කොහොමත්. ඒ දුවට උඩ කුස්සියෙ වෙනම උයා පිහාගන්න ඉඩ දෙන්න. මං අම්මට තේරුං කරල දීල අම්මගෙ හිත හදන්නං. පුතා ඒ ගැන හිත නරක් කරගන්න ඕන නෑ. ම්…”

ඒ වෙලාවේ ඔහු ගේ හිත හැදුවේ තාත්තා – උපුල් ය. ක්‍රම ක්‍රමයෙන් නිධී ගේ අහිංසක ගති අඩු වී උද්දච්ච ගති මතු වෙන හැටි ආර්ය නො දුටුවා සේ සිටියේ ය. දැන් ඉතින් ඇය ඔහු ගේ බිරිඳයි. ඔවුන්ට එක ජීවිතයක් ගත කරන්නට සිදු වී තිබේ!

හදිසියේ ම අතීතයෙන් වර්තමානයට විසි වී වැටි ආර්ය වහා ම ගෙදර දුරකතනයට ඇමතුමක් ගත්තේ ය. මණී රිසීවරය එසවූවා ය.

“අම්මෙ පුතා අඬන්නැතුව ඉන්නවද…”

තාත්තා කෙනෙකුගේ හද පත්ලෙන් පැන නගිනා ශෝක ප්‍රවාහයක් මණී ගේ සවනෙන් රිංගාගත්තේ ය. නැගෙන්නට ගිය සුසුම ඕ පපු කුහරයේ ම හිර කරගත්තා ය.

“ඔව් පුතා. අර මාගි එක්ක නට නටා ඉන්නෙ. දැං පුතා ඔෆිස් ගිය එක ගැන වගක්වත් නෑ”

මණී හිතා මතා ම එහෙම කීවේ ආර්ය ට හිත එකලාස කරගෙන කාර්යාලයේ වැඩ ටික කරන්නට අවකාශ සලසා දෙනු වස් ය.

“ඒ ළමයට වැඩක් කරගන්නත් නෑනෙ. අම්ම චුට්ටක් පුතාව හුරුකරගන්න බලන්න”

“අනේ මාගි කොල්ලට පණ ඇරගෙන. කවදටත් එහෙමනෙ ඒ කෙල්ල”

ඒ කතාබහ නිමා වූයේ හිස්තැනක්, පූර්ණය නොවූ හිඩැසක් ඇතිව ය.

අමාගී ආයුව මුළුමනින් ඇය වෙතට නතු කරගෙන සිටියා ය. ඇය “වොශ් දාමු” කී විට ඔහු ඇඟ සේදුවේ ය. ඇය “කුක්කු පිටි බොමු” කියා කී විට ඔහු සතුටෙන් කොට්ටයක් ගෙනැවිත් ඇගේ උකුල මත දමා ඒ මත වැතිර ගත්තේ ය. ඇය “හබුං කමු” කී විට ඔහු එකඟ වී කෑවේ ය. ඇගේ යහනෙහි, පුංචි ආයු තුරුලු කරගෙන ඕ ඔහු නිදි ගැන්වූවා ය.

“මගෙ මල්ලි මෙහෙම දෙයක් කළා කියල මට හිතාගන්නවත් බෑ කසුන්. අර ගෑනි මේ කොල්ලව නැති කළා. මට හොයාගන්න පුළුවන් තැනක ඉන්නවනං මං මල්ලිව අරං එනව ඇත්තමයි”

විවාහ ගිවිසගත් සිය අනාගත සහකරු සමගින් වීඩියෝ ඇමතුමක ඉන්නා අතරේ අශ්විනී අලුත් කඳුළක් පිසගනිමින් කීවා ය. ඔහු මඳ වෙලාවක් නිහඬව ඇය දෙස බලා සිටියේ ය. ඈ පව් ය. නමුත් මේ ඇත්ත ඇය තේරුම් ගත යුතුව තිබේ.

“දැං ඕගොල්ලො ඒකට දඟලන්නැතුව ඉන්න ආශ්. බැඳපු ගෑනියෙක්ට අහු වුණාට පස්සෙ කොල්ලෙක්ට ආයෙ හැරීමක් නෑ”

“ඔයා එච්චර දන්නෙ… ඔයත් ගැලවීමක් නැතුව ඉඳල තියනවද…”

“ඔන්න ඕකනෙ ගෑනුන්ට මුකුත් කියන්නෙපා කියන්නෙ. කිව්වනං ඒක ඒ මිනිහ කරපු එකක්”

කසුන් ගේ කට කොනක වන්නේ සිනහවකි. ඒ අශ්විනී කෙරේ අවඥාවකින් නොවේ. ඇය, තමන්ගේ කියා තෝරාගත් අයට අවංකව ම ආදරයෙන් බැඳෙනා බැව් ඔහු දනී. පවුලේ අය කෙරේ ඇගේ මව්වත් ආදරය ගැන ද ඔහු නො දන්නවා නොවේ. එසේ ම ආදරයේ ඊර්ෂ්‍යාවන් පාලනය කරගන්නට අශ්විනි දන්නේ නැත. දන්නවා වුණත් එහෙම කරන්නට ඇයට ඕනේ නැත.

“මං කියන දේ පිළිගන්නැත්තං ඔයා සන්දේශ්ට කතා කරල බලන්නකො… එයිද කියල…”

“මට මල්ලිව එහෙම හිතෙං අතෑරගන්න බෑ කසුන්. අපි එක සැරයක් අම්මව හිතෙං අතෑරිය. හිතකට වුණත් දරාගන්න පුළුවන් තරමක් තියනව කසුන්. අපේ හදවතේම කොටස් නැති වෙලා යන යන සැරේට අතෑරල දරාගන්න පුළුවන්ද… දෙයියනේ අපිත් මනුස්සයොනෙ කසුන්…”

“තිත්ත වුණත් අපිට ඇත්තට මූණදෙන්න වෙනවනෙ ආශ්…”

පවුලක් වශයෙන් එවන් ජීවන කුණාටුවකට මුහුණ දීම වෙනස් අත්දැකීමකි. කුණාටුවෙන් තමන් රැකිය යුතුවා පමණක් නොවේ. තමන්ගේ අය ද රැක ගත යුතුව ඇති බැවිනි. ඔවුන් ගේ සන්තාප සුසුම් නිවමින් සන්තාන පිරිමැදිය යුතු වේ. රිදුම් මත ඔසු ගල්වා නො රිදෙන්නට තැවිය යුතු වේ.  කුණාටු පහ වී යන තුරා දැඩිව උනුන් අල්වාගෙන සිටිත යුතු වේ. මේ වෙලාවේ පවුල් දෙකක් එක ම කුණාටුවක ප්‍රභේද දෙකකට හසු වී සිටිත්. තම තමන්ට දැනෙනාකාරයන් වෙනස් වී ද එක ම ඔරුවක සිටිනා මගීන්  වන නිසා ඔවුන්ට උනුන් මැනවින් දැනිණ. එනිසා ම අනෙකා වෙනුවෙන් කළ යුතු සියල්ල කළ හැකි විය. කුණාටුවෙන් ඔරුව රැකගෙන රුවල් නො සිඳී පවත්වාගෙන, දියඹෙන් ගොඩබිමකට යාත්‍රා කරනු වස් ඔවුහු එක්ව සටන් වැදුණහ.

හැන්දෑවේ ආර්ය එන විට ආයු සිටියේ අමාගී ගේ ළයට තුරුලු වී නින්දක ය. නමුත් තාත්තා ගේ මෝටර් රථයෙහි හඬ ඔහු ට සිහිනයෙන් මෙන් ඇසිණ. ඉවෙන් මෙන් දැනිණ. වහා නෙතු හැරි සිඟිත්තා යහන මත හිඳගත්තේ ය. ඔහු ගේ බිලිඳු අත් ඇගේ ගෙලෙන් මෑත් වත්දී අමාගී ගේ නෙතු විවර විය.

“තාත්ති”

ආයු මිමිණුවේ ය.

“තාත්ති ආවද පැටියො. යං එහෙනං ඔයාව දීල එන්නං”

කියමින් අමාගී යහනෙන් බැස ආයු ව වඩාගත්තා ය.  ඔවුන් එහි යන විට ආර්ය රිය ගරාජයට දමා එමින් සිටියේ ය. හෝරා ගණනාවකට පස්සේ පියාව දැකීමෙන් ප්‍රීතියට පත් ආයු “තාත්තී” කියාගෙන ආර්ය අතට පැන්නේ ය. අමාගී වහා හැරී පියවරක් පෙරට තැබුවා ය.

“අමාගී”

පහළ ස්වරයකින් ආර්ය මුමුණනු ඇසිණ. සැබවින් ම ඔහු එහෙම කීවා ද? අමාගී ගේ දෙපා මන්දගාමීව නතර වෙන්නට ගියේ ය. කීවා නොව ඇයට එහෙම ඇසුණේ ද? කවදාවත් ඔහු ඇයට කතා කොට නැත. නම කියා කතා කොට නැත. අයියේ කියමින් ඇය පස්සෙන් ගිය කාලයේ දී නිකමට නංගී කියා හෝ නැත. මණී ට අමාගී ගැන දොසක් කීවේ වුව අරයා මෙයා වැනි අනියත හැඳින්වීමකිනි. එහෙව් ඔහු වසර විසි ගණනකට පස්සේ ‘අමාගී’ කියා ඈ අමතන්නටත් පිළිවන් ද?

අමාගී ගල් ගැසීගෙන වුව හැරී බැලුවා ය. ඇස් හතරක් එක මොහොතකට එක රේඛාවක එකට හමු විය.

“තෑන්ක් යූ පුතා අඬවන්නැතුව තියාගත්තට”

එපමණකි. එසැනෙන් ඇය ඉදිරියට හැරුණා ය. ඇගේ මුහුණේ සිනා බින්දුවක් හෝ වූයේ නැත. ඒ ස්තූතිය පිළිගන්නා හිතෛශී බවක් වූයේ ද නැත. ඕ අඩියට දෙකට ඒ වත්තෙන් මේ වත්තට විත් ගෙට ඇතුළු වූවා ය.

“තෑන්ක් යූ… හහ්…”

මොන හේතුවකට ද මන්දා ඇය කේන්තියෙන් පුපුරමින් සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here