නම වෙනි රන්දම
අවසානයේදී අම්මා සහ තාත්තාව එකඟ කරවාගන්නට දිලුම්ගේ දීර්ඝ පැහැදිලි කිරීම් සහ පසන්ගේ එක් ඇමතුමකට හැකි විය. නිම්නාවී නිවෙසටම වී හුදෙකලා වී සිටීම නිසා ඇය යම් ඕලාරික ස්වරූපයකින් සිටිනවා යැයි යන සැකය නිසාම පසන් එම තීරණයට එකඟ වූයේය.
” දැන් ආන්ටි නෙක්ස්ට් වීක් මම මැලේශියා ගියාම සික්ස් මන්ත්ස් වගේ එහෙ ඉඳලා ඔක්කොම වැඩ සෙට්ල් කරලා එන්නේ.. එතකල් නිම්නාවීත් බිසි වෙන එක හොඳයි … මාත් නැතුව මේ කෙල්ල නැත්නම් අයිසොලේට් වෙනවා රූම් එකේම … සල්ලි හොයන්නම කියලා නෙවෙයි .. මේක ජස්ට් කරන්න දුන්නා නම් හොඳයි කියලා තමා මගේ නම් මතේ…”
පසන් එලෙස පවසා තිබුණි. දිලුම් කාමරයට වැදුනේ දෙමාපියන් ගැන කෝපයෙනි. අක්කා විකුණා දමා , ඒ මදිවාට අක්කාගේ ජීවිතයේ තීරණයන් ගැනීමටද ඒ මිනිසාගේ අවසරයම යටි හිතින් බලාපොරොත්තු වන තම දෙමාපියන් ගැන ඔහුට දැනුනේ කෝපයකි. එහෙත් කෙලෙස හෝ සියල්ල පැය කිහිපයක් තුළ ගලපා ගන්නට හැකි වීම ගැන ඔහු උන්නේ ප්‍රීතියෙනි.
රන්දුලාවද අමතා පණිවිඩය කී ඔහු නිම්නාවීගේ කාමරය තුලට ගියේය. නිම්නාවී උන්නේ අල්මාරියේ වූ සියළු ඇඳුම් බිමට දමාගෙනය. දිලුම් මොහොතකට නැවතී ඇය දෙසත් රෙදි කන්ද දෙසත් බලා උන්නේය.
” මොකෝ මේ?…”
” හෙට අඳින්න ගැලපෙන එකක් නෑනේ මල්ලී .. තියෙන ගවුම් හෙන වටින පාටයි නේ…”
” ඒක අමතක වුනානේ.. හැබැයි මෙහෙමයි අක්කේ.. එහෙම දුප්පත් පාටට යන්න ඕනි කියලා එකක් නෑ හොඳේ ,, ටිකක් ශේප් එකේ මැද මාවතේ යන්න පුලුවන් ..හැබැයි ඉතින් මේ තියෙන එව්වාගෙන් නම් මැද මාවතේ යන්න බැරි වෙයි … අවුලක් නෑ.. අදට ඔය තියෙන එකක් ගලප ගන්නවකෝ .. ශේප් එකේ අඳින්න පුලුවන් ඇඳුම් ටිකක් ගමූ …..”
නිම්නාවී සිතා උන්නේ වළලුකර තෙක් දිග සායකට කෙටි බ්ලවුස අඳින්නටය. ඒ ඕ ආසාවෙන්ම උන් ඇඳුම් විලාසිතාවකි. එහෙත් ඇගේ මව ඒ තාලයට විරුද්ධ වූවාය. ඒ නිසා ඇය ඒ විලාසිතාව ඉබේම අතැරෙන්නට දුන්නාය.
මිලදී ගෙන තිබූ ටැග් පත වත් කඩා නොතිබූ දිග සායක් සොයා ගන්නට නිම්නාවීට හැකි විය. පසුව ඕ එයට ගැලපෙන බ්ලවුසයක්ද සොයා ගත්තාය. ඒවා ඇඳගත යුත්තේ කඩවත මල්ලිගෙ මිතුරාගේ නිවසේදිය. ඕ ඒවා අත් බෑගයේ ඔබා ගත්තේය. නිවසේ රාජකාරි කරන විට අඳින්නටද වෙනම ඇඳුමක් අවශ්‍ය වේයැයි ඇයට සිතුණි.
” හෙටට ඕනි නෑ.. ගිහින් තත්වේ කොහොමද කියලා බලලා ඉන්නවා ඔන්න ඔහේ…”
ඕ පසුව තීරණය කලාය. නිම්නාවී එදින නින්දට ගියේ පසුදින වෙනුවෙන් ජීව්තයට අප්‍රමාණ බලාපොරොත්තු කන්දක් තබා ගනිමිනි. ඇය ජීවිතයේ සිදු වූ වරදකාරී හැඟීමකට පසුව මෙතරම් උද්දාමයෙන් සිටිනවාමය.
පසුදින දිලුම්ද නිම්නාවී සමඟ මිතුරාගේ නිවසට යන්නට පැමිණියේය. එතැනින් නිම්නාවී සූදානම් වී මන්දාරම්ගේ නිවෙසට යන්නට පිටත් වූයේ දිලුම්ගේ මෝටර් රියෙන් ය. මිතුරාගේ බිරිඳ නිම්නාවී ඉතා ආදරයෙන් පිළිගෙන , ඇය සමඟ ඕනෑම දෙයක් වෙනුවෙන් සිටිනවාය කී ආකාරය ගැන දිලුම්ගේ සිතෙහි පහන් හැඟීමක් විය.
අක්කා විහින් හුදෙකලා වී සැඟවුනා මිසෙක ඇයට මිත්‍ර සම්පත්තිය අඩු නැති බව දිලුම්ට යලි යලි පැහැදිලි වෙන්නට ගත්තේය. එහෙත් අක්කා හැමවිටම එය ඍණාත්මක ලෙසින් ගෙන ඇයව පහතටම හෙලා ගත්තාය.
දිලුම් අක්කා දෙස බලා සැනසුම් සුසුම් හෙලුවේය. අක්කා ඉන්නේ සැනසීමෙන් බව ඔහුට පෙනේ. එක් අතකට නිවෙසක බැලමෙහෙවරකම් කරන්නට යන අයෙකු මෙතරම් සැනසීමක් විඳිනවායැයි සිතීම පවා අරුමයකි. අනෙක් අතට මේ යන්නේ රෝගී වූ අයෙකු වෙනුවෙන් උපකාර කිරීමටය. ගිලානෝපස්තානය කොහොම සැනසීමක්දැයි දිලුම් දනී. අනෙක් අතට අක්කාට ඇය අතින් වූ වරදෙහි සැර බාල කරගැනීමටද ලැබෙන්නේය.
මන්දාරම් මෝටර් රිය අසලටම විත් දිලුම් පිලිගත්තේය. චානකද දොර අසල උන්නේය. දිලුම් ඔවුන් දෙදෙනාටම සිනාසුනේය. නිම්නාවී දිලුම්ගේ පසෙකින් නිවෙසට ඇතුලු විය. මන්දාරම් නිම්නාවී දෙස උවමනාවෙන් බැලුවේ නැති වුවද, දිලුම් හා සමඟ කතා කරමින් සිටියදී දෙතුන් වතාවක්ම ඇගේ වත මත මන්දාරම්ගේ දෑස් නැවතෙනි චානක බලා උන්නේය.
” හවස හය වගේ වෙනකොට අක්කට කඩවතට යන්න තිබ්බා නම් අති මන්දාරම් … “
දිලුම් යන්තමින් වාගේ එලෙස කීවේය.
” මම කොහොමටත් මේ දවස් ටිකේ වේලාසන එනවා දිලුම් .. ඒක අවුලක්ම නෑ …. මම හවස් පැයක් වර්ක් ෆ්‍රොම් හෝම් ඇපෲ කරගෙන ඉන්නේ.. එතකොට මම හතර පහු වෙනකොට ගෙදර …”
දිලුම් එයට කිසිත් නොපවසා, එහෙත් හිත ඇතුලෙන් උද්දාමයක් විඳිමින් හිස වැනුවේය. එවිට අක්කාට හය වනවිට යලි නිවෙසට පැමිණිය හැක. ඒ ගැටලුවද එලෙස විසඳීම නිසා දවසේ ආරම්භය ගැන දිලුම් සහ නිම්නාවී දෙදෙනාටම දැනෙමින් තිබුනේ සුවපහසු බවකි.
” උදේටයි දවල්ටයි උයන්න ඇන්ටි කෙනෙක් එනවා.. එයා උදේ කෑම හදලා, දවල්ටත් කෑම හදලා එකොළහට වගේ යන්නේ.. රෙදි සෝදන ඔක්කොම මම කරනවා..වොෂින් මැශින් දාන එකනේ.. මැෂින් එකෙන් අරගෙන එලියට දාන්න මට වෙලා නොතිබුනොත් ඒක ඉතිරි වෙනවා.. ඒ ඇරුනම අම්මව පොඩ්ඩක් වොශ් කරවලා, කවලා ,බෙහෙත් දීලා ඒ වැඩ ටික තියෙන්නේ… ආයේ රෑට කෑම මොනවා හරි හදන එක .. ඒක මෙයාට බැරි නම් දිලුම් මට ආයේ අර ඇන්ටිව ගෙන්නගන්න පුලුවන් …”
මන්දාරම් කීවේය.
” අනේ නෑ මහත්තයා .. මම රෑට මොනවා හරි උයලා යන්නම්…”
දිලුම්ද තිගැස්සෙන හඬකින් එක්වරම නිම්නාවී හඬ අවදි කලාය. මන්දාරම් තත්පර කිහිපයකට ඒ හඬ තුල අතරමං නොවූවාය කියන්නට නොහැක. ඇය නම් සුන්දරත්වයේ අග තැන්පත් යුවතියක බව චානකද තමා සමඟම පිළිගත්තේය.
” ඩොකා රෙකමන්ඩ් කරන හින්දා ගන්නවා මිසක්, මේකි නම් ගෙදරක වැඩකාරකම් කරන්න ගැලපෙන එකියක් නෙවෙයි බං ..බලපංකෝ පට්ට කෑල්ලනේ ..”
ඔහු එවෙලෙහිම මන්දාරම්ට කෙටි පණිවිඩයක්ද යැව්වේය. මන්දාරම් එය කියවා චානක වෙත රැවුමක් පා කරද්දී එය නුදුටුවා සේ උන්නේය.
” මේ අක්කා නිම්නාවී … අනූ එකේ ….”
” එහෙනම් ඉතින් අපේ මන්දාරම්ට සම වයස් ….”
චානක නොසිතූ ලෙසින් ඉදිරිපත් වී කීවේය. මන්දාරම් ඔහුට යළි දැඩි බැල්මක් පා කලේය.
” මූ මේ උදේ පාන්දර මොන අඩව්වක් අල්ලන්නද?..”
මන්දාරම් එලෙස සිතන අතරේ දිලුම් සමඟ නිම්නාවීගේ වැටුප් පිළිබඳවද කතා කලේය. ඉන් පසුව නිම්නාවීටද සමුදුන් දිලුම් යළි රෝහල බලා පිටත් වූයේය.
” මොකක්ද නම කිව්වේ?…”
චානක නිම්නාවී ඉදිරියෙන් සිටගෙන ඇය වෙත ස්කෑන් බැල්මක් පා කරමින් විමසුවේය.
” නිම්නාවී මහත්තයා….”
” ඩුබායි වල හිටියා කිව්වේ නේ ?….”
“ඔව් මහත්තයා.. අවුරුදු දෙකක්….”
” ආයේ ආවේ?….”
“පොඩි ප්‍රශ්න වගයක් වෙලා ආවේ මහත්තයා…”
” පොඩි ප්‍රශ්න නම් වෙන්න බෑ….”
චානකට ඉබේම කියවුණි. නිම්නාවී අපහසුවෙන් මෙන් ඉවතක් බලාගත්තය. මන්දාරම් උස් හඬින් චානක ඇමතුවේය.
“චානා … “
” හරි ..මේ.. මං එහෙනම් ලෑස්ති වෙලා එන්නම් … උඹ මේ නංගීට පොඩ්ඩක් කතා කරලා හිටපංකෝ…”
එතෙක් වෙලා වූ දිරිය යන්තමින් සිඳෙමින් යන වග නිම්නාවිට දැනෙමින් තිබුණි. හිතුවක්කාර වී ආවාට මේ දෙදෙනා මොන විදියේදැයි තමා නොදන්නා බව සිහි කලේය.
“ඒ වුනාට මල්ලි හොයලා බලන්න ඇති …”
නිම්නාවී යලි සිතුවාය. මන්දාරම් නිම්නාවීද කැටුව ගොස් නිවසේ අදාල තැන් පෙන්වූයේය. මුලුතැන්ගෙයද, නාන කාමරයද, අම්මාගේ සහ තමාගේ කාමරද, චානකගේ කාමරයද, නිම්නාවී වෙනුවෙන් ඇති කාමරයද පෙන්වූයේය.
අපේක්ෂා ගුණරත්න