යථාර්ථයේ අඳුරුතම සිතුවිලි ගැන ඔබ වෙත ගෙන එන Black Mirror ගැන දන්නවද?

අපි ජීවත් වෙන්නෙ ඉතාම දියුණු ලෝකෙක.

හඳට රොකට් යවන, ලෝකෙ දෙකෙලවර ඉන්න දෙන්නෙක්ට මූණට මූණ බලාගෙන සන්නිවේදනය කරන්න පුලුවන් වගේම අපේ අනන්‍යතවය තව කෙනෙක්ට හොරකම් කරන්න පුලුවන් මට්ටමේ දියුණු තාක්ෂණයක් තියෙන ලෝකෙක.

මේ Black Mirror Netflix කතා මාලාව ඔස්සේ අපිට අරගෙන එන්නෙ තාක්ෂණයෙ තියෙන ඒ අඳුරු පැතිකඩ ගැන විස්තර.

Mind-bending, Sci-Fi ශානරයේ කතා වලට කැමති කෙනෙක් එක පාරක් හරි බැලිය යුතුමයි කියල කිව යුතු මට්ටමේ ඉතාම Addictive එහෙමත් නැත්තම් ආසක්ත වන කතා මාලාවක් තමයි මේ.

බ්‍රිතාන්‍යයේ නිශ්පාදිත විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වන Black Mirror මේ වන විට කත මාලාවන් 6ක්ම අරගෙන ඇවිල්ල තියෙනවා. ඒ වෙනුවෙන් Emmy සම්මාන 9ක් දිනාගෙන තියෙනව වගේම Rotten Tomatoes වල 81% ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් පවා ලබාගෙන තියෙනවා.

Black Mirror කතා මාලාව මෑත කාලීනව තවත් කතාබහට ලක්වෙන්න හේතුවක් වුනේ එහි 6 වන කතා මාලාව මාස කිහිපයකට පෙර නිකුත් වීම නිසා.

මේ කතා මාලාවේ කතාවන් අතුරින් ඉතාම විශේෂ කතා කිහිපයක් අරගෙන මේ ලිපිය ලියන්න මම තීරණය කරේ බලපු කෙනෙක් නම් ආයෙම වතාවක් බලන්න වගේම නොබලපු කෙනෙක් ඉන්නවානම් අදම මේ කතාව බලන්න යොමු කරන බලාපොරොත්තුවෙන්.

Black Mirroර් කතා මාලාවෙ පලමුවන කතාව වෙන්නේ National Anthem.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක් වන සුසෑන් කුමරිය එකපාර අතුරුදහන් වෙනවා. බලද්දි එයාව පැහැරගෙන ගිහින්. අපිව පැහැරගෙන ගියා වගේ නෙවෙයිනේ. රජ කුමාරියක් ඇහැරගෙන ගියා කිව්වම. ඉතින් ඔක්කොම ආරක්ෂක අංශ එකතුවෙලා සුසෑන් කුමරියව හොයන්න ලොකුම ලොකු මෙහෙයුමක් කරනවා.

මේ මෙහෙයුම අතර වාරේ බ්‍රිතාන්‍ය අගමැති වරයාට දුරකතන ඇමතුමක් එනවා.

වෙන කාගෙන්වත් නෙවෙයි කුමරියව පැහැර ගත්ත කෙනාගෙන්.

සාමාන්‍යයෙන් මෙහෙම කාවහරි පැහැරගෙන ගිහින් ඊටපස්සෙ හිතවත් කාටහරි කෝල් එකක් දීලා කියන්නේ “මෙයාව නිදහස් කරන්නම් මෙන්න මෙච්චර සල්ලි ඕන” කියලනේ.

හැබැයි මේ මනුස්සය කතා කරලා ඉල්ලන්නෙ සල්ලි නම් නෙවෙයි.

කුමාරිව නිදහස් කරන්න නම් එයා අගමැති වරයගෙන් එක දෙයක් ඉල්ලනවා.

ඒ සජීවි රූපවාහිනිය ඉදිරියේ අගමැති තුමා ඌරෙක් එක්ක එකට ඉන්න ඕන කියල.

මං දන්නව දැන් මේ වාක්‍යය කියෙව්වම පොඩ්ඩක් විතර එක තැන නතර වුනා නේද?

ඉතින් හිතන්නකො අගමැති තුමාට මොනව හිතෙන්න ඇතිද කියලා.

කුමාරිව බේරගන්න වුනත් කොහොමද සජීවි රූපවාහිනිය ඉස්සරහ ඒ වගේ දෙයක් කරන්නේ? අනික මේ නිකන් මනුස්සයෙක් නෙවෙයි රටේ අගමැති.

ඉතින් බලපු අය නම් දන්නවනෙ මොකද වුණේ කියලා?

බලපු ඇති කෙනෙක්නම් මොකද හිතන්නේ? කුමාරි බේරිල ආයෙ මාලිගාවට එන්න ඇද්ද? බේරුණානම් ඒ බේරුණේ අගමැති තුමා ඌරෙක් එක්ක එකට හිටපු නිසාද? එහෙමත් නැත්තම් ඊට කලින් පැහැරගත්ත මනුස්සයව අල්ලගන්න බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ වලට පුලුවන් වුණ නිසාද?

මේ කතාව කියවද්දි හරි විහිලුවක් වගේ වුණාට Black Mirror පලවන කතාවෙනුත් අපට පෙන්නුම් කරන්න හදන්නේ මේ නූතන ලෝකයේ මානුෂීය වශයෙන් තියෙන පිරිහීම් ගැන.මාධ්‍ය අවභාවිතයේ තියෙන බැරෑරුම් කම ගැන වගේම සමාජය ඉදිරියේ අපි මොනතරම් නම් උත්සාහ කරන්න වෙනවද කියන එක ගැන අපේ තත්ත්වය ආරක්ෂා කරගන්න.

තොරතුරු මොනතරම් ඉක්මනට හුවමාරු වෙනවද කියන දේ සහ මහජන මතය එක බොත්තමකින් අඩපණ කරවන්න පුලුවන් අන්දමේ දේශපාලන බලයන් ගැන කතාකරන මේ National Anthem කතාව බලන්න වටිනම කතාවක්.

දෙවනි කතාව විදියට මම තෝරගත්තේ Black Mirror පස්වන කතා මාලාවෙ එන Striking Vipers කියන කතාව.

මේ කතාව බලද්දි නම් මට හිතුනෙ මේ වගේ දේවල් මේ ලෝකෙ වෙන්න පුලුවන්ද කියලා.

Black Mirror කතා මාලාවෙ තියෙන විශේෂත්වය තමයි මොන තරම් දියුණු තාක්ෂණික අංග, උපාංග පෙන්නුවත් ඒ හැමදේම තියෙන්නෙ මේ අපි ජීවත්වන වර්තමාන සමාජයේ කියල පෙන්නුම් කිරීම. ඒ ඔස්සේ මේ කතාව අපිට තව තවත් සමීප කිරීම.

ඉතින් මේ Striking Vipers කතාවෙ වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

ඩැනී එයාගෙ බිරිඳ වන තියෝ එක්ක ගෙදර උපන්දින සාදයක් තියනවා. මේ උපන්දින සාදයට ආරාධනාවක් ලැබිල එන ඩැනීගෙ යාලුව වන කාල් උපන්දින තෑග්ගක් විදියට අලුත්ම  Striking Vipers ගේම් කිට් එකක් අරගෙන එනවා.

මේ දෙන්නටම මේ ගේම් එක අලුත් දෙයක් නෙවෙයි. මේ ගෙනත් දීපු වර්ශන් එක අලුත් වුණාට මීට කලිනුත් එයාල මේ ගේම් එක සෙල්ලම් කරල තියෙනවා.

මේ ගේම් එකේ තියෙන විශේෂත්වය තමයි ගේම් එකේ තමන්ගෙ කැරැක්ටර් එකට විඳින්න වෙන සියලුම දේවල් ගේම් එක ප්ලේ කරන කෙනාට භෞතික සංවේදන විදියට දැනීම. හිතාගන්න පුලුවන් නේ තාක්ෂණය ගැන.

කොහොමහරි ගේම් එක ගහන්න එකතු වෙන ඩැනී සහ කාල් දෙන්නට ලැබෙන්නෙ ප්‍රතිවිරුද්ධ චරිත. ඒ කිව්වෙ එක්කෙනෙක් කොල්ලෙක්, අනිත් එක්කෙනා කෙල්ලෙක්.

කමක් නෑ ඉතින් මේක ගේම් එකක්නේ.

ඩැනී සහ කාල් දෙන්නත් මුලින් හිතුවෙ නම් එහෙම තමයි. හැබැයි ඒ ගේම් එක ඇතුලෙ දෙන්නා ශරීරයෙන් එකතුවෙන තාක් විතරයි.

ගේම් එකක් ඇතුලෙ වුණත් කෙල්ලෙක් සහ කොල්ලෙක් එකිනෙකාට ආකර්ෂණය වීම වරදක් නෑ. ඒත් අපිට අමතක කරන්න බැරි කාරණා දෙකක් තියෙනවා.

එකක් ගේම් එකේ චරිත දෙක මොකක් වුණත් මේ ගේම් එක ඇත්තටම ප්ලේ කරන දෙන්නා කොල්ලො දෙන්නෙක් සහ හොඳම යාලුවො. අනිත් එක ගේම් එකේදි වෙන හැම සංසිද්ධියක්ම ගේම් එක ගහන මනුස්සයට ශාරිරිකව සංවේදනය වෙනවා.

ගේම් එක මොන විදියට ඉවර වෙන්න ඇතිද?

ඒකට උත්තරේ දැනගන්න වෙන්නෙ කතාව බලලම තමයි.

දැනට මේ තරම් දියුණු ගේම් ලෝකෙ නැතිවුනාට ඉදිරි අනාගතයෙදි එහෙම දේවල් නොවෙන්න බැරි කමකුත් නෑ.

හැබැයි මේ කතාවෙන් කියන්න හදන පණිවිඩේ නම් අපිට නුපුරුදු එකක් නෙවෙයි. අපි හැමෝටම සැබෑ ජීවිතයේ සහ ඩිජිටල් ලෝකෙ ඇතුලෙ අනන්‍යතා දෙකක් තියෙනව. ඒක අපිට පිළිගන්නම වෙන දෙයක්.

තුන්වෙනි කතාව විදියට මම තෝරගත්තේ 6 වන කතා මාලාවෙ එන Joan is awful කියන කතාව.

ඔයා වැඩ ඇරිල ගෙදර එද්දි, ඔයා මිනිස්සුන්ට සලකපු නරක විදිය, ඔයාගේ ජීවිතේ අඳුරු පැතිකඩ වගේ දේවල් ගැන කියවෙන ඔයාගේ නමින්ම තියෙන කතාවක් Netflix එකට ඇවිත් කියල දැනගත්තොත් ඔයා මොකද කරන්නේ?

හිතාගන්න බෑ නේද?

Joan ටත් හිතාගන්න බැරිවුණා.

එයා ඔෆිස් එකේදි එයාගේ සේවකයෙක්ට සලකපු විදිය, දැන් ඉන්න පෙම්වතාට හොරෙන් එයා “සම්බන්ධයක් නෑ” කියපු පරණ සැමියා එක්ක ආයෙම පොඩි රොමෑන්ටික් මෝමන්ට් එකකට ගියපු එක ගැන එයාවත් දන්නෙ නැතුව කවුරුහරි Netflix Series එකක් පටන් අරගෙන Joan is Awful කියලා.

එයාට රූපයෙන් ඉතාම සමීප ජනප්‍රිය නිළියක් තමයි Joan ගේ චරිතය රඟපාන්නෙ.

Joan ට පිස්සු හැදුනෙ නැති ටික විතරයි. කොහොමහරි පෙම්වතත් අහිමි වෙලා රස්සාවෙනුත් දොට්ට දාපු Joan ට අන්තිමට කරන්න ඉතුරු වෙන එකම දේ තමන්ගෙ චරිතෙ රඟපාන ජනප්‍රිය නිලියව හම්බෙලා මේ ගැන කීම.

කොහොමහරි Joan ඒ කඩුල්ල පනිනවා.

හැබැයි ප්‍රශ්නෙට උත්තරයක් නම් ලැබෙන්නෙ නෑ. මොකද නිලියට ලැබෙන්නෙත් ස්ක්‍රිප්ට් එකක්. ඒ ස්ක්‍රිප්ට් එකට තමයි එයා රඟපාන්නෙ. හැබැයි එහෙමයි කියල නිළිය Joan ට උදව් නොකර ඉන්නෙත් නෑ.

හොයාගෙන ගිහිල්ල බැලුවට පස්සෙ අපි මේ Joan කියල හිතන් හිටපු කෙනා නෙවෙයි ඇත්තම Joan.

අපි දන්න Joan කියන්නෙත් ඇත්තම Joan ගෙ චරිතෙ රඟපාන තව එක නිළියක්.

මාර පටලැවිල්ලක් තමයි නේද?

පටලැවිල්ල ලිහාගන්න නම් කතාව බලන්නම ඕන.

ඉතින් තවත් කතා ගැන ලියනවට වඩා මම ඔයාලට අවස්තාව දෙනවා Black Mirror බලන්න කියල. ඉතාම ඉක්මනින් ගලාගෙන යන කතා වගේම හිමින් හිමින් මන්දගාමීව ගලායන කතා අස්සෙත් හංගල තියෙන්නෙ අපි ජීවත්වෙන මේ ලෝකෙ අස්සෙ, තාක්ෂනය අස්සෙ හැංගිලා තියෙන බය හිතෙන ඇත්ත ගැන.

ඉතින් ඒ බය හිතෙන ඇත්ත ගැන දැනගන්න, බය නැතුව ඒ ඇත්තට මූණ දෙන්න අදම Black Mirror කතා මාලාව බලන්න.

ඔයාලා Addict වෙනවා 100% ඒක නම් ශුවර්!

Related Articles

Don't Miss


Latest Articles