එකොලොස්වෙනි මල් දම
නිම්නාවී ස්වර්ණාගේ කාමරයට ඇතුලු වූයේ අවසර ගැනීමකින්ද තොරවමය. ඇමතුමක උන් ස්වර්ණා ඉන් තිගැස්සී යනු නිම්නාවී හොඳින්ම දුටුවාය. ඇයද ඉන් යම් කලබලයකට පත් වූ නමුත්, ඉතා ක්ෂණිකව ස්වරූපය නොවෙනස් වන සේ සකසා ගත්තාය. අනතුරුව තමා කාමරයෙන් පිටත සිටින බවත්, අවශ්‍ය වුවහොත් කතා කරන ලෙසත් ඉඟියෙන් කීවාය. ස්වර්ණා එය වටහා ගත් බව පෙන්වා හිස සැලුවාය.
ඕ දිලුම්ගේ කෙටි පණිවිඩයට පිළිතුරු යැව්වේ ඉන් පසුවය.
” අවුලක්ම නෑ මල්ලි .. උදෙ වරුවේ නර්ස් කෙනෙක් මට වෙන්න ඔනි දේවල් ඔක්කොම පැහැදිලි කලා.. දැන් ඒ ආන්ටි නාලා, කාලා, බෙහෙත් බීලා රෙස්ට් එකේ ඉන්නේ.. උයන කෙනා තව ටිකකින් යනවා.. එතකොට මට තියෙන්නේ දවල්ට කන්න දීලා එක්සයිස් වගයක් තියෙනව ඒ ටික කරවන්නෝනි .. ඊට පස්සේ මම රෑට මොනවා හරි උයන්නෝනි … මන්දාරම් එන වෙලාව අනුව මම එන වෙලාව කියන්නම් … ..”
ඕ මදක් කල්පනා කර අවසානයේ කෙටි පණිවිඩය යැව්වාය.
” උයන්න පුලුවන්ද ?…”
” පුලුවන් …”
ඕ එයටද ප්‍රතිචාර යැව්වාය.
” ඔය අම්මයි පුතාලා දෙන්නයි එක දවසින් තමුසේව රස්සාවෙන් එලවන විදියට නැතුව කන්න පුලුවන් දෙයක් හදනවා හොඳේ …”
මල්ලී ඉතා සැහැල්ලුවෙන් එවූ පණිවිඩයට වට්සැප් ඉමෝජි සහ මෙමේ කිහිපයක්ම අමුනා යැවූ නිම්නාවි සාලය පුරා ඇවිද්දාය. ඉන් පසුව මන්දාරම්ගේයැයි ස්වර්ණා පැවසූ පුස්තකාලය වෙතද එබුණාය. දොරෙහි යතුර වූ නිසා ඕ දොර විවෘත කරගෙනම එතුලට පිවිසියාය. එහි වූයේ අමුතුම නිස්කලංක බවක් බව පළමු පිවිසුමේදිම්ම ඕ වටහා ගත්තාය. තමාට කිසිදිනෙක පොත් කියවීම වැනි විනෝදාංශයක් නොතිබුනත්, පොතක් හරවා බලන්නට ආශාවක් ඇති වූ බව වින්දාය.
පොත් රාක්ක අතර නිම්නාවී ඇවිද ගියේ සීරුවෙනි.රාක්ක මත තබා තිබූ පොත් මතින් ඕ අතැඟිලි ගෙන ගියාය. නිරාවරණිත බිත්ති මත සිතුවම් කර තිබූ රූප දෙසද බලා උන්නාය. සම්පූර්ණ වීදුරු සිටින සේ සකසා තිබූ එක් පැති බිත්තියකින් පෙනෙන කොළ පැහැ තුරු වදුල දෙස ඕ බලුවේ ජනෙල් තිරය මදක් පසෙකට කරමිනි. ඒ අසලම තබා තිබූ දිග සෝපාවේ ඕ මදකට හිඳ ගත්තාය. එහි වූයේ දිව්‍යමය සුවයක් බව දැණුණි. ඒ අසුනේ හිඳගනිද්දීම දැනුන යම් දිව්‍යමය සුවඳකින් ඕ පපු කුහර පුරවා ගත්තේ අනාරාධිතවමය.
ඉන් පසුව ඕ යළි පොතක් ගෙන ඒ අසුනේ හිඳ ගත්තාය. එය ලා කහ පැහැයට හුරු පිටු හාරසීයක් ඉක්මවන පොතක් විය. මුල් කවරයේ මැද මුද්දර පින්තූරයක් මැද ගැහැණු ළැමයෙකු උන්නාය. එය සීල් තබා තිබුනි. වස්සාන සිහිනය ලෙස සිංහලෙන්ද, උපුල් ශාන්ත සන්නස්ගල ලෙස ඉංග්‍රීසියෙන්ද මුද්‍රණය කර තිබුනි. ඕ පොත අනෙක් පස හැරෙව්වාය.
” ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහිව පවතින සමාජයීය ආර්තික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන්ම ප්‍රේමයෙන් ආතුර වීම උදෙසා මිනිසා තුල වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක්ද වස්සාන සිහිනයතුල දැකිය හැකිය ..”
ලෙසින් එහි මුද්‍රණය වී තිබුණි. උපුල් ශාන්ත සන්නස්ගල යනු කවුරුන්දැයි ඕ දැන උන්නාය. වස්සාන සිහිනය යනු චිත්‍රපටයක් බව ඇයගේ සිහියේ තිබුණි. රොශාන් රවීන්ද්‍ර සහ සචිනි අයේන්ද්‍රා එහි රඟන ගීයක් ක්ෂණිකව ඇගේ හිත තුළ ගැයෙන්නට පටන් ගත්තේය.
” ඔබ හීනයක් වගේයි .. හාදු වැසාක් අරන් .. සිරි යහන අද්දරට වී… වැතිරෙන්නෙපා සයනේ….”
සැනින් පසන් සිහි විය. ඕ උන් ස්වභාවය වෙනස් විය. පොත වහාම රාක්කයේ රැඳවූ ඕ කාමරයෙන් පිටතට ආවාය. එය තැබුවේ පෙර තමා ගත් තැනින්මදැයි සිහියක් නොවූ වග සිහි වූයේ ඉන් පසුවය. වහා පුස්තකාලය තුළට ගිය ඕ එය විමසා බැලුවාය. එහෙත් වෙනසක් දැක ගන්නට හැකි වූයේ නැත.
” ශික් ..පොත ගන්නකොට එතන මොකක් හරි මාර්ක් එකක් තියන්න තිබ්බේ .. හයියෝ දැන් අර යකා මොනවා කරාවිද දන්නේ නෑ …”
ඕ ඒ දෙස බලාගෙනම සිතුවාය.
” නෑ එක්කෝ අවුලක් නෑ .. ගෙදර මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඒ මනුස්සයට පොත් කියවන්න මූඩ් එකක් එන එකක් නෑ… ආයේ සති දෙක තුනක් යනකොට ඕක අමතක වේවි තිබ්බ තැනක් …”
හැම රැයකම පැයක්වත් පුස්තකාලය තුල ගෙවන මන්දාරම්ගේ විලාසිතාව ගැන නොදැන උන් නිම්නාවී එලෙසින් සිතා හිත හදාගත්තාය. ඕ ඉන් පසුව කාමරයෙන් පිටතට ආවාය. කුස්සියට යන විට ලතා පෙරලා යන්නට සූදානම් වෙමින් උන්නාය.
” නෝනේට මම දොඩම් එකක් හදලා ඇති .. තව ටිකකින් අහලා දෙන්න …”
නිම්නාවී හිස සැළුවාය. ඇයටද තිබහක් දැනෙමින් තිබුනි. එහෙත් ලතා සිටිඅය්දී ඕනෑවට වඩා දේවල් කිරීම නොයුතු බව ඕ ඉටා උන්නාය. ලතා ගියාට පසු ඕ ගේට්ටුව අඟුලු දැම්මාය. අවසර ගෙන ස්වර්ණාගෙ කාමරයට ඇතුළු වූවාය.
“මිස්ට බොන්න මුකුත් ගේන්නද?…”
” දොඩම් වගයක් තිබුණා කිව්වා පුතේ …. පුලුවන් නම් බොමූ .. මේ තුවාල හොඳ වෙන්න දොඩම් හොඳයි කියලා ඩොක්ටර් කිව්වා නිතරම පාවිච්චි කරන්න කියලා.. පුතාටත් එක්ක දාගෙනම එන්න වීදුරුවකට..”
නිම්නාවි ස්වර්ණාගේ දොඩම් වීදුරුව පමණක් රැගෙන ආවාය. එහෙත් නිම්නාවීගේ දොඩම් වීදුරුව දකින තෙක් ස්වර්නා දොඩම් පානය වර්ජනය කල නිසා, ඕ යලි කුස්සියට ගොස් දොඩම් වීදුරුවක් පුරවාගෙන ආවාය.
” ලතා මේ ඔක්කොම කරලා යන්නේ. එයාගේ හස්බන්ඩ් අසනීපෙන් .. එක දරුවයි ඉන්නේ. ඒ ළමයා කැම්පස් තේරිලා ඉන්නේ.. අපේ මන්දාරම් ඒ ළමයාගේ සම්පූර්ණ වියදම් බලාගන්නවා කියලා ඉන්නේ ඔය …”
ස්වර්ණා ආඩම්බර සෙයින් කීවාය. තමන් ගැන හෝ මල්ලී ගැන ආඩම්බර වන්නට කෝටියක් තරමෙ හේතු තිබියදී පවා අම්මා හෝ තාත්තා එවැනි ආඩම්බරයක් පෙන්වන්නේවත් නැතිවා නොවේදැයි ඕ සිතුවාය. අඩුම තරමේ මල්ලී වෛද්‍යවරයෙකු වීම වත් ඔවුන්ට වටින්නේ නැත.
” දොස්තරලා වෙලා හම්බ කරන්න නම් ඒ පිළිවෙලට දොස්තර කෙනෙක් වෙන්නෝනි .. මේ ගොල්ලෝ මේ පින් දොස්තරලානේ .. එහෙම හම්බ කරන්න ඹෑ…”
මල්ලි පෞද්ගලික වෛද්‍ය ශාලාවක් ආරම්භ කර එහි සහන මිලට බෙහෙත් ලබා දීම පිළිබඳව වන යෝජනාව අම්මලා සමඟ කතා බහ කල දිනයේ අම්ම කීවේ එලෙස බව නිම්නාවීට මතකය. ඕ නොපෙනෙන සුසුමක් හෙලුවාය.
” මෙහෙම ඉන්න ගියාම එපා වෙනවා දරුවෝ …”
කතාව අන් අතකට පෙරලුණි .
” එහෙම හිතන්න එපා මිස් ..අපි ඉක්මනට් සනීප වෙමුකෝ…”
” මාව මෙහෙම හප්පල දාලා ගිය කාට වුනත් හොඳක් නම් වෙන්නේ නෑ පුතේ…. පුදුම වදයක් නේ මේක.. මම යසට මගේ වැඩත් කරන් අර කොල්ලෝ දෙන්නගෙම වැඩත් බලාගෙන හිටියනේ . බලන්නකෝ මේ ඉන්න වෙලා තියෙන විදිය ..”
” ජීවිතේ එහෙම තමයි මිස් …”
‘ මම ඔයාට ම්ස් කෙනෙක් නෙවෙයි පුතේ.. ස්වර්ණා මගේ නම … ඒ නමට පහසු කෑල්ලක් එල්ලගෙන කතා කරන්න …..”
” අනේ එහෙම දෙයක් නැහැ මිස් .. මට මෙහෙම පහසුයි … මම ඇත්තටම එහෙම කියන්නේ ….”
නිම්නාවී ස්වර්ණාගේ ව්‍යායාම වෙනුවෙන් සිහිය සකසා ගනිමිනි කීවාය. ස්වර්නා ඇයට පහසු වන ඉරියව්වකට මාරු වෙන්නට නිම්නාවීගේ උපකාරයද ඉල්ලා ගත්තාය
අපේක්ෂා ගුණරත්න.