හද සාගරේ – 1

0
3670

දෙව්රම් සන්දනායක, සිය කාර්යාල කාමරයේ මේසය මත වූ ලැප්ටොප් පරිගණකය ඔහු වෙතට ගෙන එය ක්‍රියාත්මක කළේ ය. හිතේ වන්නේ දුකක් ද කෝපයක් ද කලකිරීමක් ද ඒ සියල්ලක් ම ද නැතහොත් ඒ කිසිත් නොවන හිස් ම හිස් බවක් ද කියා ඔහු ට ම වටහා ගත නො හැකි තරම ය. කාර්යාල කුටියේ අධික වායුසමීකරණ තත්ව යටතේත් ඔහු ට මඳ දාහයක් දැනුණ බව නම් සැබවි. නමුත් දැන් ඔහු ට  උවමනා නෙළුම් පතක් මතට වැටෙනා පිනි බින්දු සේ, සිය හදවත මත පතිත වන්නා වූ සියල් සුඛ දුක්ඛ දෝමනස්සයන් රූරා යනු දකින්නට ය. කිසිත් හදවතට අවශෝෂණය නො කර ගන්නට ය. ගහක් ගලක් සේ කිසිදු හැඟීමකින් තොරව ඔහේ ජීවත් වන්නට ය. හුස්මක් ගන්නේවත් නැතිව වැඩ කරන්නට ය. හදවත පැරදිය හැකි, මිනිසෙකුට වන එක ම ඉන්ද්‍රිය මොළයයි. ඉවක් බවක් නැතිව  වැඩ වල නිතර වී මොළය වෙහෙසනා කල හදවත් සංවේදනා බාල වේ. පරාද වේ. අඩපණ වේ. කොහොමටත් දැන් ඔහු හදවත ට බිය ය. හදවත තුළ ඉපිද මීදුමක් සේ ඉහළ නැගී මුළුමනින් ඔහු වෙළාගන්නා හැඟීම් වලට අතිශය බිය ය. එබැවින් හදවත වෙතට අවධානය යොමු කිරීම හිතා මතා ම පාලනය කරගෙන සිටී. රළු වෙන එක, නපුරු වෙන එක, දැඩි වෙන එක, අහංකාර වෙන එක, හොඳ මිනිසෙකු වෙනවාට වැඩිය පහසු ය.    

“මං කියනවට උඹ පොඩ්ඩක් සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට ගොඩවෙලා බලපංකො. අද දවසේ මාතෘකාව විදිහට වෛරල් වෙලා තියෙන්නෙ සපූ ඔය සම්මානෙ ගන්න වෙලාවෙ දීපු වොයිස් කට් එක තියන වීඩියෝ ක්ලිප් එක”  

මීට මඳ වෙලාවකට පෙර දෙව්රම් ගේ සමීපතම මිත්‍රයා  සංකේත් දුරකතන ඇමතුමක් දී කීවේ ය. සපූ ගේ  කතාව කුමක් වන්නට ඇත්ද කියා අසන්නට හෝ දැනගන්නට දෙව්රම් ට උවමනා නැත. නමුත් ඇය වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදෙනු දකින ආශාවක් ද ඔහු තුළ ඇති නොවූවා නොවේ. පෙර දා රාත්‍රියෙහි පැවති සම්මාන උලෙළ සඳහා දෙව්රම් සන්දනායක ට ද ඇරයුම් ලැබී තිබිණි ද ඔහු ඒ අවස්ථාව මගහැරියේ හිතාමතා ම ය. ඒ එහිදී සපූ හමු වීම වළකාලනු පිණිස ය. ඊටත් දෙතුන් දිනකට පෙර උසාවියේදී ඈ දුටු ඔහු පැතුවේ ඒ ඇය හමු වෙන අවසාන දවස විය යුතුයි කියා ය. නමුත් දෛවය අපිට ඕනෑ දේ අපිට ඕනෑ ලෙසට ම සිදු වෙන්නට හැර ඔහේ බලා ඉන්නේ නැත. දෛවයට තිබෙන්නේ ඇතැම් විට අප සිහිනයෙන් හෝ බලාපොරොත්තු නොවෙනාකාරායේ සැලසුම් විය හැක.

මුහුණු පොත විවර කළ සැනෙන් ඒ කෙටි වීඩියෝ කොටස දෙව්රම් ගේ දෙනෙතු අභියස පහළ විය.

“මේ   ලැබුණ සම්මානය ගැන සපූට මොනාද කියන්න තියෙන්නෙ…”

නිවේදක තරුණයා සපූ වෙතට මයික්‍රෆෝනය යොමු කළේ ය. ඈ සිය කෘතිම ව රැළි කළ කෙහෙ රොදක් පිටුපසට කරමින් සිනහවක් නගා ගත්තා ය. ඒ සිනහව එදාටත් වැඩිය අද ලස්සන ය. කාලයකට පෙර දෙව්රම් ගේ පිරිමි හිත වසඟ කරගත්තේ ඇගේ සිනහවයි. නමුත් එදා තිබූ අහිංසක බව අද ඒ සිනහවේ නැත. තිබෙන්නේ මවාගත් ව්‍යාජ ප්‍රතිරූපයක් අසීරුවෙන් නඩත්තු කරනා ගැහැනියක ගේ කෘතිම බවකි.

“මං හිතන්නෙ මේක මට ජය පිට ජය ලැබෙන වාසනාවන්ත කාලයක්”

ඒ වචන පිහි තුඩු සේ දෙව්රම් ගේ පපුවේ ඇනිණි. නිවේදකයා වහාම මයික්‍රෆෝනය ඔහු වෙතට යොමු කොට ගත්තේ ය. ඔවුන් ට ඕනෑ පුවත් මවන්නට ය. කවුරුන් වුව වවුල් හප බවට පත් වෙන තුරා පෞද්ගලිකත්වය කියවා සාරය උරා ගන්නට ය.

“සපූ ඔය කියන්නෙ සපූගෙ ඩිවෝස් එක ගැන වෙන්නැති”

දෙව්රම ගේ දෙසවන් තුළින් තියුණු රිදුමක් හටගෙන හිස පුරා පැතිර ගියේ ය.

“ඔව්. ඒකත් එකක්”

“සපූට ඕනෙනං ඒ ගැන ප්‍රසිද්ධියේ අදහසක් ප්‍රකාශ කරන්න මේක අවස්ථාව කරගන්න පුළුවන්”

මේ සම්මාන පිරිනමනා වේදිකාවක් ද නැත්නම් අනුන් ගේ කිළිටි අපුල්ලනා ඇපිල්ලුම් ගලක් ද කියා දෙව්රම් පිළිකුලෙන් සිතුවේ ය. ලැප්ටොප් පරිගණකය වසා තබා එතැනින් නැගිටින්නට සිත් වූව ද සපූ ගේ මුවින් පිටවෙන කතාවේ ඉතිරි ටික දැන ගැනීමේ කුහුල මැඩගන්නට හෙතෙම අපොහොසත් වූයේ ය.

“අපි හිතනව සමහර ග්‍රහයො අපේ ගමනට බාධා කරනව කියල. හැබැයි ඒ බාධක ග්‍රහයො ළඟින් ම ඉන්න මිනිස්සු කියල අපි හිතන්නෑ. අපේ ගමන වළකන… අපිට ඊර්ෂ්‍යා කරන… අපිට බාධා කරන අයගෙන් ඈත් වුණාම තමයි වාසනාව අපිව හොයං එන්නෙ. දියුණුව අපිව හොයං එන්නෙ. ජයග්‍රහණ අපිව හොයං එන්නෙ. මං හිතන්නෙ මගේ ජීවිතේටත් තිබුණ බාධක අයින් වෙලා අලුත් දොරවල් විවෘත වෙලා තියෙන්නෙ වාසනාවට එන්න. අපි බලමු ඉස්සරහට”

ප්‍රේක්ෂකාගාරයේ අත්පොලසන් හඬ මැද සපූ වේදිකාවෙන් ඉවත් වූවා ය. නමුත් ප්‍රේක්ෂකාගාරයට ඒ තලු මරන්නට රස කෑමක් බව සපූට වැඩිය හොඳින් දෙව්රම් දනී. ඒ මොහොතේ ම ළඟ ළඟ අසුන් ගෙන සිටි කලා ලොවෙහි දීප්තිමත් තරු, තම තමන්ගේ සවන් වලට ලං වී රහසේ කොඳුරා දෙව්රම් සන්දනායක ගැන කතා කළාට කිසිදු සැකයක් නැත.

පරිගණකය වසා තබා හෙතෙම අසුනෙන් නැගිටගත්තේ ය. දෑත් කලිසම් සාක්කු දෙකෙහි ඔබාගෙන වීදුරු කුටිය තුළ ඔබ මොබ සක්මන් කරන්නට වූයේ ය. හදවත පුරා දිගට හරහට ගැසූ කැපුම් පහරවල් රැසක වේදනාව එකවර ඔහු ට දැනේ. නො සිතනවා කියා කෙතරම් සිතුව ද සිතෙන්නේ ම ඇය ගැනයි. සිහි නොකරනවා කියා කෙතරම් සිතුව ද සිහිපත් වන්නේ ම ඈ හා බැඳි මතකයි. උණ රෝගයෙන් දැඩි ලෙස පෙළෙනා අවස්ථාවක සේ තද සීතලක් ඔහු ට දැනෙන්නට ගති. අමුතු හති ගතියක් ශ්වසන වේගය උච්ච කොට තිබිණ. පොඩි ළමයෙක් වාගේ කෑ ගසා හඬන්නට තිබෙනවා නම් යෙහෙකි. නමුත් පිරිමි දරුවෙකු කුඩා කල පටන් සමාජය විසින් ඔහු මත පටවා සිටිනුයේ පිරිමින්ට කඳුළු අකැප බවයි. එනමුත් එයින් අදහස් වන්නේ පිරිමින්ට කඳුළු නොමැති බව නොවේ කියා දැන් දෙව්රම් දනී.  ඒ කඳුළු ඔහු වෙනුවෙන් ම ය. ආත්මානුකම්පාව වෙනුවෙන් ය. ඔහු ගේ ජීවිතය මේ ලෙස අවභාවිතා කරන්නට ඇයට ඔහු විසින් ම උදා කර දුන් අවස්ථා පිළිබඳව ය. නො එසේ ව අහිමි වූ ඇය ගැන හෝ ඇය අහිමි වීම ගැන නොවේ!

සපූ අද සිටිනා තැන පිළිබඳ කිසිදු ඊර්ෂ්‍යාවක් දෙව්රම් ට නැත. මෙමතු නොව ඇය මීටත් ඉහළ තැනෙක වැජඹෙනු දැක සතුටු වන්නට ද ඔහු ට බැරි නැත. ජනප්‍රිය නිළිය නොව ඇය යම් මතු දිනයෙක හොඳ ම නිළිය ලෙස අභිසෙස් ලබනවා නම් හදවතින් ම ඒ ගැන සතුටු වන්නට ඔහු සූදානම් ය. නමුත් ඈ මෙසේ ලෝකය ඉදිරියේ හැසිරෙනුයේ කෙසේ ද? ඔහු ට තවමත් අදහා ගත නො හැකි ය.

“එක්ස්කියුස් මී සර්…”

වීදුරු දොරෙන් ඇතුළට ආ ආදියා මන්දරී බෙත්මගේ දොර වැසෙන්නට හැරෙමින් එකත්පස් ව සිටගත්තා ය. ඇගේ හඬ නො නැගෙන්නට, දොර විවර වෙනු හා වැසෙනු පමණකුදු නොව පිටස්තරයෙකු සිය කුටියට පැමිණෙනු ද දෙව්රම් ට නො දැනෙන්නට තිබිණ.

“යස්…”

කියමින් ඔහු වහා සිය විධායක අසුන වෙත ගොස් අසුන්ගත වූයේ ය. ආදියා දෙව්රම් ගේ මේසයට සමීප වූයේ දෑසින් ඔහු ව ගිල ගන්නට හැකි නම් එසේ කිරීමේ සූදානමිනි. මේ ගමන, එනම් ලිපි ගොනුවක් ගෙන දෙව්රම් ගේ කියුබිකල් එකට එන ගමන, ජීවිතයෙහි ඇය වඩාත් ප්‍රහර්ෂයෙන් බලාපොරොත්තු වෙන අවස්ථාවකි. ලාංකික තේ විදේශ රටවලට අපනයනය කෙරෙනා ප්‍රධාන ම සමාගමක් වන මෙම ආයතනය හා සම්බන්ධ වීම කාලයක් තිස්සේ ආදියා දුටු සිහිනයකි. ඊට හේතුව දෙව්රම් සන්දනායක වේ. ‘ගෝල්ඩන් ලීව්ස්’ තේ නාමය ලෝකයට ගෙනයන සන්නාම තානාපතිවරයා ලෙස ඔහු පත්වීම් ලද දා සිට ඇය ඒ සිහිනයෙන් උමතු වූවා ය. දැවැන්ත වැටුපක් සමග ඔහුට තේ සමාගමේ ඉහළ ම නිලයක් ද හිමි වූයේ සියලු වරප්‍රසාද සමගිනි.

ඊටත් පෙර සිට ආදියා දෙව්රම් ගේ මන බන්ධනීය සිනහවට වසඟ වී සිටියා ය. ඇයට ඒ මරණීය සිනහවකි. නල දත් පෙන්වා ඔහු නගන සිනහව දකිත්දී ඇයට උන්හිටි තැන් අමතක වේ. ඉන්නා තැනෙක පාෂාණිභූත වේ. එහෙව් පිරිමි පෞරුෂයක් යනු, ගැහැනියකගේ යටි හිතෙහි ලෝකය බිහි වූ දා සිට පැලපදියම් වී තිබෙනා ප්‍රාර්ථනීය සාධකයකි. ඔහු සිනහ වෙත්දී ඇයට මුළු ලෝකය ම අමතක වේ. ඒ තරම් පෞරුෂවත් පිරිමියෙකු එදා මෙදාතුර ලංකාවේ නම් බිහි වී නැතිවා විය යුතු යයි ආදියා සිතයි. ඒ ඔහු ම විතර ය. ඉතින් එහෙව් පෞරුෂයක් අස හදවත සත් කඩකට පැළී යන්නට තැත් දැරීම, ගෑනු ළමයෙකු වශයෙන් අපරාධයක් සේ සැලකිය නො හැකි බැව් ඇයට දැනේ. මුළු ලංකාවේ ම ගැහැනුන් නැත ද ඉන් අඩකට වැඩියෙන් නම් ඔහු නිසා පිස්සු වැටී සිටිනවාට සැක නැත. එහෙම පිරිමියෙකුට ලං වෙන්නට සිතීම පවා විහිළුවක් බව ආදියා නො දන්නවා නොවේ. එබැවින් එසේ ලං වීමේ සිතිවිල්ලක්වත් ඇයට නැත. දුරින් හිඳ හෝ ඔහු දෙස බලා සිටින්නට තිබෙනවා නම් ඇති ය. මෙහෙම ඉඳ හිට ළඟට විත් ඒ අසමාන පෞරුෂය මුළු ආත්මයෙන් ම විඳගන්නට ලැබුණා නම් ප්‍රමාණවත් ය.

“මොකද්ද දරුවො…”

ලිපිගොනුව පෙරළාගෙන දෙව්රම් ප්‍රශ්න කළේ ය. වචන හොයාගන්නට ආදියා සමත් වූයේ නැත. ඇගේ හුස්ම හිර වී තිබේ. මේ විදිහේ ප්‍රශ්නයක් හෝ ඔහු විසින් නගනු ලබන්නේ කලාතුරකිනි. ලිපිගොනුවකට අත්සන් තබන්නේ බොහෝ විට දුරකතන සංවාදයක් අතරේ දී ය. ඔහු කාර්යාලයට එන්නේ ද සතියකට දෙතුන් වරක් පමණකි. ආව ද මුළු දවසේ ම රැඳෙනවා නොවේ. එබැවින් ඔහු එනවා කියන්නේ ම ඇයට අවුරුදු එනවා වාගේ චමත්කාරයකි. දෙන්නට වචනයක් සොයා ගන්නට අසමත් වූ ඕ අතැඟිල්ල තබා ඔහු අත්සන් කළ යුතු තැන් පෙන්වූවා ය. අතැඟිල්ල වෙව්ලනු ඇයට දැනිණ. දෙව්රම් සිය පාකර් පෑනෙන් ඒ තැන්වල අත්සන් තැබුවේ ය. වෙනදාට නම් දහසකුත් වැඩ අතරේ හෝ දුරකතනය ඔස්සේ කාර්ය බහුල වී සිටිය ද ඔහු මනරම් සිනහවක් තිළිණ කරයි. අත්සන් යෙදීමෙන් පසු ඈ “තෑන්ක් යූ සර්” කියනා හැම වතාවක ම ඒ ලස්සන නල දත් සිනහව පිපී තිබේ. නමුත් අද එහෙම වූයේ නැත. සිනහ වෙන්නට ඔහු ට අමතක වී තිබිණ. ආදියා දොර විවර කරගෙන වීදුරු කුටියෙන් නික්මුණේ හදවත අධි පීඩන කලාපයකට ඉඩ හරිමිනි.

 ඔහු ගේ බිරිඳ වූ රංගන ශිල්පිනී සපූ ගේ වීඩියෝව අද දවසේ ම සමාජ මාධ්‍ය වල කටගැස්ම වී තිබේ. ඒ වීඩියෝව සමගින් දෙව්රම් සන්දනායක ගේ නම ද විවිධාකාරයෙන් ඈඳී තිබෙනු ආදියා දුටුවා ය. සමහර ප්‍රේක්ෂකයන් ඒවායෙහි අදහස් දක්වා තිබෙනුයේ ද්වේශ සහගතව ය. ඉතාමත් අසංවර වදන් භාවිතා කොට සපූ ට සේ ම දෙව්රම් ට ද අපහාස කරමිනි. බුදුන්ටත් නින්දා අපහාස විඳින්නට සිදු වූ, ජේසුටත් කුරුසියක් මත ඇණ ගසා මියෙන්නට සැලැස්වූ ලෝකයක දෙව්රම් ට එහෙම දේවල් නොවුණා නම් පුදුම ය. ඇතැම් විට ඔහු ඔය අපවාද දෙස ඇසක් ඇර බලන්නේ නැතිවා විය හැක. නමුත් ආදියා ගේ හිත රිදේ. කොහොමටත් ලංකාවේ ගැහැනුන් ඔහු ට වසඟ වන තරමට ලාංකික පිරිමි ඔහු ට ඊර්ෂ්‍යා කරති. එහෙම සිනහවක්, එහෙම බැල්මක්, එහෙම ගමනක්, එහෙම පෙනුමක්, එහෙම වෑහෙන පිරිමි පෞරුෂයක් ලබන්නට හිමිකම් නො ලැබූ සෙසු පිරිමින්ට ඔහු ඊර්ෂ්‍යාවට හේතුවක් වෙත්දී ආදියා සතුටු වූවා ය. නමුත් අද දැනෙනා මේ දුක ඔහු වේනාවෙන් යයි දැනීම නිසා ය. අත්සන අවසානයේ නිර්ලෝභීව දෙන සිනහව අද නැත්තේ එනිසා විය යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here