Oats milk

අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඕට්ස් මිල්ක් ගැන.

ඕට්ස් මිල්ක් කියන්නෙ මොනවද කියල ඔබ දන්නවද? ඕට්ස් මිල්ක් ගැන ඔබ කලින් අහල තියෙනවද?

උත්තරේ ඔව් වුනත් නෑ වුනත් අද අපි ඒ ගැන ඔබට පැහැදිලි කරල දෙන්න වගේම හරිම ලේසියෙන් ගෙදරදීම ඕට්ස් මිල්ක් හදාගන්නෙ කොහොමද කියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.

උදෑසනට කිරි බොන පුරුද්ද අපි ගොඩක් දෙනෙක් අතරේ විශේෂයෙන්ම අපේ පොඩ්ඩො අතරෙ තියනවනේ.

ඒත් අද වෙද්දි පිටි කල කිරි වල ගුණාත්මකභාවය ගැන වගේම දියර කිරි වල ප්‍රමිතිය ගැන සමාජයේ විවිධ අදහස් පළවෙමින් තියෙනව කියල ඔබ දන්නව. 

ඒ අතර අපි අතරින් සමහර දෙනෙක්ට කිරි බොන්න බැරි ආසාත්මිකතා ගැටළුත් හඳුනාගන්න ලැබෙනව.

ඉතිං ඕට්ස් මිල්ක් කියන්නෙ මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට භාවිතා කරන්න පුළුවන් හොඳ ආදේශකයක්.

ආමන්ඩ්, සෝයා සහ එලකිරි වලට වඩා වැඩි කැලරි, කාබ්ස් සහ ෆයිබර් ප්‍රතිශතයක් ඕට්ස් කිරි වල අඩංගු වුනත් ඒවාගේ අන්තර්ගත ප්‍රෝටීන් ප්‍රමාණය නම් සෝයා සහ කිරි වලට වඩා අඩු බවයි පෝෂණවේදීන් සඳහන් කරන්නෙ.

රුධිරයේ නරක (LDL) කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න, අස්ථි වල නීරෝගීබව පවත්වා ගන්න වගේම ශරීරයේ අනවශ්‍ය බර පාලනය කරන්නත් ඕට්ස් මිල්ක් වලින් ලැබෙන්නෙ හොඳ සහයෝගයක්.

ඒ වගේම ඕට්ස් මිල්ක් වල සැලකිය යුතු විටමින් B ප්‍රතිශතයකුත් අඩංගු වෙනවා.

මේ හැමදේමත් එක්ක ඕට්ස් මිල්ක් ගැන ඔබ සැළකිලිමත් විය යුතුම කාරණා කීපයක් තියෙනව.

ඔබ ඕට්ස් මිල්ක් හදන්න යොදාගන්නෙ රසකළ ඕට්ස් නම් එහි අඩංගු සීනි නිසා ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.

ඒ වගේම බොහොමයක් ඕට්ස් වර්ග ග්ලූටන් වලින් තොරබව සහතික නොකරන නිසා සමහර විට ඔබට ආසාත්මිකතා ඇතිවීමේ අවදානමකුත් තියෙනව.

ඒ නිසා ඕට්ස් මිල්ක් හදන්න ඕට්ස් තෝරගද්දි ඔබ වඩා සැළකිලිමත් විය යුතු බව අපි ඔබට ආදරෙන් මතක් කරනවා.

එහෙනම් අපි දැන් බලමු අපි කොහොමද ඕට්ස් මිල්ක් හදාගන්නෙ කියල.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි ඕට්ස් කෝප්ප ½ ක් 

සීතල වතුර කෝප්ප 03 ක්

ලුණු බිඳක් 

ඔබ කැමති නම් මේපල් සිරප්, මී පැණි හෝ වැනිලා තේ හැන්ඳක් එකතු කරගන්නත් පුළුවන්.

පෙරණයක් සහ පිරිසිදු වියළි කපු රෙදි කැබැල්ලක්

සාදාගන්නා ආකාරය

මුලින්ම, බ්ලෙන්ඩරයේ කෝප්පයට ඕට්ස්, වතුර ලුණු සහ ඔබ කැමති නම් මී පැණි, මේපල් සිරප් හෝ වැනිලා එකතු කර ගන්න.

ඊළඟට, බ්ලෙන්ඩරයේ සාමාන්‍ය වේගයෙන් මෘදු කිරි ස්වභාවයේ මිශ්‍රණයක් ලැබෙන තෙක් තත්පර 20 – 30 ක් පමණ බ්ලෙන්ඩර් කරගන්න.

තත්පර 30 කට වඩා බ්ලෙන්ඩර් කිරීමෙන් වළකින්න ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

දැන් කපු රෙදි කැබැල්ල එලාගත් පෙරණය ආධාරයෙන් ඕට්ස් මිල්ක් පෙරා මිරිකා පිරිසිදු භාජනයකට දමා ශීතකරණයේ තබා දින 04 ක් පමණ භාවිතා කරන්න ඔබට පුළුවන්. 

පානය කරන වෙලාවට බෝතලය සොලවන්න අමතක කරන්න එපා.

එහෙනම් අපි කලින් කීවදේවල් දැනගෙනම ඕට්ස් මිල්ක් බොන්න අමතක කරන්න එපා.

මේ වගේම තවත් වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles