වීර යුධ කාව්‍ය ගැන ඕනෑ තරම් චිත්‍රපට, කතන්දර ඔබත් නරඹලා ඇති. ඒත් අමරන් එහෙම නැත්නම් අමරණීය විරුවා කියන්නේ ඔබ මඟ නොහැර ගත යුතු චිත්‍රපටයක්. සත්‍ය කතන්දර ඇසුරෙන් නිර්මාණය වුන කතන්දර වල තියෙන්න ඕනි තාත්වික බව පොඩ්ඩක්වත් අඩු නොවී ඔබට අමරන් තුළින් විඳින්න පුලුවන්.
ඒ වගේම ආදරයේ විවිධාකාර මුහුණුවරයනුත් අමරන් ඇතුලෙන් ඔබට කියවාගන්න පුළුවන්.
අමරන් චිත්‍රපටය දිගහැරෙන්නේ මුකුන්ද් වර්ධරාජ් කියන යුධ හමුදා සෙබලා සහ ඔහුගේ පෙම්වතිය විදියට ඉන්න රෙබෙකා වර්ගීස් කියන තරුණිය වටා. මුකුන්ද් හමුදාවට ඇතුල් වෙන්න තියෙන්නේ පුදුමාකාර ආසාවක්. ඒ ආසාව දරන තරුණයාට වගේම ඒ ආසාවටත් පිස්සුවෙන් ආදරණය කරන තරුණිය තමා ඉන්දු. මලයාලම් ක්‍රිස්තියානි කෙල්ලෙක් එක්ක ටැමිල් කොල්ලෙක් ආදරේ කරන එක එතරම්ම කතන්දරයක් නෙවෙයි වගේ පෙනුනාට, අක්කලා දෙන්නෙක්ට මැදි වෙලා හමුදා පිස්සුවක් එක්ක ඉන්න අම්මාටත් පණ වගේ ආදරේ කොල්ලෙකුයි, අයියලා දෙන්නෙක්ට මැදි වෙලා හමුදා කොල්ලෙක්ගේ හීනයට ආදරේ කරන හිතුවක්කාර කෙල්ලෙජුයි අතරේ ලෝකයක් කතා කරන කතන්දරයක් ගෙතෙන්නෙ පුලුවන් බව අමරන් අපිට කියනවා.
ආදරේ කරනකොට අපි ජීවිතේ පුදුම තරමේ කැපකිරීම් කරනවා. ඒ කැප කිරීම් වල අවසානයේ අපට ලැබෙන දේවල් ගැන හරි විශ්වාසයක් නැතිව වුනත් අපි කැපකිරීම් තෝරාගන්නවා. ඒ ආදරේ පෙම්වතියක්, අම්මා කෙනෙක් හෝ දියණියක් විදියට වෙන්න පුලුවන්. එහෙම නැත්නම් පෙම්වතෙක්, තාත්තා කෙනෙක් හෝ පුතෙක් විදියට වෙන්නත් පුලුවන්. අමරන් ඇතුලේ මේ හැම ආදර කැපකිරීමක්ම තියෙනවා.
මුකුන්ද්ට ආදරේ කරන්න පටන් ගන්නකොට ඉන්දු වර්ගීස් ඒ කැපකිරීම පටන් ගන්නවා. මුකුන්ද් යුධ හමුදාවට එකතු වුනාට පස්සේ, ඉන්දු වර්ගීස් හිතුවක්කාර විදියට මුකුන්ද්ගේ නිවසේ ජීවත් වෙන්න තීරණය කරන්නේ ඒ ආදරේ වෙනුවෙන් කරන්න නොහැකි කැපකිරීමක් තමන්ට නොමැති බව පෙන්නලා. මුලු ගෙදරම තමන්ට එරෙහි වෙද්දී ඉන්දු වර්ගීස් තෝරගන්නවා මුකුන්ද් වෙනුවෙන් නිහඬ කැපකිරීම කරන්න. මුකුන්ද් පවා ඇයව මඟ හැරලා නිහඬ වෙනකොටත් ඇය සූදානම් වෙනවා ඇගේ ආදරය වෙනුවෙන් වග වෙන්න. ඇස් දෙකට පේන මානයට ලං වීමත් අවිනිශ්චිත වෙද්දී පවා ඉන්දු තමන්ගේ ආදරය විශ්වාස කරනවා. සමස්ත ඉන්දියානුවන් වෙනුවෙන් මුකුන්ද්ගේ වගකීම තේරුම් අරගෙන හැම වතාවකම අඬ අඬා මුකුන්දට සමුදෙනවා. ඒ හැම වෙලාවකම ඉන්දුට තියෙනවා ආයෙම මුකුන්ද් මුණ ගැහේවි කියන බලාපොරොත්තුව.
ඒත්, මුකුන්ද් යන්නම යන දවසේ ඉන්දු තමන්ගේ කඳුලු නවත්තගන්නවා. මුකුන්ද් වෙනුවෙන් වුන පොරොන්දුවත් ආදරේ වෙනුවෙන් රකිනවා.
” මගේ ගෑණි වෙන මිනිස්සු ඉස්සරහ අඬනවාට මම කැමති නෑ…”
මුකුන්ද් එහෙම කියපු වචනේ වෙනුවෙන් ඇය ඇයව පාලනය කරගන්නවා.
” හැම සම්බන්ධයකම දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනාට වඩා ආදරය කරනවා.. ඒ කෙනාට තමා වේදනාව වැඩිපුරම දැනෙන්නෙත්.. ඒ වගේම ඒ කෙනාම තමා ඒ සම්බන්ධය රැකගන්න සටන් කරන්නෙත්.. ඔයා ඔයාගේ දේවල් කරගන්න මම එතකම් බලන් ඉන්නම්…………. “
මුකුන්ද් ඉතාම දැඩි හඬින් ඉන්දුට බැණ වදින වෙලාවක එහෙම කියලාත් ඉන්දු තමන් දෙදෙනාම දරා ගත්ත ආදරේ වෙනුවෙන් තමන්ව පාලනය කරගන්නවා.
ඉස් ඉස්සේල්ලාම මුකුන්ද් හමුදාවට යන්න පවුලේ අයගෙන් වෙන් වෙන් වෙන වෙලාවෙත් අපූරු හැඟීම් හුවමාරුවන් වෙනවා. දුම් රිය ළඟට එන ඉන්දු මුකුන්දෙන් යමක් ඉල්ලනවා.
” මම දන්නවා මේක හරි පොඩි දෙයක් කියලා.. ඒත් ඔයාට පුලුවන්ද ඒක ඉටු කරලා දෙන්න ?.. මම මගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් ගෙනාවා. ඔයා ඒක ඔයාගේ පර්ස් එකේ තියාගන්නවාද ?…”
ඒක හරිම බොළඳ ඉල්ලීමක් වගේ පෙනුනත් මුකුන්ද් හරිම ආදරණීය විදියට ඒ පොරොන්දුව රකිනවා.
මුකුන්ද් ඉන්දුට නොකියා නිවාඩුවට ගෙදර ආව දවසේ ඔවුන් දෙදෙනාගේ වැළඳගැනීම ඇතුලේ තියෙන්නේත් දුරින් ඉඳන් ආදරේ වෙනුවෙන් කැපවෙන හැම ප්‍රේමවන්තියෙකුගේම, ප්‍රේමවන්තියකගේම හැඟීම.
මුකුන්ද් ඉන්දු ආදර කතාව වගේම මුකුන්ද්ගේ අම්මා මුකුන්ද් වෙනුවෙන් දක්වන සෙනෙහස ගැනත් කතා නොකරම බැහැ. විවාහ වෙන්නත් කලින්ම ඇය ඉන්දුට ඇගේ නිවසේ ඉඩ දෙන්නේ මුකුන්ද් වෙනුවෙන්. ඒ වගේම මුකුන්ද් හමුදාවට යන එක නවත්තන්න ඇය උත්සාහ කරන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව ඇස් මානෙන් පිටට යවන්න කොච්චර අකමැතිද කියන එක පෙන්නලා.
” අවුරුදු විසි ගානක් ඇස් මානේ තියාගෙන හැදුවේ, මෙහෙම ඈත් වෙලා ඉඳන් අවුරුද්දකට සැරයක් විතරක් මූණ බලන්න්ද ?..”
අම්මා හැම වතාවකම එහෙම අහනකොට,චිත්‍රපටය බලන හැමෝම මොහොතකට තම තමන්ගේ මහ ගෙවල් වල මතක එක්ක අතරමං වෙනවා ඇති. ඒ ගැන සැකයක් නැහැ.
ඒ වගේම මුකුන්ද් ඔහුගේ දියණියට අච්චමිලයි ගීතය කියලා දුන්නට පස්සේ, ආයෙම දුව ඒ සින්දුව මුකුන්ද්ට කියලා, බට පිරිසේ ඔක්කොමලා එකතු වෙලා ඒ ගීතය කිව්වටත් පස්සේ, එතන ඉන්න සෙබෙළෙක් ගේ වචන වලින් තේරෙනවා ඔහු ජීවිතය ගැන තව සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් බව. ඒත් ජීවිතය කොයි තරම් නම් අවිනිශ්චිතද පෙන්නලා ඔහු ඒ සටන් වාරයේදීම මිය යනවා.
කොහොමින් කොහොම හරි නත්තල් මාසේට බලන්න චිත්‍රපට හොයනවා නම්, අමරන් ඒ සඳහා අනිවාර්යයෙන් එකතු කරගන්න ඕනි බවත් අපි මතක් කරනවා.
| අපේක්ෂා ගුණරත්න|