ලේසියෙන්ම හදන Carrot doughnuts 

Smart lady අපි අද සූදානම් වෙන්නෙ තේ බොන වෙලාවට පවුලෙ හැමෝටම එකතු වෙලා රසවිඳින්න පුළුවන් තවත් රසවත් කෙටි කෑමක් ගැන ඔබට කියන්නයි.

ඩෝනට්ස් කියන්නෙ ලොකු පොඩි වෙනසක් නැතුව අපි හැමෝම හරි ආසාවෙන් රසවිඳින කෑමක්නෙ.

අපිට හුරුපුරුදු ඩෝනට්ස් කැරට් රසට හදාගන්නයි ඔන්න අපි අද සූදානම් වෙන්නෙ.

එහෙනම් අපි මුලින්ම අපිට අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට ගාගත් / ග්‍රේට් කරගත් කැරට් ලොකු අලයක් 

පාන් පිටි කෝප්ප 02 ක්

සුදු සීනි කෝප්ප ¼ ක් 

ලුණු කුඩු මේස හැඳි ½ ක්

ඊස්ට් මේස හැඳි 01 ක් 

බටර් මේස හැඳි 02 ක් 

බිත්තර 01 ක් 

උණුසුම් කිරි කෝප්ප ½ ක් 

වැනිලා රසකාරක මේස හැඳි ½ ක්

තෙල්

එහෙනම් අපි බලමු කොහොමද මේ කැරට් ඩෝනට්ස් හදාගන්නෙ කියල.

සාදාගන්නා ආකාරය

මුලින්ම පෙනේරයක් භාවිතයෙන් පිටි ටික තුන්වරක් පමණ හලාගෙන තරමක් විශාල භාජනයකට දමා ගන්න. 

එයටම ඊස්ට් සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගෙන පිටි මිශ්‍රණය පසෙකින් තබාගන්න.

දැන් තරමක් කුඩා භාජනයක් ගෙන එයට බිත්තර ගෙඩිය කඩා දමා වැනිලා සහ උණුසුම් කිරි එකතු කර හොඳින් කලවම් කරගන්න.

පසෙකින් තැබූ පිටි මිශ්‍රණයට බටර් එකතු කර හොඳින් කලවම් කරගන්න.

ඊළඟට, පිටි මිශ්‍රණයට සීනි සහ ගාගත් කැරට් ද එකතු කර නැවත හොඳින් මිශ්‍රකර ගන්න.

දැන්, මේ පාන් පාන් පිටි මිශ්‍රණයට කලින් සූදානම් කරගත් බිත්තර මිශ්‍රණය එකතු කර ටික වෙලාවක් හොඳින් කලවම් කරගන්න.

ඉන්පසු පැතලි මතුපිටක් මතට පිටි ටිකක් ඉස පිටි මිශ්‍රණය එයට දමා විනාඩි 10 ක් පමණ අත් ගසමින් අතේ නොඇලෙන පිටි ගුලියක් සාදාගන්න.

භාජනයේ අඩියේ තෙල් ස්වල්පයක් ආලේප කර සාදාගත් පිටි ගුලිය එයට දමා පිටි ගුලිය වටෙත් තෙල් ස්වල්පයක් ආලේප කර පොලිතීන් ආවරණයකින් භාජනයේ හොඳින් වසා පැයක් පමණ තබාගන්න.

පැයකට පසු මිට මෙලවූ අතිලෙන් පිටි ගුලිය තදකරගෙන එහි ඇති වාතය ඉවත් කරගන්න.

දැන් පිටි ගුලිය පිටි ඉසගත් පැතලි මතුපිටක් මතට දමා උඩින් පිටි ටිකක් ඉස පිටි තවරාගත් රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරගන්න.

වරින් වර පිටි ඉසමින් ඔබට කැමති ඝනකමක් ලැබෙනකම් පිටි මෝලිය තුනීකරගන්න පුළුවන්. 

ඊළඟට ඩෝනට් කටර් එකක් හෝ බෝතල් පියනක් ආධාරයෙන් රවුම් කපාගන්න ඔබට පුළුවන්.

මැද රවුමත් කුඩා බෝතල් මූඩියක් ආධාරයෙන් කපා ඉවත් කරගන්න.

දැන් කපාගත් ඩෝනට්ස් පිටි තැවරූ තැටියකට දමා පොලිතීන් එකකින් ආවරණය කර නැවත විනාඩි 10 ක් පමණ තබාගන්න.

දැන් තාච්චියක් මඳ ගින්නේ ලිප තබා එයට ගැඹුරු තෙලේ බැඳීමට තරම් ප්‍රමාණවත් තෙල් එකතු කර තෙල් රත්වූ විට සාදාගත් ඩෝනට්ස් ටික තාච්චියට දමා රන්වන් පාට වනතුරු හැන්ඳෙන් දෙපැත්ත හරවමින් බැදගන්න.

උණුසුම් ඩෝනට්ස් මත සීනි හෝ චොකලට් තැවරුමක් ගාගෙන එහෙමත් නැත්නම් ඔබ කැමති රසයකින් සාදාගත් ඩෝනට් පිරවුමක් පුරවා රසවිඳින්නත් දැන් ඔබට පුළුවන්.

එහෙනම්, හදල බලමු නේද කැරට් ඩෝනට්ස්?

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles