අල වලින් නූඩ්ලස් හදමු

කහ චුට්ටක් දාල තම්බපු කූරු කූරු නූඩ්ලස් වලට කැරට් ලීක්ස් ටිකක් තෙම්පරාදු කරල එකතු කරල ඉස්සර අපේ අම්ම හදල දෙන නූඩ්ලස් වල රස මට තාම මතකයි.

අඩුපාඩුවට තම්බපු බිත්තර හොද්දකුත් තිබ්බ.

අපි ගොඩක් දෙනෙක් පුංචි කාලෙ අපේ ගෙවල් වල නූඩ්ලස් හැදුනෙ මේ විදිහට වුනත් අද වෙද්දි විවිධ රටවල් වල ආභාෂය එකතු වෙලා විවිධ රසට විවිධ ස්වරූපයේ නූඩ්ලස් පිළියෙල වෙනව ඔබ දැකල ඇති. 

ඔන්න smart lady අපිත් අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ ටිකක් වෙනස් රසයට හරිම ඉක්මණින් හදාගන්න පුළුවන් නූඩ්ලස් වර්ගයක් ගැනයි.

අද අපි අල වලින් නූඩ්ලස් හදමු.

එහෙනම් එන්නකෝ අපි මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

අල ගෙඩි 02 ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

කෝන් පිටි 200g ක් 

උණුසුම් ජලය 50 ml ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

කුඩාවට කපාගත් සුදුළූණු තේ හැඳි 01 ක් 

විනාකිරි තේ හැඳි 01 ක්

සෝයා සෝස් තේ හැඳි 01 ක් 

මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

කුඩාවට කපාගත් රතුලූණු ගෙඩි 03 ක් 04 ක් 

තෙල් මේස හැඳි 02 ක් 

දැන් අපි බලමු මේ දේවල් එකතු කරල රසම රස නූඩ්ලස් එකක් හදාගන්නෙ කොහොමද කියල?

සාදාගන්නා ආකාරය

මුලින්ම අල ටික හොඳින් තම්බගෙන පොතු ඉවත් කරල කෑලි නොසිටින විදිහට හොඳින් පොඩිකර ගන්න ඕන.

පොඩිකරගත්තු අල ටික තරමක් විශාල භාජනයකට දාගෙන අල වලට ලුණු කුඩු සහ කෝන් පිටි එකතු කරල හොඳින් කලවම් කරගන්නයි ඊළඟට තියන්නෙ.

දැන් මේ අල මිශ්‍රණයට උණුසුම් ජලය එකතු කරල නැවත හොඳින් කලවම් කරගෙන අල මිශ්‍රණය භාජනයෙන් ඉවතට අරන් පිරිසිදු පැතලි මතුපිටක් උඩ තියාගන්න ඕන.

ඊළඟට අල මිශ්‍රණය පැතලි මතුපිට මත උඩට පහළට රෝල් කරමින් රෝලක් හැඩයට සකසා ගන්න තමයි තියන්නෙ.

දැන්, මේ විදිහට හදාගත්තු අල රෝල අඟලක පමණ පෙති වලට කපාගෙන කොටස් වලට වෙන් කරගන්න.

මේ අතරතුර වතුර භාජනයක් ලිපේ තියල රත් කරගන්න පටන් ගන්න පුළුවන්.

දැන් අපි සූදානම් කරගත්ත ඝනකම් අල පෙති මහතට දිහට රෝල් කරල නූඩ්ලස් හදාගන්නයි ඕන.

සාමාන්‍ය නූඩ්ලස් වගේ හීනි කරන්නෙ නැතුව තරමක් මහතට මේ නූඩ්ලස් හදාගන්න ඔබ සැළකිලිමත් වෙන්න ඕන.

දැන් මේ හදාගත්‍ත නූඩ්ලස් අපි රත්වෙන්න තියාගත්ත වතුර භාජනයට දාල නූඩ්ලස් වතුර උඩ පාවෙනකන් නටන වතුරෙ විනාඩි 02 ක් විතර තම්බගන්න ඕන.

තම්බගත්ත නූඩ්ලස් වතුරෙන් ඉවත් කරල වතුර හොඳින් බේරගෙන පිඟානකට දා ගන්න ඕන.

ඒ පිඟානටම කුඩාවට කපාගත්ත ලූණු, සුදුළූණු, ඔබ කැමති නම් කුඩාවට කපාගත්ත ලූණු ගහක්, විනාකිරි, සෝයා සෝස් එකතු කරගන්න ඕන.

මේ අතරතුර තෙල් ටික රත්වෙන්න ලිපේ තියල තෙල් රත්වීගෙන එද්දි අර නූඩ්ලස් තියෙන භාජනයටම එකතු කරල හොඳින් කලවම් කරගෙන පිළිඟන්වන්නයි තියන්නෙ.

එහෙනම් මේ විදිහට නූඩ්ලස් හදල බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles