මල්සර හී සර – 9

0
3766

“මට නම් හිතෙන්නෙම සමුද්‍ර ඔය කිව්වෙ සප්තමී ගැන තමයි” කියලා මාලවී කාටවත් ඇහෙන්නෙ නැති විදියට වසන්තගෙ කණට කරල කිව්වේ කෲ එකේ අනිත් හැමෝම වගේ රෙස්ට් කර කර ඉද්දි. මාලවී වසන්ත එක්ක කතා කරනවා ඕනවට වැඩි කියලා වතාවක් දෙකක් කියන්න හැදුවත් මාලවී මේ ගමන යන්න බලෙන්ම වගේ කඩන් බිඳන් තමන් එක්කල ආවෙ එහෙම හරි කරලා ටෙලි නාට්ටියක රඟපාන්න චාන්ස් එකක් හොයාගන්න කියන එක සප්තමීට තේරුම්න්ගන්න බැරිකමක් නෑ. ඔහොම කතාකරන්න යන එකෙන් මාලවීට නිකන් කතාවක් හැදෙන්න පුලුවන් කියල හිතුවත් තමන් ඒ විත්තිය කිව්වත් මාලවී නම් කීයටවත් ඒක නතර කරන්නෙ නැති බවත් සප්තමි දන්නවා. තමන් ඔය විත්තිය කිව්වොත් අනිවාර්‍යෙන්ම මාලවීගෙ කටෙන් “කතාවක් හදාගෙන හරි කමක් නෑ මට නිලියෙක් වෙන්න පුලුවන් නම්” කියන එක පිටවෙන විත්තිය සප්තමී හොඳාකාරවම දන්නවා.

“මටත් එකපාර හිතාගන්න බැරිඋනා ඒ යකා අර කෙල්ලව මූණ ඉස්සරහ තියාගෙන ඒ වගේ කතාව්ක කිව්වෙ ඇයි කියන එක?” කියන අතරෙත් වසන්තගෙ මූණෙ ඇඳිල තිබුනෙ ඒ ගැනම කල්පනා කරන පාටක් විත්තිය මාලවී හොඳටම දැක්කා.

“කල්පනා කර කර ඉන්නේ, ඒ මනුස්සයා ලිව්ව ස්ක්‍රිප්ට් එකකට ටෙලි ඩ්‍රාමා එකක් කරන එකේ මොකෝ සර් එයාව අඳුරන්නෙ නැතිවෙන්න විදියක් නෑනෙ. අහලා බැලුවනම් ඉවරනෙ”

“අහල බලන්න තිබ්බා මනුස්සයෙක්ට කතා කරල දෙයක් තේරුම්ගන්න පුලුවන් විදියෙ මනුස්සයෙක් උනා නම්. සමුද්‍රය මහ අමුතු එකෙක්. මං ඇත්තටම ඌ එක්ක එහෙම ලොකුවට වැඩ කරන්න කැමති උනෙත් නෑ. ඒ උනාට මිනිහගෙ ස්ක්‍රිප්ට් එක හොඳ හන්දයි මිනිහම ඒකට වියදම් කරනවා කිව්ව හන්දයි තමයි මම වැඩේට කැමති උනේ. ඔය වගේ කතාවක් අහන්න ගිහින් බුදු අම්මේ මිනිහ මට මොන ජාතියේ වචන කියලා බණීවිද දන්නෙ නෑ”

“මිනිහා එහෙම කිව්වට සප්තමී එහෙම ලේසියෙන් මනුස්සයෙක්ගෙන් කතාවක් අහන කෙනෙක් නොවෙන හන්දා මට ඇත්තටම හිතාගන්න බෑ ඒ යකා එහෙම කතාවක් කිව්වෙ ඇයි කියලා”

“ඒ සප්තමි ගැන ඔයා දන්න ටිකනෙ”

“ඉතින් නැතුව, මං තරම් වෙන කවුද ඉන්නෙ මේකේ ඒකිව දන්න? මොකෝ සමුද්‍රයද ඒකිගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙ? නෑනෙ මමනෙ. අනික ඔය සප්තමී කොහොමත් ඉස්සර ඉඳලම කොල්ලන්ව එහෙම ලොකුවට ගණන් ගන්න ඩයල් එහෙකුත් නෙවෙයිනෙ”

“ආහ් එයා එච්චර ගණන්ද? ඊට වඩා ගණන් අපි දන්නවා. අපි එයාගෙ ගණන් බස්සල අරගන්නම්කො” කියලා වසන්ත හිනාවෙද්දි මුනං මං පැණි කූඹියෙක් කියල තේරුණාට මාලවී ඉතින් ඒ විත්තියක් අඟවන්න ගියේ නෑ. මොකෝ තමන්ට මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නයි මේකෙ ගොඩයන්නයි ප්ලෑන් එකක් ගහන්න පුලුව්න මේ යකා එක්කම ඉන්නකං විතරයි කියන එක මාලවී මේ වෙද්දිත් හොඳාකාරවම දැනගෙන තමයි හිටියෙ.

ආණමඩුවෙ පරමාකන්දෙ ශූට් එක ගිය දවස් ටිකේම ඉතින් සප්තමීටවත් මාලවීටවත් ගෙදර නම් එන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. කවදාවත් මේ වගේ මීට කලින් ගෙදරින් පිට ඉඳලා නැති හන්දා සප්තමීගෙ ගෙදර අය නම් නිතර දෙවෙලේ කෝල් කරලා එහෙම විස්තර ඇහුවත් මාලවී උන්නු හන්ද ලොකු ප්‍රශ්නයක් සප්තමීට තිබ්බෙ නැති තරම්.හැබැයි සමුද්‍ර නම් උන්නේ හැමතිස්සෙම වගේ සප්තමීට මොනා හරි කියන්න බලාගෙන.

“සමහරු නම් ඉතින් කරන්නෙ ඇත්ත ජිවීතෙත් රඟපාන එකනෙ” කියන ගමන් සප්තමී දිහාවට මහ කිණ්ඩි හිනා දාද්දි සමුද්‍ර නිතරම සප්තමීට මොනා හරි කියන කට හදාගන්නෙ සප්තමි මලින්ද එක්කල කතා බස් කරන වෙලාවට කියල සුමල්ට තේරුණත් එහෙම කරන්න තියෙන හේතුව මොකද්ද කියන එක ඇත්තටම සුමල්ට හිතාගන්න පුලුවන් උනේ නෑ. 

“උඹ ඇයි හැමතිස්සෙම අර කෙල්ලට එක එක ඒවා කියන්නේ?” කියලා රෑ කෑම කන අතරවාරෙ අනිත් අයට එහයින් තියෙන පුටු දෙකක වාඩිවෙලා ඉන්න ගමන් සුමල් සමුද්‍රගෙන් ඇහැව්වෙ ආන් ඒ හන්දා. 

“මොන කෙල්ලද?”

“සප්තමී”

“මං මොනවද ඒකිට කිව්ව එක එක ඒවා?”

“අනේ උඹ බබා, ඇයි බං උඹ කී පාරක් ඒකි ඉන්න තැන දැන් කාලෙ ඉන්න නිලියො ඇත්ත ජීවිතෙත් රඟපානවා අරකයි මේකයි කියලා කියන්නෙ. මං දැන් දවස් ගාණක් බලාගෙන. මං මෙච්චර කාලයක් දැනගෙන හිටිය සමුද්‍ර කියන්නෙ නම් එහෙම මිනිස්සුන්ට හින්ට් පාස් කරන ඩයල් එකක් නෙවෙයිනෙ. එහෙම එකේ උඹ මොකද මේ එකපාරටම මේ කෙල්ලට මෙහෙම කතන්දර කියන්නෙ? අනික ඒකිව උඹමනෙ සිලෙක්ට් කරගත්තෙ. උඹ මුල් දවස්වල ඒකි ගැන මාර ඉහලින් නෙ කතා කරේ. එහෙම එකේ මොකද්ද මේ එකපාර වෙච්ච වෙනස?”

“ඔව් මං ඒ දවස්වල දැනගෙන හිටියෙ නෑනෙ ඒකි මේ වගේ කියලා”

“මේ වගෙ කියන්නෙ?”

“මේ වගේ කියන්නෙ ඇයි දැක්කෙ නැද්ද ඒකි අර මලින්දයගෙ කරේ නැගලානෙ ඉන්නෙ හැම තිස්සෙම” කියල සමුද්‍ර මෙච්චර වෙල උන්න නිවි හැනහිලි මෝඩ් එකෙන් නිදහස් වෙලා තරහෙන් ගිරිය පුප්පන් කතාකරද්දි සුමල් ඔක්කොටම වඩා බයවුනේ සෙට් එකේ අනිත් මිනිස්සුන්ට මේ සමුද්‍රගෙ සද්දෙ ඒ මිනිස්සුන්ටත් ඇහේවි කියලා.

“පිස්සුද යකෝ බෙරිහන් දෙන්නෙ? මේ අනිත් උනුත් බලාවි අපි දෙන්න මෙතන මේ ගෑණියි මිනිහයි වගේ කෑගහගන්නෙ මොකද කියල? ඒකි මලින්ද එක්ක කතා කරා කියලා උඹට ඔච්චර යකා නගින්නෙ මොකද? අනික මට නම් එහෙම ඒකි මලින්දයගෙ කරේ නගිනව කියල කවදාවත් හිතිලා නෑ. මන් දන්නෙ නෑ ඇයි උඹට එහෙම දෙයක් හිතුනෙ කියලා”

“හිතුනෙ නෙවෙයි. හිතන්න දෙයක් නෑ. ඇස් දෙකට දැක්කම තේරෙනවනෙ ඉතින් මොකාටද එන්න හදන්නෙ කියන එක.මලින්දය හොඳ බර අත්තක් කියල දන්න හන්දා වෙන්නැති ඇම දාගන්න හදන්නෙ”

“මොකද්ද මේ එකපාර වෙලා තියෙන්නෙ? මීට කලින් උඹ ඔහොම කවදාවත් කතා කරේ නෑනෙ. දැන් නිකන් හරියට කතාකරන්නෙ අර ගමක ඉන්න ඕපදුප හොයන ඇන්ටි කෙනෙක් වගේනේ. පිස්සුද බං? අනික ඉතින් ඒ කෙල්ල මලින්දය එක්ක මොනව කරගත්තත් අපිට මොකද? මලින්දට වෙන ඒව ගැන උඹ දුක්වෙන්නෙ මොකෝ ඌ උඹේ ළමයෙක්ද?” කියල සුමල් ආයෙ අහද්දි සමුද්‍ර ඒකට නම් උත්තර දෙන්න ගියේ නෑ. දෙන්න ගියේ නැත්තෙ වෙන හේතුවක් හන්දා නෙවෙයි දෙන්න ඉතින් උත්තරයක් නැති හන්දා. මොකක් කියල කියන්නද? අනික සුමල් එක්ක උනත් ඔහොම දෙයක් කිව්වට සුමල් සප්තමී ජරා කෙල්ලෙක් කියල හිතනවට තමන් කැමති නැති විත්තිය දන්නෙ තමන්ගෙ හිත විතරක් වෙච්ච එකේ මොකක් කියන්නද කියල හිතාගන්න බැරි හන්දම තමයි සමුද්‍ර හිතුවෙ “මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා” කියලා. 

සමුද්‍ර ඉන්නෙ තමන් එක්ක මොකක් හරි අමනාපෙකින් කියල දන්න හන්දම සප්තමී හිටියෙත් සමුද්‍රව නිකන් ගණන් ගන්නෙ නැති සීන් එකක. සමුද්‍ර තමන් දිහා බලාගෙන ඉන්න වෙලාවල කට එහෙක් මෙහෙක් කරලා සමුද්‍ර නියවල ඔරවල සප්තමී අහක බලාගනිද්දි සමුද්‍ර හිතෙන් නම් “දෙන්න හිතෙන්නෙ හොම්බ ගැලවෙන්න” කියල කිව්වට ඇත්තටම එහෙම කරන්න පුලුවන්කමක් නැති හන්දා සද්ද නැතුව තමන්ගෙ මුක්කං ෆේස් එක දාගෙන තමයි හිටියෙ.

ඒ විදියට තමයි ආණමඩුවෙ කරන්න තිබ්බ ශොට්ස් වල සෙට් එකක ඉවර වෙලා සතියකට එකහමාරකට විතර පස්සෙ කට්ටියම ඊලඟට කොළඹ වත්තක් අස්සෙ කරන්න තිබ්බෙ කොටස් ටික ශූට් කරන්න බලාගෙන කොළඹ එන්න පිටත් උනේ.

ඒ වත්තෙ කරන කොටස්වලට ලොකුවටම සප්තමීට කරන්න දෙයක් තාම තිබ්බෙ නැති හන්දා සප්තමීට ඒ කොටස් ටික ශූට් කරනකම් නිස්කාංසුවෙ ඉන්න පුලුවන් විත්තිය කියන ගමන් වසන්ත කට්ටියට ගෙවල්වලට යන්න ඇරේන්ජ් කරල තිබ්බ බස් එකට පිටත් කරලා තමනුත් යන්න තමයි ලෑස්ති උනේ.

කොළඹ යන්න ඔක්කොම ලැස්ති කරගෙන ඉද්දි තමයි කොළඹ ශූට් කරන්න ඉන්නෙ වත්තෙ කෑලි ටිකේ වත්තෙ ගෑණියෙක්ට රඟපාන්න උන්න නිළියට හදිසියෙම එයා කර කර හිටපු චිත්‍රපටයක වැඩවලට රටෙන් පිට යන්න වෙන හන්දා කලින් දුන්න ශූටින් ශෙඩුල් එකට දැන් කරන්න වෙන්නෙ නැති විත්තිය කියන්න වසන්තට කෝල් කරේ.

“දැන් ඉතින් කොහෙන්ද අලුත් නිළියක් හොයාගන්නෙ?” කියල වසන්ත කලබල උනාට මොකෝ වෙච්ච දේ ගැන සන්තෝස වෙච්ච මාලවී නම් උඩ පැනල වසන්ත ළඟ කොමල කරලා ඒක අරගන්න දෙපාරක් හිතුවෙ නෑ.

මාලවීලා, සප්තමීලා, අනික් නලු නිලියො එක්කල බස් එකේ නැගල කොළඹ එන අතරවාරෙත් “යාලුව එක්ක ශූටින් ඇවිල්ලා නිලියක් වෙන්න චාන්ස් එකක් මාලවීට හම්බුවෙච්ච” එක ගැන කතා කර කර විහිලු කර කර ආවට තමන්ගෙ ජීප් එකේ සුමල්වත් ඉස්සරහ දාගෙන ආපහු කොළඹ යන ගමන් උන්න සමුද්‍ර නම් උන්නෙ එච්චර සන්තෝසෙක නෙවෙයි.

හිතෙන් මොනවා කියලා බැන්නත් සප්තමීව දකින්නෙ නැතුව ඉන්න පුලුවන්ද?

ආන් ඒ ප්‍රශ්නෙ ආණමඩුවෙ ඉඳලා කොළඹ යනකම්ම සමුද්‍රට කල්පනා උනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here