වැස්සෙ සීතලත් එක්ක රසම රස කිරි කෝපි එකක් එහෙමත් නැත්නම් කිරි තේ එකක් හරි ප්ලේන්ටියක් හරි එක්ක උණුසුම්වම හැදෙන පොඩි කේක් කෑල්ලකුත් තිබ්බොත් ඒ හැන්ඳෑව කොච්චර ලස්සන සහ සුවපහසු වෙයිද කියල අපි ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
වැඩිය කළමණා ඕන නැති රසම රස කේක් එකක් ලිපේම හදාගන්න විදිහ ඔබට කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ.
ඔන්න අපි අද කේක් රෙසිපි තුනක් ඔබත් එක්ක බෙදාගන්නව. වැඩියෙන්ම කැමති රසකින් කේක් එකක් හදන් කන්න ඕනැතරම් නිදහස ඔබට තියෙනව.
මුලින්ම අපි හදමු බිත්තර ඕන නැති වැනිලා මග් කේක් එකක්.
වැනිලා මග් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප ¼ ක්
බේකින් පවුඩර් තේ හැඳි ¼ ක්
සීනි මේස හැඳි 02 ක්
වැනිලා රසකාරකය තේ හැඳි ½ ක්
දියකරගත් බටර් මේස හැඳි 02 ක්
කිරි කෝප්ප ¼ ක්
චොකලට් චිප්ස් අහුරක් (අත්‍යාවශ්‍ය නෑ)
සාදාගන්නා ආකාරය
මුලින්ම, අවශ්‍ය කළමණා සියල්ලම තරමක් ලොකු භාජනයකට දමා සීනි දියවී පිටි කැටි නොසිටින තුරු හොඳින් කළවම් කරගන්න.
කළවම් කරගත් කේක් මිශ්‍රණය වීදුරු කෝප්පයකට (මග් එකකට) දමා ඔබ කැමති නම් උඩින් තවත් චොකලට් චිප්ස් කීපයක් එකතු කරගන්න.
ඊළඟට අපි බලමු බිත්තර නැති චොකලට් මග් කේක් හදාගන්නෙ කොහොමද කියල?
චොකලට් මග් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප ¼ ක්
කොකෝ පවුඩර් මේස හැඳි 02 ක්
සීනි මේස හැඳි 02 ක්
බේකින් පවුඩර් තේ හැඳි ¼ ක්
දියකරගත් බටර් මේස හැඳි 02 ක්
කිරි කෝප්ප ¼ ක්
චොකලට් චිප්ස් අහුරක් (අත්‍යාවශ්‍යම නෑ)
සාදාගන්නා ආකාරය
කලින් වගේම, අවශ්‍ය කළමණා සියල්ලම තරමක් ලොකු භාජනයකට දමා සීනි දියවී පිටි කැටි නොසිටින තුරු හොඳින් කළවම් කරගන්න.
කළවම් කරගත් කේක් මිශ්‍රණය වීදුරු කෝප්පයකට (මග් එකකට) දමා ඔබ කැමති නම් උඩින් තවත් චොකලට් චිප්ස් කීපයක් එකතු කරගන්න.
ඊළඟට හදන්න සූදානම් වෙන්නෙ අපි කවුරුත් කැමති රෙඩ් වෙල්වට් කේක් එකක්.
ඒ සඳහා අවශ්‍ය කළමණා මොනාද කියලත් බලමුකෝ ඒනම්.
රෙඩ් වෙල්වට් මග් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප ¼ ක්
කොකෝ පවුඩර් තේ හැඳි 01 ක්
සීනි මේස හැඳි 02 ක්
බේකින් පවුඩර් තේ හැඳි ¼ ක්
රතු පාට ආහාර වර්ණක බින්දු 03 ක්
දියකරගත් බටර් මේස හැඳි 02 ක්
කිරි කෝප්ප ¼ ක්
සාදාගන්නා ආකාරය
කලින් චොකලට් සහ වැනිලා කේක් හැදුව වගේම අවශ්‍ය කළමණා සියල්ලම තරමක් ලොකු භාජනයකට දමා සීනි දියවී පිටි කැටි නොසිටින තුරු හොඳින් කළවම් කරගන්න.
කළවම් කරගත් කේක් මිශ්‍රණය වීදුරු කෝප්පයකට (මග් එකකට) දමා ගන්න.
දැන් අපි කේක් මිශ්‍රණය සූදානම් කරගෙන ඉවරයිනෙ. දැන් අපි අවන් එකක් නැතුව ලිපේ කේක් බේක් කරගන්නෙ කොහොමද කියල?
බේක් කරන විදිහ
මුලින්ම, අඩිය පැතලි භාජනයක් අරන් ඒ භාජනේ අඩියට ලුණු කුඩු තට්ටුවක් අතුරාගන්න.
ලුණු කුඩු තට්ටුව උඩින් ඇළුමිණියම් ආධාරයක් හෝ ඇලුමිණියම් කෝප්පයක් තියල ඒ ආධාරකයට උඩින් ඇළුමිණියම් පිඟානක් තබාගන්න.
දැන් මේ ඇළුමිණියම් පිඟාන උඩින් අපි කේක් මිශ්‍රණය දාල හදපු මග් එක තියල භාජනයේ කට පියනකින් හොඳින් වසාගන්න.
මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ විනාඩි 10 ක් විතර රත්කරගත්තට පස්සෙ භාජනයේ පියන විවෘත කරල ඉරට්ටක් කේක් එක ඇතුළට දාල ඉරට්ටේ කේක් මිශ්‍රණය නොඇලෙනවද බලන්න.
කේක් මිශ්‍රණය ඉරට්ටෙ ඇලෙනව නම් තව ටික වෙලාවක් ලිපේ තියාගන්න.
ඉරට්ටේ කේක් මිශ්‍රණය නොඇලෙන ගානට ආවට පස්සෙ ලිපෙන් ඉවත් කරගෙන උණුසුම්වම කේක් රස බලන්න ඔබට පුළුවන්.
එහෙනම්, මේ විදිහට කේක් හදල බලමු නේද?
ReplyForwardAdd reaction |