මල්සර හී සර – 40

0
3237

“ඒ කියන්නෙ කෙල්ල එදා හොස්පිටල් එකේදි එකපාර මං අහපු ප්‍රශ්නෙ ලඟදි නිරුත්තර වෙච්ච එක ගැන මං හිතුව දේ හරි නේද?” කියල අරවින්ද කියද්දි සමුද්‍ර කලේ අරවින්ද දිහාව කෙලින් බලන ගමන් ඔව් කියන්න ඔලුව වනන එක.

“දැන් සප්තමීට ඇයි එකපාර ඔය කේස් එකට ඔය කියන මාලවි කියන ගර්ල්ගෙ සම්බන්ධයක් ඇති කියල හිතිලා තියෙන්නෙ?”

“මෙහෙමයි මචං සප්තමී ඒක කිව්වට එයා ඒක කිව්වෙ අර නිකන් එයාට හිතිච්ච හන්ද මිසක්කා ඒක එහෙමම වෙන්නඇති කියල හිතන සීන් එකකින් නෙවෙයි. මං උඹට අර කලින් කිව්වේ වැරදි මැසේජ් එකක් වෙන කෙල්ලෙක්ට ගිහිල්ලා මම ඒකිගෙ ගෙදර ගියා කියල සීන් එකක්. මාලවී තමයි ඒ කෙල්ල. ඒ කේස් එකට මාලවී සප්තමි එක්ක තරහෙන් හිටියේ. මම මාලවී එක්ක සෙට් වෙන්න ආව එක සප්තමී මැද්දට පැනලා කඩලා බිඳලා දැම්මා කියල හිතලා”

“තරහෙන් හිටියෙ කියලා උඹ කිව්වෙ ඇයි?”

“ඒ කිව්වේ?”

“උඹ දැන් කිව්වේ ඒ කේස් එකට මාලවී සප්තමි එක්ක තරහෙන් හිටියේ කියලා. හිටිය කියලා පාස්ට් ටෙන්ස් එකෙන් කිව්වේ දැන් එහෙම දෙයක් නෑ කියන එකද?”

“ඔව්, ඇත්තටම අපිත් හිතාගෙන හිටියෙ මාලවී මමයි සප්තමියි යාලුයි කියල දැනගත්තම නරක විදියකට රියැක්ට් කරාවි කියල. ඒ උනාට ඒකි ඒක එහෙමම සීරියස්ලි අරගත්තෙ නෑ. වෙනද වගේම සප්තමී එක්ක නෝමල් එකේ කතා කර කර හිටියා. ඔය එහෙම කලින් තරහ වෙලා වගේ උන්නු වෙලාවක ඒකි කියපු දෙයක් හන්දා තමා සප්තමී මේ කේස් එක පස්සෙත් මාලවී ඉන්නවද දන්නෙ නෑ කියල සැක හිතලා තියෙන්නෙ”

“උඹ හිතන්නෙ ඔය මාලවී කියන කෙල්ල උඹ ගැන ඇත්තටම හෝප්ස් තියාගෙන හිටියනම් උඹ හිතන්නෙ ඒකි මොන විදියටද රියැක්ට් කරන්න ඕන කියලද?”

“සාමාන්‍යයෙන් ඉතින් එහෙම නම් ඕනම කෙල්ලෙක්ට තරහ ගිහිල්ලා, සප්තමී එක්ක මල පැනලා වගෙ ඉන්න ඕන නේද?”

“අන්න ඒකයි, උඹට හිතෙන්නෙ නැද්ද මෙතන සැකේ මාලවී කියන ගර්ල් දිහාවට ආයෙ ආයෙ හැරෙන්න තියෙන ලොකුම රීසන් එක ඔන්න ඔය ඒකිගෙ සැක සහිත හැසිරීම කියලා”

“ඒකිගෙ මුකුත් සැක සහිත හැසිරීමක් තිබ්බෙ නෑනෙ මචං ඉතින්. ඒකි නෝමල් විදියටම හිටියනෙ”

“ඒක තමයි මම කිව්වෙ සැක සහිතයි කියල. ඒකි ගැන උඹ මට කිව්ව දේවල් එක්ක ඔය වගේ කේස් එකකදි මාලවී කියන ගර්ල් හැසිරිලා තියෙන්නෙ එයා නෝමලි හැසිරෙන්න ඕන විදියට නෙවෙයි. ඒකම අපිට එයාව සැක කරන්න හේතුවක් නේද? එයා එහෙම වෙනස්ම විදියකට හැසිරුනේ මොකක් හරි ප්ලෑන් එකක් නිසා වෙන්න පුලුවන් නේද?”

“ඒ උනාට බං උඹ හිතනවද එහෙම බයික් එකක ඇවිල්ල හප්පන්න කොල්ලෙක්ව දාන්න තරම් කෙල්ලන්ට එහෙම පුලුවන්කමක් තියෙනවා කියල?”

“යකෝ මේ රටේ ඉන්නවා මිනීමරන ගෑණු. එහෙම එකේ ඔය වගේ වැඩක් දෙන එක මහ දෙයක් කියලද උඹ හිතන් ඉන්නේ. අනික මේ කොළඹ ඉපදිච්ච කෙල්ලන්ට ඔය වගේ වැඩකට බයික්කාරයෙක් හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. 

ඒ ඔක්කොම කොහොම වෙතත් මේක උඹ මට පර්සනලි ඇවිල්ලම කතා කරපු සීන් එකක හන්දම මම සම්පූර්ණයෙන්ම මේ කේස් එකේ කන්ට්‍රෝල් එක මගේ අතට ගත්තා. දන්නවනෙ ඉලෙක්ශන් සීන් ළඟ ළඟ එන හන්දා අපේ අයියල ඉන්නෙත් කලබල වෙලා. එහෙම එකේ මේ වගේ කේස් යට යන්න ඉඩ තියෙනවා කොහොමත්. ඒ නිසාමයි මමම මේක බලන්නෙ. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ කොහොමත් ඔය නම්බර් ප්ලේට් නැතුව ආව බයික් කාරයා ගැන කිසිම ඉන්ෆෝමේශන් එකක් ගන්න පුලුවන් විදියෙ හෝඩුවාවක් නැති එක. මොන විදියට තියෙන හැම විදියටම අපි සීසීටීවි වීඩියෝ එක බැලුවත් ඒ කිසිම එකකින් ඔය කියන බයික් එක මොකද්ද කියන එක ඉඩෙන්ටිෆයි කරගන්න පුලුවන් විදියෙ ඔත්තුවක් හොයාගන්න පුලුවන් උනෙ නෑ. අනික් එක බයික් එක එක දුරකට ගියයින් පස්සෙ එතනින් එහා කඩවල සීසිටිවි ගන්න විදියක් තිබ්බෙ නැති හන්ද අපිට ඒ චාන්ස් එකත් මිස් වෙනවා”

“ඒ කියන්නෙ අපිට මේක වෙනුව්නෙ කරන්න කිසිම දෙයක් නැතිවෙයිද?”

“නෑ එහෙම නෙවෙයි, උඹ අහල තියෙනවනෙ වරදක් කරොත් අනිවාර්‍යෙන්ම දඬුවමක් තියෙනව කියල. අපිට මොකක් හරි විදියකින් ඕක හොයාගන්න පුලුවන්කමක් ලැබෙනවා. හැබැයි සමහරවිට අපිට ටික කාලයක් ඒක වෙනුවෙන් බලාගෙන ඉන්න වෙයි. අපි දන්නෙ නෑනෙ ඔය වැඩේ භාරගත්තෙ මොකාගෙ හෙංචයියෙක්ද කියලා”

“අපි බලාගෙන ඉන්න අතරවාරෙ සප්තමීට ආයෙ ඔය ගේම් එක ප්ලෑන් කරපු මනුස්සයා කරදරයක් කරොත් අපි මොකද කරන්නෙ?” කියල සමුද්‍ර තමන් දිහා එක එල්ලේම බලාගෙන අහද්දි අරවින්ද කලේ විනාඩියක් විතර සද්ද නැතුව සමුද්‍ර තමන් දිහාව බලාගෙන උන්නු විදියටම සමුද්‍ර දිහාව බලපු එක.

“එහෙම දෙයක් නොවෙන තැනකට සප්තමීව අරගෙන එන එක” කියල අරවින්ද කිව්ව දේ තේරිච්ච නැති හන්දා තමයි සමුද්‍ර “මොකද්ද උඹ කියන්නෙ?” කියලා අහන්න වගේ අරවින්ද දිහාවම බලාගෙන උන්නෙ.

“ඔය කියන ගේම් එක ප්ලෑන් කල මනුස්සයගෙ ඉන්ටෙන්ශන් එක මොකද්ද කියන එක ඇත්තටම අපි දන්නෙ නෑනෙ. සමහරවිට මේ ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච හානිය ගේම් එක ප්ලෑන් කල කෙනා කවුරු උනත් එයා බලාපොරොත්තු වෙච්ච ලෙවල් එකෙන් තිබ්බෙ නැත්තන් ආයෙම වතාවක් ගේම් එකට එන්ටර් වෙන්න ලොකුම ලොකු ඉඩක් තියෙනවා. එහෙම දෙයක් වෙයි කියල හිතලා අපි කරන්න ඕන ඒ වගේ දෙයක් නොවෙන තැනකට අදාල මිනිස්සුන්ව අරගෙන එන එක”

“එහෙම දෙයක් නොවෙන තැනකට කියන්නෙ මචං ඉතින් ඔය වගේ මට එන්න බැරිවෙච්ච එක දවසට ඔහොම දෙයක් කරන්න ප්ලෑන් කරපු මනුස්සයට ඉස්සරහට මොන මොන වගේ දේවල් කරන්න පුලුවන්ද මචං? එහෙමයි කියල මොකෝ අපි සප්තමීට ට්‍රැකර් එකක් හයි කරලා තියන්නද? එහෙම නැත්තම් ඉතින් මොකෝ මං කියල එයාගෙ පස්සෙන්ම ඉන්නද? අනික බං මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල හැමෝම කියනවා නේද? අනික උඹල ඔය කියන්නෙ පොලිසිය ඉන්නවා කියල ඕන දේකට. එහෙම එකේ මේ අවුරුදු විසි ගානක කෙල්ලෙක්ට බය නැතුව පාරෙ බැහැලා යන්න බැරි නම් ඔය ප්‍රජාතන්ත්‍රවාදී කමෙනුයි පොලිසියෙනුයි වැඩක් තියෙනවද?” කියල සමුද්‍ර ආවේගෙන් වගේ අහගෙන අහගෙන ගියාට මොකෝ අරවින්ද ඒ කිසිම කතාවකට තරහා ගත්තෙ නෑ. තමන්ගෙ ගෑණිට ඔය වගේ දෙයක් උනාම ඕනම මිනිහෙක්ට මේ වගේතරහ යනවා කියන එක දන්න හන්දම අරවින්ද කලේ කල්පනාවෙන් සමුද්‍ර දිහාවම බලාගෙන උන්නු එක.

මිනිස්සු ආදරේදි සම්බන්ධතා ලඟදි හැසිරෙන්න අමුතුම විදියකට කියන එක නොදන්න මනුස්සයෙක් නෙවෙයි අරවින්ද. අනික ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම සමුද්‍රව දන්න හන්දා සමුද්‍රට ඔය ඕන නැති සම්බන්ධකං වල පැටලිච්ච නැති, කෙල්ලො පස්සෙ බොරුවට ආතල් ගන්න ගියේ නැති කොල්ලෙක් හන්දා සමුද්‍රට සප්තමී එක්ක තියෙන්නෙ සිරාම සම්බන්ධයක් කියලා අරවින්දට තේරුම්ගන්න බැරිකමක් තිබ්බෙ නෑ.

“සමහර තැන්වලදි මචං ප්‍රජාතන්ත්‍රවාදයටයි පොලිසියටයි වඩා බලවත් දේවල් මේ ලෝකෙ තියෙනවා. හොඳ පැත්තට වගේම නරක පැත්තටත්” කියල අරවින්ද කියද්දි සමුද්‍ර කලේ බලන් උන්නු එක.

“ඒ මොකද්ද?”

“ආදරේ මචං ආදරේ. ආදරේ ලොකුයි හැමදේටම වඩා. ඒ වගේම හැමදේටම වඩා ආදරේ මාර පවර්ෆුල්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here