තාදී – 29

0
3360

” ඔයාට කවුද ධීර මේවා කිව්වේ ? ” 

ධීර මිෂෙල් ව කැටුව ආවේ එතරම් සෙනඟ නොගැවසෙන නිදහස් තැනක පිහිටි අවන්හලක් වෙත ය. මිෂෙල් උන්නේ වෙනදාට වඩා උද්යෝගයෙනි. දැන් දැන් තමාව විවාහ කර ගැනීම සඳහා ධීර කැමැත්ත ප්‍රකාශ කරනු ඇතැයි මිෂෙල් කල් බැලුවා ය. එහෙත් සිදු වූයේ අනෙකකි.

” කවුද යශාන් කියන්නේ ? ” 

ධීර ඇසුවේ බීමට යමක් ඇනවුම් කිරීමෙන් පසුව ය.මිෂෙල් ගේ මුහුණ බලා ඉඳිද්දී වෙනස් වන ආකාරය ධීර නිරීක්ෂණය කළ අතර ධීර එයින් පුදුමයට පත් වූයේ නැත. මිෂෙල්ට ඇති වූ ගැටලුව වූයේ ධීර තමන් ගේ අතීතය පිළිබඳව දැන ගත් ආකාරයයි.

” කවුරු කිව්වත් ඒවා ඇත්ත නේද? ” 

ධීර ඇසුවේ සන්සුන්වය. මිෂෙල් හා සම්බන්ධ ගැටළුවට නැවතීමේ තිත තැබීමට මෙය හොඳම අවස්ථාව කර ගැනීමට ධීර සිතුවේ ය.ඔහුට වුවමනා වූයේ කාගේත් සිත නොරිදෙන ආකාරයට එය කිරීමටය.

” මොනවද ? ” 

මිෂෙල් හැසිරෙන්නේ කිසිදු වරදක් නොකළ අයෙකු ගානටය.ධීර එයත් ඉවසූ අතර මිෂෙල් තුල වූ නොසන්සුන් බව ධීර හොඳින්ම දුටුවේය.

” ඔයා යශාන් එක්ක කැනඩා වල Livingtogether හිටපු එක. ඊට පස්සේ ඔයා එයාට චීට් කරපු එක. ඒ බෝයි එක්ක ඔයාව යශාන් ගේ අතටම අහු උනාට පස්සේ ඔය දෙන්නා බ්‍රේකප් වෙච්ච එක. ” 

ධීර බලා සිටියා සේ සියල්ලම කියා ගෙන යන්නේ ය. මිෂෙල් සිටියේ කර කියා ගත යුතු කිසිවක් සිතා ගත නොහැකිවය. අවන්හලේ සේවකයා මේසය මත තැබූ සීතල පලතුරු යුෂ වීදුරුවෙන් බාගයක් පමණ මිෂෙල් බීගෙන බීගෙන ගියේ තප්පර කිහිපයක් ඇතුළත ය.

” ඔයාට මොනව හරි කියන්න තියෙනවද මිෂෙල් ? ” 

ධීර බලා උන්නෙ උසාවියක නඩු අසන්නා සේය. මිෂෙල් අපහසුතාවයට පත්ව සිටිනා බව තේරුම් ගත හැකි වුවත් පෙර දිනයේ මිෂෙල්  විසින් ඇති කරන ලද ප්‍රශ්නය නිසා ධීර උන්නේ ඇය කෙරෙහි ඇත්තටම කෝපයෙනි.

” මේකයි ධීර. මේ.. මට එහෙම affair එකක් තිබුනා. මං කිව්වේ මේ.යශාන් එක්ක.මං ඔයාට ඒ ගැන කියන්න තමයි හිටියේ. ඒත් මං ඒ ගැන මතක් කරන්න එච්චර කැමති නෑ ” 

මිෂෙල් උත්තර දුන්නේ දුක්බර ස්වරූපයක් මවා ගෙනය 

” හරි ඒක කමක් නෑ කියමුකෝ. මටත් affairs කීපයක්ම තිබිලා තියෙනවා. ඒවා අපේ අම්මත් දන්නවා. මෙතන තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි ? ” 

ධීර මිෂෙල් දෙස බලා උන්නේ සෘජුවය. මිෂෙල් උන්නේ ඒ බැල්ම දරා ගත නොහැකි තත්ත්වයකය. තමා සැඟවූ සියල්ල කෙසේ හෝ අයුරකින් ධීර දැන ගෙන ඇත. 

” මොකද්ද ? ” 

මිෂෙල් ඇසුවේ ඇසෙන නෑසෙන ගානටය. ධීර ඊළඟට අසන ප්‍රශ්නය කුමක්දැයි මිෂෙල් දැන උන්නාය. එයට තමා පිළිතුරු දිය යුතුව ඇත.

” ප්‍රශ්නේ ඔයා වෙන කෙනෙක් එක්ක ඒ මනුස්සයාට චීට් කරපු එක ? ඔයා දවසක ඒ දේම මටත් කරන්න බැරි නෑනේ ? ” 

සියල්ල මෙතනින් අවසන් බව සිතන්නට මිෂෙල් කැමති වූයේ නැත. කෙසේ හෝ ධීර ගේ සිත වෙනස් කළ යුතුව ඇත. එය මේ මොහොතේ නොකළහොත් තමා පරාජය වන බව මිෂෙල් සිතුවාය.

” එ.. එහෙම දෙයක් උනේ නැහැ ධීර. යශාන් මාව වැරදියට තේරුම් අරගත්තේ. මං එයාට චීට් කලේ නැහැ. කවුද ඔයාට මේ බොරු කිව්වේ ? ” 

” ඔයා කියන්නේ ඔයා වෙන කොල්ලෙක් එක්ක අපාර්ට්මන්ට් එකක ඉඳලා යෂාන්ට අහුවුනේ නෑ කියලද ? ” 

මිෂෙල් කිසිවක් කීවේ නැත. ඉවත බලා සිටියා පමණි. එහෙත් වැඩි වේලාවක් එසේ සිටිය නොහැක. කෙසේ හෝ ධීර අසනා දේවල් වලට පිළිතුරු දිය යුතුව ඇත.

” ඔයාට ඇත්ත කියන්න තාමත් වෙලාව තියෙනවා මිෂෙල් ” 

මිෂෙල් නිරුත්තර වී සිටින ආකාරය දැක ධීර කී අතර මිෂෙල් සිත යටින් සැනසුම් සුසුමක් හෙළුවේ ධීර තමාට සමාව දීමට සූදානම් බව සිතමිනි. 

” මං ඔයාට කවදාවත් වැරැද්දක් කරන්නෙ නෑ ධීර ” 

මිෂෙල් මේසට මත ඇති ධීර ගේ අත මතින් අත තබා කීවාය. ධීර අත ඉවතට ගත්තේ සැනෙකිණි.

” මං අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක නෙමෙයි මිෂෙල් ” 

එවර ධීර ගේ හඬෙහි තැවරී තිබූ කෝපය තේරුම් ගන්නට මිෂෙල්ට අපහසු වූයේ නැත. සිතූ තරම් ධීර ලෙහෙසි පහසු පුද්ගලයකු නොවන බව මිෂෙල් තේරුම් ගත්තේ ඒ මොහොතෙහිදිය.

” ඒ බෝයි මගේ යාළුවෙක් විතරයි. අපි අතරේ වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ ධීර ” 

මිෂෙල් අහිංසක සහ දුක් මුසු මුහුණක් මවා ගත්තාය. එහෙත් ධීර එවදන් විශ්වාස කිරීමට සූදානම් වූයේ නැත. 

” මං අහන්නේ නෑ රූපසිංහ අන්කල්ලා ත් මේවා දැනගෙන මේ ප්‍රොපෝසල් එක ගෙනාවද කියලා ” 

ධීර මොහොතක් නතර වූයේ ය. මිෂෙල්ට දැනෙමින් තිබුණේ සියොළඟම ගැහෙනා බවකි.තමා ධීර සමග මෙතැනට ආවේ වෙනත් දෙයක් බලාපොරොත්තුවෙනි. එහෙත් සිදු වෙමින් පවතින්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. 

” ඒ කොහොම වුනත් මට ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි මිෂෙල්. අපේ පේ්‍රන්ට්ස්ලා මොන බලාපොරොත්තු තියා ගෙන හිටියත් කවද හරි ජීවත් වෙන්න ඕනෙ අපි දෙන්නා. හැබැයි අපි දෙන්නට එහෙම ගමනක් යන්න බැහැ. මේක මං අද තීරණය කරපු දෙයක් නෙමෙයි. හැබැයි මට අද මේක ඔයාට කියන්න වෙනවා. මොකද ඔයයි මමයි තවත් කාලය නාස්ති කරන එකේ තේරුමක් නෑ ” 

ධීර කියන්නට වුවමනා වූ දෙය කියා දැම්මේ ය.මිෂෙල්ගේ අතීතය කුමක් වුවත් තමාට ඉන් පළක් නැත.අනෙක් අතට මිෂෙල් ගේ ගති පැවතුම් සහ අන් කිසිවක් තමාට ගැලපෙන්නේ ද නැත. සිදුවිය හැකි ඕනෑම දෙයකට මුහුණ දීමට ධීර සිතා ගත්තේ ඒ නිසාය. 

” ඔයා මොනවද මේ කියවන්නේ ධීර ? ” 

” මං කියන්නේ ඇත්ත මිෂෙල්. අනිත් එක තමයි ඔයාගේ තාත්තා ඉස්සරහට ඔයාට කාව ප්‍රපෝස් කරත් ඔයා මේ මට හංගපු දේවල් මුලින්ම ඒ කෙනාට කියලා ඉන්න. මොකද ඒ කෙනත් මං වගේ වෙන කොහෙන් හරි මේවා දැනගත්තොත් මං ඉවසුවා වගේ ඉවසන එකක් නෑ ” 

මිෂෙල් නිහඬ වූවාය. වැරැද්ද තමාගේ අතේය. තමා දුරදිග නොබලා තමාට තිබූ අසීමිත වූ  නිදහස ප්‍රයෝජනයට ගත් ආකාරය වැරදි බව තේරුම් ගන්නට දැන් පමා වැඩි බව සිතමින් මිෂෙල් පසුතැවිලි වූවාය. 

” අපි මේක කතා කරලා විසඳගමු ධීර.ප්ලීස්. මට එක අවස්ථාවක් දෙන්න ” 

මිෂෙල් බැගෑපත් වූයේ බැරිම තැනය. ධීර වැනි හැම අතින්ම පරිපූර්ණ තරුණයකු නැවත සොයා ගත නොහැක. ඇරත් ධීර තමාගේ අතීතය පිළිබඳව දැනගෙන ඇති බව දෙමව්පියන්ට පැවසියද නොහැක. ඔවුන් සියල්ල දැන තමාට සමාව දී තමාව පිළිගත් නමුත් දැන් සියල්ල කණපිට හැරී ඇත.

” මං ඔයාට කිව්වනේ. මං මේ තීරණේ අරගත්තේ ඔයා මට හංගපු දේවල් නිසා නෙමෙයි.ඇත්තටම අපි ගැලපෙන්නෙ නැති හින්දා. අනිත් එක මට වෙන ප්ලෑන්ස් තියෙනවා ” 

” වෙන ප්ලෑන්ස් කිව්වෙ ? ” 

” ඒක මෙතනට අදාල නෑ මිෂෙල් ” 

තමාව නොගැලපෙන බව ධීර තීරණය කළේ කොයි මොහොතේ දැයි මිෂෙල් කල්පනා කළාය. බොහෝ දුරට ධීර මේ නොකියා කියන්නේ පෙම්වතියක් සිටින බව යැයි මිෂෙල් සිතූ අතර ඒ කෙසේ වුවත් තමාට ජීවිතය වෙනස් කර ගැනීමට ලැබුණු අවස්ථාව කෙසේ වත් අතහැරිය යුතු නැතැයි ද , හොඳින් හෝ නරකින් ධීර ව විවාහ කරගත යුතු යැයි මිෂෙල් සිතුවේ කෝපයෙනි. 

” මං එහෙනම් යන්නද මිෂෙල් ? මට වැඩ වගයක් තියෙනවා ” 

ධීර සූදානම් වූයේ පිටව යන්නටය. එහෙත් මිෂෙල් පරාජය භාර ගැනීමට සූදානම් වූයේ නැත.

” පොඩ්ඩක් ඉන්න ධීර ” 

ධීර අසුනින් නැගිටින්නට ගොස් නැවත වාඩි වූයේ ය.

” මේ හැමදේම අර ගර්ල් නිසාද ? එදා ඔයත් එක්ක පොලිසියට ගිහින් තිබ්බේ ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here