අරුමැති ආදරයක් – 16

0
2352

විසිත්ත කාමරය මැදක තබා තිබූ තමාගේත් පුෂ්පානන්දගේත් මංගල සේයා රුව දෙස තමාරා බලා සිටියේ හිස් හැඟීමකින්ය. අදටත් ඈ මේ සේයාරුව මේ අයුරින් තබා තිබෙන්⁣නේ යුගාෂ් නිසාය. ජීවිතයේ බොහෝ දේ ඉවසූයේත් ඔහු නිසාය. ඉතිරිව ඇත්තේ මතක පමණි. තවමත් ඔහු තමාගේ සැමියාය. යුගාෂ්ගේ පියයාය. එනිසාම මේ සේයා රුවටද වටිනාකමක් විය. 

දෙදෙනාගේ විවාහය සිදු වූයේ යෝජනාවක් මතය. පවුලේ එකම දරුවා ලෙස බොහෝවිට තමාරාට  වූයේ අම්මාගේත් තාත්තාගේත් අණසකට යටත්ව ජීවත් වන්නටය. පළාතේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු, ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ තාත්තාට, පුෂ්පානන්දට අකමැති වීමට තරම් හේතුවක් තිබුණේ නැත. තමාරා මුලින්ම පුෂ්පානන්දව දුටුවේ ඔහුගේ නෑ හිත මිතුරන් සමඟ ඈ බලන්නට චාරිත්‍රයක් ලෙස පැමිණි දිනයේය. ඒ කඩවසම් තරුණයා තමාරාගේ  සිත් ගත්තේ පළමු හමුවෙන්මය. පුෂ්පානන්දත්, ඔහුගේ මවත්, පියාවත්  තමාරාට කැමැත්ත පළ කළේ නිවසින් පිටව යාමට ප්‍රථමය. 

විශ්ව විද්‍යාලයට යාම සඳහා තමාරාට අඩු වූයේ ලකුණු කිහිපයකි. දෙවන වර උසස් පෙළ විභාගය ලියන්නට වුවමනාවක් වුවත්  අම්මාවත්, තාත්තාවත් ඊට කැමති වූයේ නැත. එනිසාම විවාහ වද්දී තමාරාගේ වයස අවුරුදු විසි එකකි. දෙදෙනා පදිංචි වූයේ තාත්තා විසින් මතුගම නගරයේ සාදාදුන් දෙමහල් නිවසේය. 

එදවස තාත්තාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කුරුඳු වගාවයි. අක්කර ගණනාවක් වූ වගා බිම්වල සේවකයන් සිය ගණනක් සිටියහ. පුෂ්පානන්ද තමාගේ ව්‍යාපාර කටයුතු වලට හයියක් බව තාත්තා නිතර පැවසුවේය. විවාහයෙන් පසුව ඔහු තාත්තාගේ ව්‍යාපාරික කටයුතුවලට සෘජුවම සම්බන්ධ විය. එදවස ඔහු මේ සා ප්‍රසිද්ධ නීතීඥයෙකුව සිටියේ නැත. එහෙත් පුෂ්පානන්ද යනු පැය විසි හතරම අවිවේකී වූ පුද්ගලයෙකි. ඒ පැය විසි හතරම ඔහු වෙහෙස වූයේ මුදල් උපයන්නටය. 

තම කසාදයේ කියා වෙනසකට වූයේ රාත්‍රියේ ඔහුගේ ඕනෑ එපා කම්වලට ඉඩ දීමත්,  සමාජය හමුවේ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටීමත් පමණක් බව තමාරාට සිහි වූයේ දෑස් වල කඳුලක් උපද්දවමිනි. එදවසත් ඇගේ තනියට වූයේ නිවසේ උන් සේවිකාව හා නිතර නිවසට පැමිණ යන මව පමණි. සතුට, සැහැල්ලුව පතා ආ තමාරාට යළිත් වරක් සිදු වූයේ නිවසතුල හුදකලා වන්නටය. ජීවත් වන්නට මුදල් ඕනෑවටත් වඩා විය. සුව පහසුව උපරිමයෙන්ම විය. එහෙත්  ඔහු ඒ කිසිවකින් සෑහීමකට පත් වූයේ නැත. රාජකාරියට අමතරව තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටියත් එතනින් නොනැවතුණු ඔහු මුදල් පොළියට දීම ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියේය. අදටත් පුෂ්පානන්ද  ඒ සඳහා ප්‍රසිද්ධය. ඒවායින් ලැබෙන ලාභයෙන් ඔහු ඉඩකඩම් මිල දී ගත්තේය. ඒවා කුලියට දෙමින් අද ඔහු ලබන ලාභය එදාට වඩා හතර පස් ගුනයකින් වැඩි එකකි. 

විවාහ ජීවිතය යනු මෙවන් ආකාරයක හුදකලා ලෝකයක තනි වීමක්දැයි තමාගෙන්ම ප්‍රශ්න කළත් තමාරා  කිසි විටකත් ඔහුගෙන් යමක් අසන්නට නොගියාය. තම අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රශ්න නොකළාය. යහළු යෙහෙළියන් සිය විවාහ ජීවිතය තුළ එකිනෙකා ගැන  සොයා බලමින් එකිනෙකා ගැන වද වෙමින් සිටියදී තමාරා තමාව තනිවම බලා ගත්තාය. 

පසු කලෙක තමාගේ ඉඩකඩම් ඔහු නමට නොලියා තාත්තා විසින් තමාරාගේ නමට ලිවීම පිළිබඳව පුෂ්පානන්ද කෝප ගත්තේය.

“ගේ ඇතුලට වෙලා ඉන්න ගෑනියෙක්ට පුළුවන්ද ඉඩකඩම් බලාගන්න. තාත්තා ඔය කරපු මෝඩ වැඩෙන් වැඩි කාලයක් යන්න කලින් ඔය හැමදේම විනාස වෙලා යනවා. මට උනත් වෙනද වගේ ඕව ගැන බලන්නන බැරි වෙයි.”

ඔහු බොහෝ  වර තාත්තාගෙන් ඒ ගැන කෙලින්ම ප්‍රශ්න කරන්නට විය.

“අපිනම් දැනගෙන හිටියේ ගෑනිට තිබුණත් එකයි මිනිහට තිබුණත් එකයි කියලා. පවුල් ජීවිතයක් ඇතුලේ අරක ගෑනිගේ මේක මිනිහගේ කියල බේදයක් නෑ. දෙන්නම එකතුවෙලා ඒවා දියුණු කරගන්න දැනගන්න ඕනේ.”

අම්මා තමාරා හා එසේ පැවසූයේ වරක් දෙවරක් නොවේ.

වරින් වර තමා වෙත එල්ල වන ඇනුම් පද, නොහඳ නෝක්කාඩු නිවසේ වූ හුදකලාව බිඳ දමන්නට විය. පස්සෙන් පන්නමින් ගතු කියනා පුෂ්පානන්දගේ හැසිරීම තමාරාට වදයක් විය. එනිසාම ඈ ඔහුගේ නමට  ඉඩකඩම් ලියා දෙන්න යැයි තාත්තාට පැවසීය.

“තාත්ත ගත්තේ හරිම තීරණය කියනවනේ පුතේ. ඔයා හොඳටම දන්නවා තාත්තා හොඳට හොයලා බලන්නේ නැතුව කිසිම දෙයක් තීරණය කරන්නේ නෑ කියලා. ඒක හින්දා තාත්තා ඔයාව පොරොන්දු කරගෙන තමයි මේ ඉඩකඩම් ඔයාගේ නමට ලිව්වේ. තාත්තා අද ගැන නෙමෙයි ඉදිරිය ගැන හිතන කෙනෙක්.”

වෙනදා සේම තාත්තා නිහඬ නිරුත්තර වද්දී  අම්මා ඒ අයුරින් පැවසුවාය. 

පුෂ්පානන්ද වෙනත් කාන්තාවන් ඇසුරු කරන බව දැන ගනිද්දී   යුගාෂ් සත් මස් වියැති  බිළිඳෙකු විය. එහෙත් ඉන් පෙර අම්මාත් තාත්තාත් ඔහු පිළිබඳව දැන සිටි බව තමාරා දැන ගත්තේ පසු කාලයේය. තමා කෙරෙහි පමණක් නොව තම දරුවා කෙරෙහිත් ඔහුගේ සිතෙහි විශේෂ ඇල්මක් නොවූ බව තමාරා දනී. අප්පච්චී කෙනෙකු ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටියාට සිය ජීවිතයේ එක් වරක්වත් ඔහු යුගාශ්ව  ආදරයෙන් වැළඳගෙන හෝ සුරතල්  කර තිබුණේ නැත. ඉදහිට හෝ සොයා බැලුවේනම් ඒ වාර විභායන්හි ලකුණු ගැනය. 

තාත්තා මිය ගියේ හෘදයාබාධයකින්ය. තමාරාගේ විවාහ ජීවිතය ගැන පසුතැවීමෙන් පසු වූ ඔහු ඇගේ අනාගතය පිළිබඳවත් බියකින් පසු වූ බව පසු කලෙක පැවසූයේ අම්මාය. දන්නා දා සිට  ජීවිතයේ තමාට නොවැටී සිටින්නට විසල් හයියක් වූයේ අම්මා බව විශ්වාසය. අහේතුකවම පුෂ්පානන්ද පසු කලෙකදී තමා සමඟ අඬ දඹර ඇතිකර ගත්තේය. තමාව සාධාරණීකරනය කරන්නටත් තමාරාගේ වැරදි දකින්නටත් ඔහුට ඕනෑ තරම් හේතු විය. 

තමාරාගෙන් දික්කසාද නොවීම ඔහු වෙනත් ගැහැණියක හා ජීවිතය බෙදා ගනිමින් සිටින බව රහසක් වූයේ තමාරාට පමණි. කොහොමටත් නිවස තුළටම වී කාලය ගත කරන තමාරා පුෂ්පානන්දගේ ජීවිතයෙහි සිදුවන බොහෝ දේ ගැන දැන සිටියේ අල්පවය. තමාගේ හැඟීම් වලින් ඔහු නික්ම ගොස් බොහෝ කලක් ගත වූ නිසා විශේෂයෙන් ඔහු ගැන සොයා බලන්නට තරම් සිතක් ඇයට වූයේත් නැත.  එදවසත් යුගාෂ්ගෙන් තොර ජීවිතයක් තමාරාට වූයේ නැත. පුෂ්පානන්ද ගැන ඒ සිතෙහි වූයේ පිළිකුලකුත්, කලකිරීමකුත් පමණි. පැතූ ජීවිතය අහිමි වී ගියත් ලැබූ ජීවිතය අර්ථවත්ව ගත කරන්නට ඇය තීරණය කළේ බොහෝ කල් ඉක්ම යන්නට මත්තෙන්ය.

පසු කලෙක ඔහු ජනප්‍රිය, දක්ෂ නීතිඥයෙකු වුවත් සිය පෞද්ගලික ජීවිතය තුළ ඔහු අසාර්ථක සැමියෙකු හා පියෙකු විය. මිනිසුන්ගේ සිතෙහි ඔහුට වන්නේ බයක්, පක්ෂපාතීත්වයක් මිස ගෞරවයක් හෝ ආදරයක් නොවන බව විශ්වාසය. 

වසර ගණනක් තිස්සේ ඉවසා දරා උන් තමාරා අවසන තම අයිතීන් ඉල්ලා හඬා වැටුණේ යුගාෂ් වෙනුවෙන්ය. දරුවා වෙනුවෙන් පිය සෙනෙහසත්, කසාද අයිතියත් රැක ගන්නට ඇය වෙහෙස වූවාය. අවසන වූයේ පුෂ්පානන්ද තමාරාවත් යුගාෂ්වත් අතහැර වෙනමම නිවසක පදිංචියට යාමය. ඒ එදවස ඔහු යටතේ නීතිය හදාරමින් උන් තරුණ නීතීඥවරියක සමඟය. 

එදා මෙදා තුර ඔහු විසින් රැස් කර ගත්තේ පව් පමණක්යැයි  තමාරා සිතුවේ ශෝකයෙන්ය. අදටත් ඔහු ඒ නොසන්සිඳෙන තණ්හාවේ කොටස් කරුවෙක්ය.

තමාරා  දිගු සුසුමක් මුදා හැරියේ පියසීලීත් ඇගේ ලේලියත් සිහිවය. අපූර්වාගේ තතු යුගාෂ්ගෙන් අසා තිබුණාට තවමත් ඕ ඇයව දැක තිබුණේ නැත. ජීවිතයේ මේ ආකාරයෙන් අන්ත අසරණ තත්ත්වයට පත් ගැහැණුන් තමාරා ඕනෑ තරම් දැක තිබේ. ඒ සැමියා මිය ගිය හෝ හැරදා ගිය ගැහැණුන්ය. එහෙත් මේ කතාව සම්පූර්ණ වෙනස් වූ එකකි. තාත්තා උපයා ඉතිරි කර තිබූ යමක් නොවූවානම්  අද තමාගේ තත්ත්වයත් ඉන් වෙනසක්  විය නොහැකි බව තමාරා විශ්වාස කළාය. ඇය සමාජ සේවා කටයුතුවලට යොමු වූයේ පසු කලකදී  හමු වූ මිතුරියක සමඟය. අදටත් ඇය තාත්තාගේ කුරුඳු ඉඩම් වලින් හා කුලියට දී තිබෙන නිවාස වලින්  ලබන ආදායමෙන් කොටසක් වෙන් කරන්නේ අසරණයන්ට පිහිටවීමේ කටයුතු සඳහාය. ඇය අනුගමනය කරන යුගාෂ්ගේ ක්‍රියා කලාපය ද ඉන් වෙනසක් වූයේ නැත. යමෙකුට නැඟී සිටින්නට අත දී ලබන සතුට දෙවනි වන්නේ කුමකටදැයි ඕ දැන සිටියේ නැත.

පියසීලී තමාට මෙතරම් දැනෙන්නේ මන්දැයි තමාරාට නොතේරේ. ඊට හේතුව පුෂ්පානන්ද නොවන බව විශ්වාසය. ඔහු මේ කිසිවෙකු පෞද්ගලිකව හඳුනන්නේ නැත. 

ඔවුන් දැනට  ජීවත්වන නිවස අවම පහසුකම් වලින්වත් සම්පූර්ණ කළ යුතුය යන අදහස තමාරාට ඇතිවූයේ ඒ නිවසින් පිටවන්නටත් ප්‍රථමවය. අද හෙටම යුගාෂ් සමග කතා කරමින් ඒ කටයුතු පිළිවෙලක් කළ යුතු යැයි අවසන තමාරා  සිතුවාය. 

යුගාෂ් උසස් අධ්‍යාපනය සඳහා නීතිය තෝරා ගනිද්දීත් නීතිඥවරයෙකු ලෙස රැකියාව බාරගනිද්දීත් ඒ සඳහා වැඩි කැමැත්තක් තමාරාගේ සිතෙහි වූයේනැත. එහෙත් අන් සෑම තැනකදී සේම ඇය යුගාෂ්ගේ තීරණයට අකුල් හෙළන්නට නොගියාය. ඔහු ජීවිතය තනිවම ජයගත් දරුවෙකි. මූල්‍යමය අතින් අඩුපාඩුවක් නොවූවත් ඔහුගේ ජීවිතයට නොලැබුණු පිය සෙනෙහස ජීවිතය පුරා හිස් තැනක්ව පවතින බව තමාරා දනී.. ඒ ගැන කාලයක් තිස්සේම  යුගාෂ්  පසුතැවීමෙන් ජීවත් වූ බව ද විශ්වාසය. කොතරම් උත්සාහ කළත් අම්මා කෙනෙකුට පිය සෙනෙහස ලබාදිය නොහැකි බවත් තාත්තා කෙනෙකුට මව් සෙනෙහස ලබාදිය නොහැකි බවත් තමාරා විශ්වාස කළාය. ඔහුට අප්පච්චිගේ ක්ෂේත්‍රයේම රැඳීමට වුවමනාවක් වූයේ තමාට නොලැබුණු ඒ පිය සෙනෙහස නිසාදැයි ඈ වරෙක සිතුවාට. තම ජීවිතයෙන් අත්හැරී ගියද යුගාෂ් නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් දා පුෂ්පානන්ද සතුටු වූ බවත් ආඩම්බර වූ බවත් තමාරා දනී. තමා යටතේ පුහුණුවීම් කරන්නයැයි ඔහු කිහිප වරක්ම යුගාෂ්ට පණිවිඩ එවා තිබිණ. ඔහු දිගින් දිගටම අප්පච්චීව ප්‍රතික්ෂේප කරමින් සිටියදී පුෂ්පානන්ද තමාරාට ද කතා කරමින් තමා සමඟ පුහුණුවීම් කිරීමේ වැදගත්කම යුගාෂ්ට පහදා දෙන්නයැයි කිහිප වතාවක්ම පැවසීය. 

“ඒ මනුස්සයා මොන විදිහේ මනුස්සයෙක්ද කියන්න මට තේරෙන්නේ නෑ අම්මේ…”

අදටත් යුගාෂ් තම අප්පච්චී ගැන කතා කරන්නේ අප්‍රසාදයෙන්ය. ඒ නිසාම ඔහු වැරදි පාරක ගමන් නොකරන බවට විශ්වාසයක් අදටත් තමාරාගේ සිතෙහි වේ. තම ජීවිතයේ ගන්නා  තීන්දු  තීරණ ගැන කිසිවිටකත් ඔහුට බලපෑමක් නොකරන බව ඈ  සිතුවේ යුගාෂ්  ගැන වූ විශ්වාසයෙන්ය. අවුරුදු විසි හතක් ගෙවී ගොස් තිබුණත් අදටත් ඔහු ඒ විශ්වාසය කඩ නොකළේය. 

වර්තමානයේ තමාරාට යුගාෂ් ගැන ඇති වූ එකම ගැටලුවනම් විවාහයක් ගැන සිතන්නට උනන්දු නොවීමයි. බුද්ධ දේශනාවෙහි වූයේත් සුදුසු කාලයේදී දරුවන්ට ආවාහා විවාහ කරදීම දෙමාපියන්ගේ වගකීමක් බවයි. පුෂ්පානන්දට ඒ බැව් කිසිවිටෙකත් සිහි නොවන බව විශ්වාසය. යුගාෂ්  සමඟ අධ්‍යාපනය ලැබූ අදටත් ඔහු ඇසුරු කරන දියණියන් කිහිප දෙනෙකුම ඔහු ගැන බලාපොරොත්තුවෙන් පසු වුවත් ඔහුට ඒ  කිසිවෙකු පිළිබඳව උනන්දුවක් වූයේ නැත. ඔහුට සුදුසු යුවතියක් විවාහ කර  දීමෙන් පසුව තමා සිය ජීවිතයේ සියලු යුතුකම් ඉටුකළ මවකයැයි දැනෙන නිදහස් හැඟීම විඳින්නට තමාරා ප්‍රිය කළාය. 

( යළිත් හමු වෙමු ආදරයෙන්…)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here