මුතු බෙලි හදවත – 12 වන කොටස

විකුම් කාමරයේ ඒ මේ අත සක්මන් කරන්නට වූයේ ය. ඔහු ට අමුත්තක් දැනෙමින් තිබිණි. හැන්දෑවේ වූ සිද්ධිය වරින් වර ඔහු ගේ මනසේ මැවේ. ආදිත්‍යා- සිය බිරිඳ මින් පෙර කිසි දාක එවැනි බැල්මකින් ඔහු දෙස බලා නැත.

ඒ තරම් ශක්තියක් ඈ වෙත ළඟා වූයේ කොතැනක සිට දැයි ඔහු ට සිතා ගත නො හැකි ය.

මේ රෝගී දරුවෙකු සමගින් අනාගතය දකින්නට තරම් ශක්තියක් හෝ දිරියක් ඔහු ට නැත්තේ ය. නමුත් ආදිත්‍යා වෙතින් අද හැන්දෑවේ ඔහු දුටු දෑසේ වූයේ කිසි සේත් මින්දුල ව අත් නො හැරීමේ දැඩි අධිෂ්ඨානයකි.

ඔහු ඇගෙන් ඈත් වීම, ඇය දරුවා ව අත් හරින්නට හේතුවක් වෙතැයි විකුම් සිතුවේ ය. මංගල උත්සවයට ඇගේ පැමිණීම වැළැක්වීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ ද  එවන් පීඩනයක් එල්ල කිරීමෙන් දරුවා අනත් නිවසකට බාර දෙන්නට ඇගේ කැමැත්ත ලබා ගැනීමයි.

බොහෝ වෙලා කල්පනා කළ විකුම් ආදිත්‍යා නිදන කාමරයට ගියේ ය. කවදාවත් නැති ව දොර අගුළු දමා තිබිණි. විකුම් හෙමිහිට ඊට තට්ටු කළේ ය. ආදිත්‍යා ඇඳෙහි මෙට්ටය යටට අත දමා ඈ සැඟවූ පිහිය එහි සුරක්ෂිත ව තිබේ දැයි බැලුවා ය.

“ආදි”

විකුම් ගේ හඬ ඇය වහා හැඳින්නා ය. දොර හැරියේ එනිසාවෙනි.

“මොකද මේ දොරවල් ලොක් කරගෙන…”

ඔහු කාමරයට ආවේ එසේ අසා ගෙන ය.

“පිරිමියෙක් ගෙ ආරක්ෂාව නැති ගෑනියෙක් ට තමන්ගෙ ආරක්ෂාව තමුන්ම සලස්ස ගන්න වෙනවනෙ”

ආදිත්‍යා සිය දෑසින් දැඩි බැල්මක් විකුම් වෙතට විද්දා ය.

“තාත්ත කෙනෙක්ගෙ ආදරේ ආරක්ෂාව නැති ළමයෙක්ව ආරක්ෂා කර ගන්න එකත් අම්මටම කර ගන්න වුණොත්…ඔයා හිතනවද ඒ අම්ම අනේ තනි මට ළමයෙක් හදන්න බෑ කියල හොටු පෙරා ගෙන අඬයි කියල…එහෙම නෑ විකුම්”

ආදිත්‍යා ගේ මුහුණේ සිනහවක් තිබිණි. එය වියරු සිනහවකි. ඊට මූණ දෙන්නට තරම් හයියක් නොවූ විකුම් ඉවත බලා ගත්තේ ය. ආදිත්‍යා විත් යහනෙහි හිඳ ගත්තා ය. ඇගේ හද ගැස්ම වේගවත් වී තිබිණි.

“ඔච්චර කේන්ති ගන්න දෙයක් ඇහුව නෙවෙයිනෙ මං. වෙනදට ඔයා දොරේ අගුළු දාං ඉන්නෙ නැති නිසයි ඇහුවෙ”

විකුම් ද යහනෙහි ඈ සමීපයේ හිඳ ගත්තේ ය.

“වෙනදට වඩා කොයි දේත් වෙනස් වෙලානෙ විකුම්”

ඉතා සියුමැලි යුවතියක සේ ඔහු දැක ඇති ආදිත්‍යා ගේ මේ සවිමත් ස්ත්‍රී ප්‍රතිරූපය දෙස විකුම් නිහඬව බලා සිටියේ ය. ඈ කතා කළේ කියන දේ ගැන පූර්ණ විශ්වාසයක් ඇතිව ය. ඈ ගැන උපරිම විශ්වාසය තබා ය.

“ආදි”

මඳ වෙලාවකට පස්සේ හෙතෙම තැන්පත් හඬකින් කතා කළේ ය.

“ඔයාට බැරිද මං ගැන හිතන්න…ම්…අපේ පවුලෙ තත්වෙ තේරුම් ගන්න…අපිට අනිත් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවිතේ සමහර තැන් වලදි තීරණ ගන්න බෑ ආදි. ඔයාට තේරෙනවද මං කියන දේ…”

“නෑ. මට තේරෙන්නෑ”

ආදිත්‍යා ඍජු ව කීවා ය.

“කවදාවත් නැති විදිහට දැන් ඔයා හිතුවක්කාර වෙලා”

ආදිත්‍යා කට කොනකට සිනහවක් නගා ගත්තා ය.

“හැම දෙයක් ම සිද්ද වෙන්නෙ හේතුවක් ඇතුව විකුම්. මේ වහල යටදී මට මූණ දෙන්න සිද්ද වෙච්ච දේවල් වල හැටියට මාත් ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා ඇති”

“හරි හරි. ඕවයෙං වැඩක් නෑ”

විකුම් සුසුමක් හෙළුවේ ය.

“ඉස්සරහට මං ඇමති කෙනෙක්. එතකොට ඔයා ඇමති බිරිඳක්”

විකුම් ආදිත්‍යා ගේ උරහිස වටා අතක් දමා ගත්තේ ය.

“අපි ගැන එතකොට මිනිස්සු කතා වෙන්න ගන්නව. පත්තර වල අපි ගැන ලිපි පළ වෙනව”

“ඔයා ගැනනං මිනිස්සු දැනුත් කතා වෙනවනෙ විකුම්”

ආදිත්‍යා වහා පැන කීවා ය.

“මං දැක්ක මේ පෙරේදද කොහෙදත් ගොසිප් සයිට් එකක තියෙනව….ඇමති පුතා ආයෙත් පරණ පෙම්වතිය එක්ක කියල”

විකුම් ගේ මූණ ඇද වී යන හැටි ආදිත්‍යා දුටුවා ය. ඔහු ගැන ඒ වගේ පුවත් කන වැකීම ගැන දැන් ඇය ට රිදෙන්නේ නැත. ඊට වඩා රිදුම් දෙන තුවාලයක් හදවත මැද්දේ වෙයි. ඒ ඔහු සිය දරුවා ගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කිරීමයි.

“අනේ ඔය ගොසිප් සයිට් වල එවුං රීච් වැඩි කර ගන්න දාන්න බොරු හෑලි ඔයා විශ්වාස කරනවද ආදි…මන්නං හිතුවෙ නෑ ඔයා ඒව කියවනවවත් කියල”

“එහෙනං ඉතිං මේ අපි ගැනත් ලියන්න බැරියැ ඒ ගොසිප් සයිට් වලට. හරි හරි මට ඒවයිං වැඩක් නෑ. මොකද ඔයා මොන ගෑනි එක්ක මොන නාඩගම නැටුවත් මට ඇති වැඩක් නෑ. මට කමකුත් නෑ. මොකද මං දන්නව දැන්…ඔයා කොහොම මිනිහෙක්ද කියල. ඒ වගේ ම මං දැං හොඳට දන්න තව දෙයක් තියෙනව. ඒ ඔයා මගෙ හිතේ ඉන්න මං කැමති පිරිමියා නෙවෙයි කියල”

විකුම් ටික වෙලාවක් නිකට පිරිමදිමින් සිටියේ ය. මේ දින කිහිපය ට මේ ගැහැනු පරානය මේ තරම් වෙනස් වූයේ කෙසේ දැයි සිතන්නට ඔහු ට ඕනා විය.

“ආදි…අපි රණ්ඩු වෙන්න ඕන නෑ. අපි මේක විසඳ ගන්න හොඳම විදිහ ගැන කතා කරමු”

“පළවෙනි දේ…මට පුතාව මගෙං ඈත් කරන්න කිසි ඕන කමක් නෑ. දෙක…ඇමති බිරිඳක් වෙන කිසී පෙරේත කමක් මට නෑ විකුම්..මටයි මගෙ දරුවටයි ආදරේ කරන හිඟන්නෙක් ට වුණත් ඇත්තටම ආදරේ කරන්න මට පුළුවන් විකුම්”

“මේක ඔයාගෙ අන්තිම තීරණේ ද…”

“ඔයා කියන්න යන්නෙ පුතාව ඕෆනේජ් එකකට දාමු කියලනං…ඔව් මේක මගෙ අන්තිම තීරණේ”

විකුම් යහන මතින් නැගිට ගත්තේ ය. ඔහු ගේ හිතට කේන්තියක් පිවිසෙමින් තිබිණි.

“තමුසෙ මහ මෝඩ ගෑනියෙක් ඕයි”

කියා ගෙන කාමරයෙන් නික්ම ගියේ ය. ආදිත්‍යා දොර වසා අගුළු දැමුවා ය. ඇගේ හිතේ දුකක් නො වුණා ම නොවේ. නමුත් ඒ දෙතොලතර මන්දහාසයක් විය. විදුලි පහන් නිවා දැමු ආදිත්‍යා මින්දුල ව තුරුලු කර ගෙන ඔහු නිදා උන් තැන වැතිරුණාය.

සිය සඳළුතලාවේ වන පුටුව මතට වී දුමාල් බොහෝ වෙලා අහස දෙස බලා සිටියේ ය. අහස තරම් විසල් හිස් බවක් ඔහු ගේ හදවත අරක් ගෙන තිබිණි. ඒ හිස් කමට ඔහු කැමති ය. ඒ හිස් කම ඇතුළේ සියල්ල වන බව ද ඔහු දනී. අතීතයේ ගෙවී ගිය තත්පර වලින් ඉතා විශාල ප්‍රමාණයක් ඔහු ගත කර ඇත්තේ මේ විදිහට අහස දෙස බලා ගෙන ය. ඇල අයිනේ ගේ අසල විශාල ගස් නො වන නිසා අහසෙන් ඉතා විශාල කොටසක් පෙනේ. අහසත් පොළොවත් අතරේ පවත්නා හිස් කමෙන් සිය හදවත පුරවා ගැනීම ඒ කාලේ දුමාල් ගේ දෛනික ජීවිතයේ කොටසක් විය. ඔහු අම්මා ට කරදර කළ දරුවෙකු නොවේ. ඔහු ට මිතුරන් සිටියේ ද නැති තරමි. දුප්පත් කම නිසා දුමාල් ව මිතුරෙකු ලෙස පිළිගන්නට අනිත් ළමයින් අකමැති වූවාටත් වඩා, සිය දුප්පත් කම නිසා ඔහු අනිත් ළමයින් ගේ ඇසුරට වැටෙන්නට තරමක් බිය වූවා කියා අද සිහිපත් කළ හැක.

ඔටිසම් රෝගය පිළිබඳව මින්දුල නිසාවෙන්  කරුණු අධ්‍යයනය කරත්දී, ඒ රෝගයේ ඇතැම් ලක්ෂණ ඔහුට ද තිබී ඇති බව දුමාල් ට සිතිණි. සමාජයේ බොහෝ පුද්ගලයන් ට එවන් ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබිය හැකි බවත්, නමුත් එයින් අදහස් වන්නේ ඔහු ඔටිසම් රෝගියෙක් ය යන්න නොවන බවත් ඒ අධ්‍යයන වාර්තාවක ම තිබී ඔහු කියවූයේ ය.

කෙසේ වෙතත් අහසත් පොළොවත් අතරේ වන හිස් තැන අම්මා ගේ ඇස් වල වූ අධිෂ්ඨානයේ බැල්මෙන් පිරී තිබුණා ය කියා දැන් දුමාල් ට සිතේ. ආදිත්‍යා ගේ කොළ පාට ඇස් තියෙන්නේත් ඒ අවකාශයේ ම ය!

“පුතා නිදිද”

කියා අසා ඔහු ආදිත්‍යා ට පණිවිඩයක් යැව්වා ය. ඇස් පියා ගෙන හිතිවිලි ලෝකයක සිහිනයෙන් සැරිසැරූ ඇය ට ඒ ඉසිහින් හඬ පැහැදිලි ව ඇසිණ.

“ඔව්”

කියා ඇය ඉක්මනින් ලීවා ය. මේ අසරණයා ගැන වචනයකින් හෝ සොයා බලන කිසිවෙකු මෙලොව ඉන්නවා ය යන ආඩම්බරය ඇති ව ඇය මින්දුල ගේ කොපුලක් සිප ගත්තා ය.

දුමාල් ට ආමන්තා ගෙන් ඇමතුමක් ආවේ එතකොට ම ය. ඔහු දුරකතනය සවනට ගනිමින් අසුනෙන් නැගිට ගත්තේ ය.

“නිදි නෑ නේ…”

ඇය හුරතල් ස්වරයකින් පිලිවිසියා ය. දුමාල් ගේ දෙතොල් මත සිනහවක් ඇඳිණ.

“නෑ”

“අපිම කෝල් එකක් ගන්න ඕන ඉතිං. නිකමටවත් අපිව මතක් වෙන්නෑ”

එවර ආදරණිය නෝක්කාඩුවකි. දුමාල් ගේ සිනහව තවත් පැතිරිණි.

“අපේ අක්ක සමයම හොඳින් ඉන්නව ඇති නේ…”

“ඇයි දෙයියනේ ඉතිං ඒක මගෙං අහල හරියනවද….”

“නෑ ඔයාගෙං ඇහුවෙ…එයාගෙං ඇහුවනං කවදාවත් හොඳින් නෙමෙයි කියල කියන්නෑනෙ. ගිනි කන්දක් හිම තට්ටුවක් පොරොවගෙන ඉන්නව වගේ ඉන්න එකනෙ එයා කරන්නෙ”

“ඉතිං ළමයො…ඔයාට නොකියන දේවල් එයා මට කියයිද..”

“හ්ම්…ඒකත් ඇත්ත නේ..ඉතිං ඉකිං කොහොමද ඔයාගෙ සැප දුක්…සැපෙං නේ…”

“සැපෙං සැපෙං”

“නිවාඩුව අත ළඟටම ඇවිත්නෙ. එතකොට අපි හම්බ වෙමුකො එහෙනං”

ආමන්තා එසේ දුරකතන සංවාදය නිමා කිරීම දුමාල් ට සැනසීමක් විය. ඇය අනවශ්‍ය හරස් ප්‍රශ්න අසාවියි ඔහු සිටියේ බියෙනි. දුමාල් ගෙන් ඒ විදිහේ ප්‍රතිචාරයක් ලැබීම ගැන ආමන්තා ප්‍රමෝදයට පත් ව සිටියා ය. මන්ද යත් ඈ සිටියේ දුමාල් ආදිත්‍යා ගැන උනන්දුවකින් පසු වේ ය යන බිය සැක යුතුව වන නිසාවෙනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content