ඔබ සිටින්නේ විෂ සහිත සම්බන්ධතාවයක බව හඳුනාගන්නේ මෙහෙමයි 

ශක්තිමත් සම්බන්ධතාවයක් සෑම විටම විශ්වාසය මත පදනම්ව , එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය සහ ආදරය සමග ඉදිරියට ගලාගෙන යනවා. සම්බන්ධතාවයකදී අනෙකා වෙනුවෙන් පෙනී සිටීම , වගකීම සහ කැපකිරීම යනාදී කරුණුත් බෙහෙවින්ම බලපාන අතර යම් සම්බන්ධතාවයක් විවාහයක් වැනි සංකීර්ණ කාරණාවක් දක්වා රැගෙන යාමේදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණා බොහොමයක් තිබෙනවා. ඔබේ සම්බන්ධතාවය විෂ සහිත සම්බන්ධතාවයක් නම් එය විවාහයක් කරා රැගෙන යාමේදී ඔබ නැවත වරක් සිතිය යුතු වෙනවා. ඔබේ සම්බන්ධතාවය විෂ සහිත එකක්දැයි හඳුනා ගන්නේ කොහොමද ? 

විවේචනය කිරීම සහ පහත් කොට සැලකීම 

විවේචනය කිරීම් , අපහාස කිරීම් , සමච්චල් කිරීම් සහ පහත් කොට සැලකීම් වැනි අගෞරවයන්ට ඕනෑම සම්බන්ධතාවයකදී ඉඩක් නැත.ඔබේ සහකරු නිතරම ඔබව අවමානයට ලක් කරනවා නම් හෝ පහත් කොට සලකන්නේ නම් විශේෂයෙන්ම අන් අය ඉදිරියේ පුරුද්දක් වශයෙන් ඔබව විවේචනය කරනවා නම් එය කාලයත් සමග ඔබේ ආත්ම අභිමානයට දැඩි ලෙස හානි පමුණුවනවා. ඒ නිසා සම්බන්ධතාවයකදී විවේචනය කිරීම සහ පහත් කොට සැලකීම යනාදී කරුණු සාමාන්‍ය නොවන බව මතක තබා ගන්න.

නිහඬ ප්‍රතිකාරය ( Silent treatment ) 

සමහර පුද්ගලයන් තම සහකරුට හෝ සහකාරියට පුරුද්දක් වශයෙන් ලබාදෙන මේ නිහඬ ප්‍රතිකාරය හෙවත් Silent treatment මගින් අනෙකාට දැඩි ලෙස මානසික බලපෑම් ඇති කරනවා. යම් ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවට අනෙකාව මග හැරීම , දින කිහිපයක් හෝ සති කිහිපයක් කතා නොකර සිටීම සහ කතා කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙහි ස්වභාවයයි. ගැටලුවක් හෝ මත භේදයක් ඇතිවූ විට හොඳින් සන්නිවේදනය කොට එය විසඳා ගැනීම කළ යුතු වන අතර යම් අයුරකින් ඔබට ඔබේ සහකරු නිහඬ ප්‍රතිකාරය ලබා දෙනවා නම් ඒ පිළිබඳව නොසලකා හරින්නට එපා.

ඔබව හුදෙකලා කිරීම 

දෙදෙනෙකු සම්බන්ධතාවයකට පැමිණීමට පෙර ඔවුන් දෙදෙනා ජීවත්වීමට හුරු වූ පරිසරයක් සහ ඔවුන්ගේම ලෝකයක් තිබෙනවා. මෙය සම්බන්ධතාවයකට පැමිණීමෙන් පසුව වෙනස් විය යුතු නැහැ. සෑම විටම අනෙකාටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු බව සිතිය යුතු අතර පවුලේ අය, මිතුරන් සහ හිතවතුන් ඇසුරු කිරීමට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. යම් අයුරකින් ඔබේ සහකරු ඔබව හුදෙකලා කිරීමට සහ ඔබ අන් අය ඇසුරු කිරීම පාලනය කරනවා නම් එය විෂ සහිත සම්බන්ධතාවයක සලකුණක් විය හැකියි.

මූල්‍ය පාලනය 

සම්බන්ධතාවයකදී මූල්‍ය කටයුතු පිළිබඳව විනිවිද භාවය පවත්වා ගැනීම ඉතා ඥානවන්ත දෙයක්.නමුත් එක් අයෙකු පමණක් මූල්‍ය පාලනය සම්පූර්ණයෙන් භාර ගන්නා විට සහ එය හසුරවනා විට , අනෙක් සහකරුට කිසිදු ප්‍රවේශයක් හෝ වියදම් කිරීමේ හැකියාවක් ලබා නොදෙන විට එය තරමක් අසාමාන්‍ය තත්වයක්. සම්බන්ධතාවයක් තුළදී ඔබ සෑම අතින්ම ස්වාධීන විය යුතු අතර විශේෂයෙන්ම මූල්‍ය කටයුතු වලදී ඔබේ සහකරු ඔබව පාලනය කිරීමට උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි.

ශාරීරිකව හෝ මානසිකව අනාරක්ෂිත බවක් දැනීම

ඕනෑම සම්බන්ධතාවයකදී කෙනෙක් අනෙකා ගෙන් ශාරීරික සහ මානසික ආරක්ෂිත බව බලාපොරොත්තු වනවා. ඔබේ සහකරු ඔබට වද හිංසා පමුණුවනවා නම් , ගැටලුවකදී ආවේගශීලී ලෙස හැසිරෙනවා නම් , ඔබට නිතරම මානසික පීඩා ගෙන දෙනවනම් , යම් අවස්ථාවලදී ඔබෙන් පළිගැනීම් සිදු කරනවා නම් එයින් හැඟවෙන්නේ ඔබ ශාරීරිකව සහ මානසිකව ඔබේ සම්බන්ධතාවය තුළ අනාරක්ෂිත බවයි.මෙය විෂ සහිත සම්බන්ධතාවයක ප්‍රධානතම සලකුණක්.

දොස් පැවරීම 

සම්බන්ධතාවලදී හෝ විවාහයකදී ගැටලු ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක්. එහිදී ඔබ වැරදි හෝ නිවැරදි වන්නට පුළුවන්. නමුත් බොහෝවිට බොහෝ දෙනා තම වැරදි පිළිගැනීමට සූදානම් වනවා වෙනුවට අනෙකාට දොස් පැවරීම පුරුද්දක් කර ගන්නවා. එයින් අනෙකා දැඩි ලෙස අපහසුතාවයට පත්වන අතර එය මානසික පීඩාවක් දක්වා පවා වර්ධනය වන්නට පුළුවන්. ඔබේ සහකරු ඔබ නිවැරදි අවස්ථාවන්වලදී පවා ඔබට දොස් පවරමින් ඔබව පීඩාවට පත් කරනවා නම් එය නොසලකා හැරිය යුතු කරුණක් නොවේ.

ප්‍රමුඛත්වය නොදීම 

සම්බන්ධතාවයක දී ප්‍රමුඛත්වය ලබාදීම අතිශයින්ම වැදගත් වනවා. ප්‍රමුඛත්වය ලබාදීම මගින් ඔබ අනෙකාට ඇති ආදරය සහ ගෞරවය පෙන්වා දෙන අතර එය සම්බන්ධතාවයක ඉදිරි ගමනට අතිශයින්ම බලපානවා. ඔබේ සම්බන්ධතාවය තුළදී ඔබේ සහකරු ඔබට සහ ඔබේ සම්බන්ධතාවයට ලබා දෙන ඉඩ කෙතරම්ද ? ඔබේ සහකරු සියලු වැඩ අවසානයේදී පමණක් ඔබට කාලය ලබා දෙනවාද ? මෙවැනි කරුණු සම්බන්ධතාවයක් තුළදී ඇත්ත වශයෙන්ම ඔබ අවධානය යොමු කළ යුතු කරුණු වනවා.

අතීත මතක 

සෑම දෙනාටම අතීතයක් තිබෙනවා. ඔබ සම්බන්ධතාවයකට පැමිණීමේදී පැමිණෙන්නේ ඔබේ අතීතයත් සමඟයි. එය කිසිවිටෙක වෙනස් කරන්නට ඔබට බැහැ. ඔබේ සහකරු ද එසේමයි. සම්බන්ධතාවය ආරම්භයේදී ඔබේ සහකරු විසින් එම අතීතය පිළිගන්නවා නම් සම්බන්ධතාවය අතරතුරදී ඇතිවන ගැටලු වලදී එම අතීත මතක අවුස්සමින් පහර ගැසීම  ඉතාම අසාධාරණ කාරණාවක්. ඔබේ සහකරු පුරුද්දක් වශයෙන් ගැටළුවක් අතරතුරදී ඔබේ අතීත මතක වලින් ඔබට පහර දෙනවා නම් , ඔබව පීඩාවට සහ අපහසුතාවයට පත් කරනවානම් එයින් අදහස් වන්නේ ඔබ සිටින්නේ අතිශයින්ම විෂ සහිත සම්බන්ධතාවයක බවයි.

විෂ සහිත සම්බන්ධතාවයක සිටීම පහසු කාරණාවක් වන්නේ නැහැ. එයින් ඇතිවන මානසික පීඩාව සහ කම්පන බොහෝ විට ජීවිත කාලය පුරාම පවතිනවා. නමුත් ඔබ සිටින්නේ විෂ සහිත සම්බන්ධතාවයක බව දැනෙන පළවෙනි මොහොතේම ඊට සුදුසු පියවරක් ගත යුතු වනවා. එයින් ඔබට ඉදිරියේදී ඇතිවිය හැකි මානසික කම්පන බොහෝමයක් අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles