මනුජ දියතලාව බලා ගියේ ප්‍රශ්න එලෙසින්ම තිබියදීය. නිර්ධා යළි දියානිය ඉල්ලා නොපැමිණියා වුවද, ඇගේ නිහඬ වීම මනුජ දුටුවේ සුනාමියකට පෙර ආපස්සට ඇදෙන රැල්ලේ නිහැඬියාව ලෙසිනි.
විමුක්ති ගේ දෙමාපියන් විමුක්ති සහ මනුර්‍යාගේ විවාහය පිළිබඳව වන පුවත පිළිගත්තේ විමුක්ති ට සිතා ගන්නට නොහැකි තරමේ උද්දාමයකිනි.
” උඹ හදිසි වෙලා ඒ කෙල්ලව බැඳගත්ත එකෙන්, අන්තිමේදි ඒ අම්මාලා ඉස්සරහ අපිට ඔලුව කෙලින් තියාගෙන කතා කරන්න බැරි වෙච්ච එක වුනේ…අනෙක් පැත්තෙන් ප්‍රේම්ට කියන්න කතාවක් ගොතපල්ලකෝ….”
” තාත්තේ……..”
විමුක්ති උන්නේ අම්මාගේ සහ තාත්තාගේ ප්‍රතිචාරය සිතාගන්නට නොහැකිවය.
” ප්‍රේම් ගේ දරුවා ඔයාට යෝජනා කලා තමයි… ඒත් ඉතින්, කොයි වෙලේවත් අපි කිව්වද ළමයෝ ඒකම කරගන්න කියලා…. ඔයාගෙන් අහන අහන වතාවේ ඔයා කියන්නේ කසාද ගැන හිතන්නෙ නෑ… කෙල්ලෝ ඕනිම නෑ…. ඒකයි මේකයි නේ.. ඉතින්, අපි කොහොමද මෙහෙම ළමයෙක් ගැන දන්නේ.. ප්‍රේම් මට ඒ දෝණි ගැන කිව්වම ඒකයි මම කිව්වේ කතා බහ කරගන්න ඉඩ දෙමු කියලා…”
“මං …මං…අනේ මන්දා.. මට පිස්සුත් වගේ… මෙච්චර ඉක්මනට.. මේක විසඳෙයි කියලා මම හිතුවේම නෑ. ඇත්තමයි… මගේ ඔලුව විකාර වෙලා තිබුනේ… සින්දූපා ලගේ ගෙදරින්න් අවධාරණය කලා අම්මලට මේක පහදලා , කතා බහ කරගෙන එන්න කියලා… මම … හම්මේ…”
විමුක්ති උන්නේ ප්‍රීතිය දරාගන්නට නොහැකිවය.
” මම මනුර්‍යාව හම්බෙලා එන්නම්..”
” අපිත් ලෑස්ති වෙන්නම් ඉතින්…”
“ඒත් අම්මේ.. එහෙම එකපාරටම යන එක… කරදර වෙයිනේ…?”
“”අනේ විමුක්ති මේහ්…. කසාද බැඳගෙන ගෙවල් වලට එනකොට ඔක්කොම හොඳයි… දැන් මේකද කරදරේ ?.”
“අම්මේ…”
විමුක්ති සිනාසෙමින් ඉවසුවේය. අම්මා සහ තාත්තාගේ ප්‍රීතිය ඔහුට සිතාගන්නට නොහැකි තරමේය. වසර කිහිපයක ප්‍රේම සම්බන්ධද බිඳ වැටීමෙන් පසු විවාහය සහ ප්‍රේමය පිළිබඳව තමාට කිසිඳු විශ්වාසයක් නොවූ නිසාම, අම්මලාටද ඒ බවම පවසමින් කල් මැරීම තම පුරුද්ද වී තිබූ බව විමුක්ති සිහි කලේය. විදෙස් ගත වූ පසු මනුර්‍යාගේ හමුවීම ක්‍රම ක්‍රමයෙන් ඒ හැඟීම දුරලූවේය. ඇය ජීවිතය පිළිබඳව යලි යලි බලාපොරොත්තු තැනුවාය. ඇය හා එක්ව ජීවිතය ගෙවා දැමීම පහසු බව තමාට පසක් වූයේය.
ලංකාවට පැමිණි පසු අම්මලා සින්දූපා හමුවන ලෙස පැවසූ පසු එයට එකඟ වූයේද, අම්මලා හා හිතුවක්කාරකමකට නොගොස් ප්‍රශ්නය විසඳා ගැනීමට උපක්‍රමශීලි බවක් ලෙසින් බව, විමුක්ති සිහි කලේය. ඒ නිසාම සින්දූපා සහ මනුජගේ සම්බන්ධයද නිරාවරනය වීමෙන් පසු සියල්ල යම් එක් මාවතකට වැටුණ බවද ඔහු සිහිපත් කලේය. සින්දූපා ඉතා විශ්වාසයෙන් තමා හා කාරණා බෙදා ගැනීම තුළ තම සැලැස්ම තවත් පහසු වූ බවද විමුක්ති සිහි කලේය.
එහෙත්, අම්මා සහ තාත්තා මෙතරම් පහසුවෙන්, තමා සහ මනුර්‍යා ගේ තීරණය පිළිගැනීම විමුක්ති ට පිළිගැනීම පහසු වූයේ නැත. ඔහු යළි අම්මා වෙත ගියේය. ඕ උන්නේ මුළුතැන්ගෙයි හි යම්දෙයක් අසුරමිනි.
” ඔය මොනවාද ?..”
“මම දවල් හදපු වටලප්පම… කෑවේ නෑනේ.. මඟින් තව අඩුපාඩු ගමූ… මේකත් ගෙනියමු…”
විමුක්ති අම්මා දෙස බලා උන්නේ කුමක් පවසන්නටදැයි සිතාගන්නට නොහැකිවය. අම්මා මෙතරම් ඉක්මනින් තම හිතුවක්කාරකම, ඉවසීම දැන් දරාගත නොහැක්කේ තමාට බව විමුක්ති සිතුවේය. ඒ බව ඔහුගේ හදවතට දැනුනේය
” අම්මේ… “
“මගේ පුතේ …. ඔය කියන විස්තරේ හැටියට… අනෙක් මොක නැතත්… ඒ දරුවා ඔයාගේ විශ්වාසේ රකින, ඔයාව විශ්වාස කරන, ඔයා එක්ක ජීවිතේ ගැන විශ්වාසෙන් ඉන්න , ඔයාව මම ගානට බලා කියාගන්න කෙල්ලෙක් බව ඔයාගේ වචන, ඔයාගේ ඉරියව් වලින් මට දැනුනා මගේ පුතේ….. ඔයා ඔය කතාවේ තව නොකීව බොහෝ දේවල් තියෙනවා කියලත් මට තේරෙනවා… ඔයාට කොවිඩ් හැදුන වෙලේ ඔයාව බලාගත්තේ එහෙ නර්ස් කෙනෙක් කිව්වට, ඒ මේ ළමයා නේද ?…”
විමුක්ති කෙල පිඬක් ගිල්ලේය. හිස සැලුවේය. විමුක්ති ගේ මව කරමින් උන් කාර්‍යය නවතා දමා විමුක්ති වෙත ඇවිද විත් , මදක් එසවී ඔහුගේ හිස පිරිමැද්දේය.
” මගේ ඇස් දෙක පියවෙන්න කලින්, ඒ දරුවා එක්ක මට එක වහලක් යට ඉන්නෝනි මගේ පුතේ… මට.. මට.. දුවෙක් ඕනි…”
“මොනවාද අම්මේ මේ… හරි.. අහන්නකෝ..”
“ඔය දෙන්නා ආයේ යද්දී, තාත්තයි මායි ටික කාලෙකට එහෙ යන්න එන්නද ? … ටික කාලෙකට… ඒ දරුවා කැමති වෙයිද ? මම .. මම… මං හරි බයෙන් හිටියේ.. අන්තිමේදි ඔයා …තනිවේවි කියලා.. මේ බිස්නස් , අපේ අබ්‍රෝඩ් බිස්නස් … ඔක්කොම එක්ක.. ඔයා .. ඔයා හුදෙකලා මිනිහෙක් වේවි කියලා… ඒත් මයේ පුතේ… ඒ දරුවා…. මගේ පපුවට සැනසීම දුන්නා… මගේ පපුව ට… මට ..මට ඒ බර නෑ පුතේ…”
විමුක්ති ගේ අම්මා ඔහු වැලඳගෙන හඬමින් උන්නාය. අම්මා තමා පිළිබඳව මෙතරම් බරක් දරා උන් බව, විමුක්ති සැබැවින්ම දැන උන්නේ නැත. ඔහු එබවක් සිතා තිබුනේද නැත. විමුක්ති අම්මාගේ හිස පිරිමැද්දේය. පවසන්නට කිසිවක් ඔහුට සිහි වූයේ නැත.
” යන්න … ඔයා ලෑස්ති වෙන්න…”
මද වේලාවකින් අම්මා එලෙස පවසනතුරු විමුක්ති උන්නේම ඒ කල්පනාවෙමිනි.
” මේ රෑ ඔය ගමන යන්නෝනිද අම්මේ ? හෙට.. දවල් වෙලා.. ඒගොල්ලන්ටත් කියලා… “
“නෑ නෑ.. ඔයා බැරි නම් ඉන්න … මම තාත්ත එක්කන් යනවා… ආයේ තව වරුවක් ඉවසන්නේ නෑ.. මට මගේ දරුවාව බඳාගෙන ඉඹින්න ඕනි…”
” මොකක් ..අම්මේ… “.
” ඔයා එනවා නම් එන්න … අපි ලෑස්ති වෙලා ඉන්නේ… “
“අම්මේ දැන් වෙලාව බලන්නකෝ.. අපි එහෙට යනකොට අටට කිට්ටු වෙයු…”
“ඒකට කමක් නෑ.. ඔයා එහෙට පණිව්ඩ එහෙම දෙන්නේ නෑ තේරුනාද ??……”
” අනේ මන්දා අනේ… මම තමා අන්තිමේදි නරක මිනිහා වෙන්නේ…”
අම්මා පසෙකට වී කුටු කුටි ගාමින් යළි වටලප්පම අසුරන්නය වූවාය. විමුක්ති පසෙකට ඇවිද ගියේ තාත්තා සොයමිනි. තාත්තාද, උන්නේ ගීතයක් උරුවම් කරමිනි.
” තාත්තේ.. හෙට මේ ගමන යමුද ?”
” නෑ නෑ.. එහෙ දෙමාපියෝ කිව්වේ, අපි එක්ක කතා බහ කරලා මේක විසඳගෙන එන්න කියලානේ… දැන් ඒක කරගන්න ආයේ නැකැත් මොකටද ?…”
“ඒත් තාත්තේ.. “
“මට සන්තෝසයි පුතා… මට සන්තෝසයි … උඹ ප්‍රේම්ගේ කෙල්ල බලන්න ගියාට, කතා බහ කරාට, දියතලාවේ එක්ක ගියාට… මට සැකේම තිබුණා… උඹ ඒ කෙල්ල ගැන කසාද බඳින අදහසක් නෑ කියලා.. මං ඒත් අම්මට කිව්වා , ලංකාවෙ ඉන්න සතිදෙක තුනේ ටයිම් පාස් එකක් කරගෙන , අපේ හිතත් රිලැක්ස් එකේ තියන්න උඹ මෙ සෙල්ලමක් කරනවාද කියලා…. අම්මායි මායි මේ කොච්චරක් හම්බ කලත්, උඹදවසක තනි වෙනවා නේද කියලා අපි දෙන්න හැම රෑකම ශොට් එකක් දාන ගමන් කතා කරනවා පුතේ.. කතා කරනවා ..”
විමුක්ති තාත්තා වැළඳගත්තේය.












