අනියම් සැපක් නිසා තම දරුවා මරු තුරුලට යැවූ මවක්

මේ කතාව ආරම්භ වෙන්නෙ 2016 ජුනි මාසෙ 10 වෙනිදා.

සිද්දිය වුණේ කොළඹදි.

කොළඹ ප්‍රදේශයේ එක්තරා පොලිසියක් මේ වෙලාවෙ ඉන්නෙ අවුරුදු විසි හයක් වෙන ගෑණු කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන ගමන් එයාව අත් අඩංගුවට අරගෙන. කතාව කියවන්න ලේසි වෙන්න මම එයාට තරූ කියලා නමක් දාන්නම්.

තරූ ඇත්තටම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. හැබැයි අවුල කියන්නෙ මේ වෙද්දි තරූ ළඟ එයාගෙ දරුවා නැති එක. තරූ දරුවත් එක්ක ජීවත් වෙන්නෙ කුලියට ගත්ත ගෙදරක. මෙයාගෙ මහත්තයගෙ නම් සුනිල්. හැබැයි තරූයි සුනිලුයි මේ වෙද්දි වෙනම තමයි ජීවත්වෙන්නෙ. තාම ඩිවෝස් වෙලා නැති උනාට මේ දෙන්නා තැන් දෙකක තමයි ජීවත් වෙන්නේ. කොහොමහරි තරූ වැඩ කරන්නෙ ගාමන්ට් එකක. ඉතින් වැඩට යන දවසට තරූ දරුවව ඩේ කෙයා එකක දාලා යනවා. මේ බබාගෙ වයස අවුරුදු දෙකකට කිට්ටුයි. තරූට නිවාඩු දවසට තරූ දරුවත් එක්ක ගෙදෙට්ට වෙලා ඉන්නවා.

කොහොමහරි මේ සිද්දිය වෙන දවසෙ තරූ නිවාඩු නිසා ගෙදර තමයි ඉඳලා තියෙන්නෙ. එදා මේ බබා පඩිපෙල උඩ සෙල්ලම් කර කර ඉද්දි වැටිලා තියෙනවා. දරුවා වැටිච්ච ගමන් තරූ කරලා තියෙන්නෙ මොකද්ද දුවගෙන ඇවිත් බලලා තියෙනවා දරුවට මොකක් හරි කරදරයක් වෙලා තියෙනවද කියන එක.

එහෙම බලද්දි තමයි තරූට තේරිලා තියෙන්නෙ තමන්ගෙ දරුවා මිය ගිහින් කියන එක.

කොහොමහරි මෙවෙලෙ තරූට පොඩ්ඩක් බය හිතිලා තියෙනවා තමන් දරුවෙක් එක්ක තනියෙන් ජීවත්වෙන මනුස්සයෙක් නිසා මිනිස්සු මේ මරණෙ දිහා සැක සහිත විදියට බලලා තමන්ට හිරේ යන්න සිද්ද වේවිද කියලා. ඒ වගේම හිතේ බයයි දුකයි දෙකම හන්දා මාධවී කල්පනා කරලා තියෙනවා “මං මේ ගෙදර ඉන්නෙත් තනියෙන් වෙච්ච එකේ මම මේ මරණෙ ගැන කාටවත් කියන්නෙ නෑ” කියලා.

ඉතින් වැඩිදුර හිතන්නෙ නැතුව තරූ මොකද්ද කරලා තියෙන්නෙ දරුවගෙ මැරිච්ච ශරීරෙට ඇඳුමක් අන්දවලා, ඉන්පස්සෙ රෙද්දකින් පොරවලා බස් එකේ පැය දෙකක විතර ගමනක් ගිහින් කැළණි පාලම ළඟට ඇවිත් තියෙනවා. ඒ ඇවිල්ලා පාලම උඩින් දරුවගෙ පණ නැති ශරීරෙ ගඟට අත ඇරලා තරූ ආපහු ගෙදර ඇවිත් තියෙනවා.

තරූ හිතාගෙන උන්නට ඔක්කොම ප්‍රශ්න එතනින් ඉවරයි කියලා කේස් එක පත්තුවෙන්නෙ සුනිල් ආයෙ වතාවක් තරූට කෝල් කරාම. එයා කොහොමත් දවස් කීපෙකට සැරයක් කතාකරනවා දරුවගෙ දුක සැප අහන්න. ඉතින් මෙදා පාරත් සුනිල් කතා කරලා “දරුවට කොහොමද?” කියලා ඇහුවම තරූ කියනවා මෙන්න මෙහෙම.

“පඩිපෙලෙන් වැටිලා දරුවා මලා. මට මේ තියෙන ප්‍රශ්න කරදර මැද්දෙ මට තව ප්‍රශ්නයක් ඔලුවට දාගන්න බැරි හන්දා මම දරුවගෙ මැරිච්ච ශරිරෙ කැළණි ගඟට දැම්මා” කියලා. 

ඕක මුලින් අහන සුනිල්ට යකා නගිනවා. ඇයි ඉතින් හරිනම් මේ මනුස්සයා තමන්ගෙ දරුවා මැරිච්ච විත්තියත්, කරන්න ඕන දෙයක් ඉස්සෙල්ලා කරන්න කලින් තමන්ට කියන්නෝන එකේ ඒ කිසිම දෙයක් නොකර තනි තීරණේට මෙහෙම කරේ ඇයි කියලා. තරහා එක්කම සුනිල්ට පොඩ්ඩක් සැකත් හිතෙනවා. අන්න ඒ හන්දා තමයි සුනිල් ගිහින් මේ සිද්දිය පොලිසියට කියන්නෙ.

ඔන්න ඔය පැමිණිල්ල හන්දා තමයි තරූව පොලිසියෙන් ගෙන්නලා ප්‍රශ්න කරන්නෙ.

ඉතින් තරූ කියන විදියට “මං කිසිම මිනීමැරුමක් කරේ නෑ. හැබැයි ඇත්ත මං කරපු දේ හන්දා වරදක් වෙලා තියෙනවා”.

හැබැයි තරූ මේ මොනවා කිව්වත් පොලිසියට හිතෙන්නම මෙතන මොකක් හරි සැක කටයුතු දෙයක් තියෙනවම තමයි කියලා. මොකද මැරිච්ච දරුවගෙ ශරීරෙ රෙද්දකින් ඔතාගෙන පැය දෙකක් තිස්සෙ ගමනක් ගිහින්, කැලණි පාලමෙන් පල්ලෙහට දරුවගෙ ශරීරෙ විසි කරනවා වගේ බය හිතෙන දෙයක් ගෑනු කෙනෙක්ට තනියෙන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ පොලිසියට හිතෙනවා. ඒ වගේම තරූ හැසිරෙන විදියෙ, එයා දේවල් කියන කරන විදියෙනුත් පොලිසියට පොඩ්ඩක් සැක හිතෙනවා මෙතන තාම තමන් නොදන්න මොකක් හරි දෙයක් තියෙනවම තමයි කියන එක.

පොලිසිය සැක හිතනවා මෙතනදි තරූට තව කවුරුහරි උදව් කරන්නම ඇති කියලා.

අනික තරූ කිව්වට “පැය දෙකෙන්” ආවා කියලා එයා කිව්ව වෙලාව එක්ක බලද්දි ඒ රූට් එකේ පැය දෙකෙන් කැලණී පාලම ලඟට එන්න අමාරුයි. අඩුම පැය තුනක්වත් යනවා. ඉතින් මෙතනදිත් පොලිසියට පොඩ්ඩක් සැක හිතෙනවා.

අනික දරුවගෙ ශරිරෙ මූණෙ හිටන් වහගෙන තරූ බස් එකේ එද්දි පැය දෙකක් පුරාවට මිනිස්සු ඒ ගැන සැක කරේ නැද්ද? දරුවා හෙලවෙන්නෙවත් නැත්තෙ ඇයි කියලා මිනිස්සු හිතුවෙ නැද්ද කියන සැකෙත් පොලිසියට තියෙනවා.

හැබැයි තරූ කියන විදියට කාටවත් එහෙම සැකයක් ඇතිවෙලා නෑ. හැබැයි මේ වෙද්දි පොලිසියට තේරිලා ඉවරයි තරූ මොකක් හරි ලොකු දෙයක් හංගනවා කියන එක. ඒ නිසාම පොලිසිය තව තදට ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. අන්න එවෙලෙ තමයි තරූට තේරෙන්නෙ තමන්ට තව දුරටත් බොරු කරන්න බෑ දැන් කරන්න තියෙන එකම දේ ඇත්ත කියන එක විතරයි කියලා.

කතාව පටන්ගන්නෙ ඇත්තටම මෙතනින්.

කොහොමහරි තරූ කොච්චර අඬ අඬා එකම බොරුව කිව්වත් පොලිසිය පොඩ්ඩක්වත් ඒක විශ්වාස කරන්නෙ නෑ. ඒ අතරෙම සුනිල් පොලිසියට කියනවා “තරූ ඒ ගෙදර තනියෙන් නෙවි උන්නෙ එයාට තව තරුණ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුණා” කියලා.

ඒ මනුස්සයගෙ නම අර්ජුන. සුනිල් මේ වෙද්දිත් පොලිසියට අර්ජුන ගැන කියලා තියෙන්නෙ “අර්ජුන වැඩ කරන්නෙත් තරූ වැඩ කරන ගාමන්ට් එකේමයි. දෙන්න අඳුනගෙන තියෙන්නෙත් ඒ ගාමන්ට් එකේදි” කියලා. මේ නිසාම පොලිසිය තරුගෙන් අහනවා කෝ අර්ජුන කියලා.  

එතකොට තරූ කියනවා “අර්ජුන මං එක්ක හැමදාම ඉන්නෙ නෑ. එයා දවස් කීපෙකට සැරයක් තමා එන්නෙ. අනිත් දවසට එයා එයාගෙ ගෙදර ඉන්නෙ කියලා. ඒ වගේම මේක වෙච්ච දවසෙ අර්ජුන අපෙ ගෙදර උන්නෙත් නෑ” කියලා.

හැබැයි තරූ කියන දේ පොඩ්ඩක්වත් විශ්වාස කරන්න බැරි හන්දා පොලිසිය අර්ජුනව හොයන්න කණ්ඩායමක් දානවා. ඒ කණ්ඩායම අර්ජුනව හොයද්දි අනිත් කණ්ඩායම තරූගෙන් දිගටම ප්‍රශ්න කරනවා. හරස් ප්‍රශ්න අහද්දි තරූට උත්තර පැටලෙනවා. අනික එහෙම වෙලාවක තමයි එයාගෙ කටෙන් පිටවෙන්නෙ “දරුවා මැරුණෙ හදිසි අනතුරකින් නෙවි අර්ජුන හන්දා” කියලා. 

“අර්ජුන දරුවට ගැහුව හන්දා තමයි දරුවා මැරුණෙ. අපි දරුවගෙ මිනිය කැළණි ගඟට දැම්මෙ නෑ. ඒ වෙනුවට වෙන තැනක වලදැම්මා” කියලා තරූගෙ කටෙන් පිටවෙනවා.

කොහොමහරි මේ අතරෙම පොලිසියට පුලුවන් වෙනවා අර්ජුනව හොයාගන්න. හැබැයි තරූ වගේම අර්ජුනත් මුලින් බොරු තමයි කියන්නෙ. ඒ උනාට පොලිසිය දිගටම ප්‍රශ්න කරද්දි අර්ජුන පිළිගන්නවා “මං ගහපු පාරකට තමයි ළමයා මැරුණෙ. අපි දෙන්නා එදා රෑවෙනකම් මිනිය ගෙදර තියාගෙන රෑ වෙලා ත්‍රීවිල් එකක නැගලා අපේ අම්මලගෙ ගෙවල් පැත්තෙ පාලු ඉඩමක වල දැම්මා” කියලා.

අන්න ඒ අනුව පොලිසිය අර්ජුනවත් එක්කරගෙන ඔය කිව්ව පාලු ඉඩමට යනවා. එතනදි එයා කියනවා “මෙතන තමයි වල දැම්මෙ” කියලා. ඒ උනාට කොච්චර හෑරුවත් කිසිම හෝඩුවාවක් හම්බෙන්නෙ නැති තැන පොලිසියට සිද්ද වෙනවා අකුලගෙන යන්න. එහෙම යන්න හදද්දි තමයි ගමේ මනුස්සයෙක් ඇවිත් මරු කතාවක් කියන්නෙ.

“මහත්තයො අර පේන වෙලට එහායින් පාලු ඉඩමක් තියෙනවා. දවස් කීපෙක ඉඳලා හරි ගඳක් එනවා ඒ පැත්තෙන්. මිනිස්සු ඒ පැත්තට යන්නෙ නෑ වැඩිය” කියලා. කොහොමහරි ඔන්න ඔය කතාව උඩ ඒ පාලු ඉඩම සර්ච් කරන පොලිසියට ඇත්තටම අර වලදාපු දරුවගෙ ශරීර කොටස් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම DNA පරීක්ෂනේකින් ඒ තරූගෙ දරුවමයි කියන එක හොයාගන්නත් පුළුවන් වෙනවා. 

ඒ වගේම මෙතනදි පොලිසියට පුළුවන් වෙනවා ඇත්තටම දරුවට මොකද උනේ කියන එකත් හොයාගන්න.

“එදා මම අර්ජුනගෙ ශර්ට් එකක් ටේලර් ශොප් එකට දීලා මහගන්න එළියට ගියා. ගෙදර හිටියෙ අර්ජුනයි දරුවයි විතරයි. මම ආපහු ගෙදර එද්දි දරුවට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුවකුත් අරගෙන ආවෙ. දරුවා ඒකෙන් අර්ජුන එක්ක සෙල්ලම් කර කර උන්නෙ. කොහොමහරි ඒකෙ තිබ්බ නූලකට අර්ජුනගෙ අත කැපිච්ච හන්දා අර්ජුන හොඳටම තරහා ගිහින් දරුවට ගැහුවා. එවෙලෙ බයවෙච්ච පාරටයි රිදිච්ච පාරටයි දරුවට චූත් ගියා. අර්ජුනට ඒකට තව තරහා ගියා. එයා කොසු මිටෙනුත් දරුවට ගැහුවා. අර්ජුන දිගටම ගහද්දි දරුවගෙ ඇස් දෙක උඩ ගිහිල්ලා නාහෙන් කටෙන් ලේ ආවා.

අන්තිමේ බලද්දි දරුවා මැරිලා. කරන්න දෙයක් නැති තැනයි අපි මෙහෙම කරේ” 

අන්තිමේදී, තමන්ගේම අම්මාගේ කාමුක ආසාවල් වගේම නොසලකා හැරීම් මැද්දෙ තනි වෙච්ච ඒ අවුරුදු දෙකක අහිංසක දරුවාට මේ ලෝකෙන් සමුගන්න සිද්ධ වුණේ, තිරිසනෙකුගේ ම්ලේච්ඡ වදහිංසාවල ගොදුරක් වෙලා.

තමන්ගේම ලෙයින් ඉපදිච්ච දරුවා තමන් ඉස්සරහම ලේ පෙරාගෙන, බය වෙලා, හුස්ම ගන්න බැරුව මැරෙද්දිත්, ඒ අම්මණ්ඩිට ලොකු වුණේ තමන්ගේ අනියම් සැපතයි බේරීමයි විතරයි. මැරිච්ච දරුවා වෙනුවෙන් අවසන් ගෞරවය දෙනවා වෙනුවට, මිනීමරුවාත් එක්ක එකතු වෙලා දරුවාගේ ශරීරෙ පාළු ඉඩමක වළ දාලා හංගන්න තරම් තරූගෙ මාතෘත්වය කාලකන්නි වෙලා තිබුණා.

නීතියට පුළුවන් වෙයි වැරදිකරුවන්ට හිරගෙවල් ඇතුළේ දඬුවම් දෙන්න.

 හැබැයි, තමන්ට ආරක්ෂාව දෙයි කියලා අන්තිම මොහොත වෙනකම්ම විශ්වාස කරපු අම්මා බලා ඉද්දීම, කොසු මිටි පාරවල් කාගෙන නාහෙන් කටෙන් ලේ පෙරාගෙන අවසන් හුස්ම හෙලපු ඒ අහිංසක දරු පැටියාගේ ආත්මයට සාධාරණයක් ඉටු කරන්න මේ ලෝකයේ කිසිම දඬුවමකට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ.

Related Articles

Don't Miss


Latest Articles