ඒ 1992 මාර්තු 27
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොට්ටයම් කියන්නේ ක්‍රිස්තියානි ජනතාව ගොඩක් ජීවත් වුණු පල්ලි වගේම කන්යාරාමත් ගොඩක් තිබුණු ප්‍රදේශයක්. ඒ නිසාම මිනිස්සු මේ වගේ ආගමික ස්ථාන දිහා බැලුවේ ලොකු ගෞරවයකින්.
ඒ අතර තිබුණු ප්‍රසිද්ධ කන්‍යාරාමයක් තමයි ශාන්ත පියුස් කන්‍යාරාමය. රටේ විවිධ ප්‍රදේශවලින් ආපු තරුණියන් වගේම කන්‍යා සොහොයුරියන් ගොඩක් මෙතන නැවතිලා අධ්‍යාපන කටයුතුත්, ආගමික කටයුතුත් කරගෙන ගියා.
ඒ අතරින් හැමෝගෙම ආදරය දිනාගෙන හිටපු අවුරුදු 21ක තරුණ කන්‍යා සොහොයුරියක් තමයි සිස්ටර් අභයා. එයා කොට්ටයම් වල BCM විද්‍යාලයේ ඉගෙන ගනිමින් තමයි හිටියේ. 1992 මාර්තු මාසේ එයාට ගොඩක් වැදගත් අවසාන විභාගයකට මුහුණ දෙන්නත් තිබුණා.
ඒ නිසා මාර්තු 27 වැනිදා පාන්දර එයා එලාම් එක තියාගෙන නැගිටින්නේ පාඩම් කරන්න හිතාගෙන.
හැබැයි එදා පාන්දර එයා කන්‍යාරාමයේ කුස්සිය පැත්තට ගිය ඒ ගමන එයාගේ ජීවිතයේ අවසාන ගමන වෙයි කියලා එයා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
මොකක්ද එයා එතනදී දැක්කේ? අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්නෙ.
ඒ රහස නිසාම වසර 28ක් පුරාවටම මුළු රටක්ම කම්පා කරපු නඩුවක් ආරම්භ වෙන්න නියමිතව තිබුණා.
පාන්දර හතරට සිදු වූ අභිරහස් මරණය
විභාගයට හොඳට ලෑස්ති වෙන්න ඕන නිසා, 1992 මාර්තු 26 වැනිදා රෑ සිස්ටර් අභයා එයාගේ යාළුවන්ට කියනවා, “මට හෙට පාන්දරින්ම නැගිටලා පාඩම් කරන්න ඕන. ඒ නිසා මං එලාම් එකක් තියනවා” කියලා. එදා රෑ කෑමත් අරගෙන, යාඥා කරලා එයා සතුටින් නින්දට යනවා.
හරියටම පාන්දර හතරට එලාම් එක වදිනවා. අභයා නැගිටලා, පාඩම් කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් පාන්දර සීතලත් එක්ක නිදිමත දැනුණු නිසා මුහුණ හෝදගෙන, වතුර ටිකක් බීලා කෝපි එකක් හදාගන්න හිතාගෙන පහළ තට්ටුවේ කුස්සියට යනවා.
හැබැයි එහෙම යන එයා ආපහු ඒ කාමරයට එන්නේ නැහැ.
උදේ පහට විතර අනිත් අය අවදි වෙද්දී අභයා කාමරයේ නැහැ. එයාගේ පොත් මේසය උඩ තියෙනවා. මුලින් හැමෝම හිතන්නේ එයා පල්ලියට ගිහින් ඇති කියලා.
ඒත් උදේ කෑම ලෑස්ති කරන්න කුස්සියට ගිය සේවිකාවන් දැක්ක දේ නිසා මුළු කන්යාරාමයම කලබල වෙනවා.
කුස්සියේ ශීතකරණයේ දොර ඇරලා. වතුර බෝතලයක් බිම වැටිලා. වතුර හැමතැනම. අභයා දාගෙන හිටපු නිල් පාට සෙරප්පුවකින් එකක් ශීතකරණය ළඟ.
ඒ කියන්නේ එතන මොකක්හරි සිද්ධ වෙලා තිබුණා.
හැමෝම කන්‍යාරාමය පුරාම අභයාව හොයන්න පටන් ගන්නවා. අන්තිමේදී එයාලා යන්නේ කන්‍යාරාමයේ පිටිපස්සේ තිබුණු ලොකු ළිඳ ළඟට.
එතන තවත් සෙරප්පුවක් තියෙනවා.
කන්‍යා සොහොයුරියක් බයෙන් බයෙන් ළිඳ ඇතුළ බලද්දි වතුර මත පාවෙවි තියෙන අභයාගේ නිසල සිරුර දකින්න ලැබෙනවා.
සිද්ධිය දැනගත්ත ගමන් පොලිසියටත් ගිනි නිවන හමුදාවටත් දැනුම් දෙනවා. ටික වෙලාවකින් ගිනි නිවන හමුදාව ඇවිත් අභයාගේ සිරුර ළිඳෙන් ගොඩට ගන්නවා.
මරණය ගැන මුලින්ම මතු වූ සැකය
මූලික විමර්ශනයට ආපු පොලිස් නිලධාරියා වුණ වී.වී. ඔගස්ටින්ගේ හැසිරීමත් මුල ඉඳන්ම සැක සහිතයි. සාමාන්‍ය මරණ පරීක්ෂණයකදී කරන විදිහට කුස්සිය මුද්‍රා තැබීමක්වත්, වැදගත් සාක්ෂි ආරක්ෂා කරගැනීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ.
පසුව අභයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරනවා.
වාර්තාවේ කියන්නේ එයා ළිඳට වැටීමෙන් වතුර පෙවීලා මියගිය බව. හැබැයි ඒ වාර්තාවේ තවත් වැදගත් දෙයක් සඳහන් වෙලා තිබුණා. අභයාගේ හිසේ බරපතළ තුවාල තිබුණා. ඒ වගේම බෙල්ලේ සහ උරහිස් ප්‍රදේශයේ සීරීම් සලකුණුත් තිබුණා.
ඒත් මේ තුවාල තිබියදීත්, පොලිසිය ඉක්මනින්ම මේක සියදිවි නසාගැනීමක් විදිහට වහලා දාන්න උත්සාහ කරනවා. හැබැයි අභයාගේ පවුලේ අයටත්, කොට්ටයම් ප්‍රදේශයේ ජනතාවටත් ඒ කතාව පිළිගන්න බැරි වෙනවා. මොකද ප්‍රශ්න ගොඩක් ඉතිරි වෙලා තිබුණා.
පාන්දර හතරට පාඩම් කරන්න එලාම් එක තියපු කෙනෙක් ඇයි හදිසියේම ජීවිතය නැති කරගන්නේ?
කුස්සියේ ශීතකරණය ඇරලා තිබුණේ ඇයි?
වතුර බෝතලය බිම තිබුණේ ඇයි?
සෙරප්පු දෙක කුස්සියේ ළඟ එකකුයි ළිඳ ළඟ එකකුයි වෙන වෙනම තිබුණේ?
මේ හැමදේකින්ම පේන්නේ කුස්සිය ඇතුළේ මොකක්හරි අසාමාන්‍ය දෙයක් සිද්ධ වෙලා තිබුණා කියලයි කියන එක කට්ටියට තේරෙනවා.
ඒත් පොලිසිය ඒ ප්‍රශ්නවලට උත්තර හොයනවා වෙනුවට නඩුව වහන්න උත්සාහ කරනවා.
තවත් භයානක දෙයක් සිද්ධ වෙනවා. අභයා එදා ඇඳගෙන හිටපු ලේ තැවරුණු ඇඳුම් සාක්ෂි විදිහට ආරක්ෂා කරගන්නවා වෙනුවට විනාශ කරලා දානවා. එයාගෙ පෞද්ගලික දිනපොතත් අතුරුදහන් වෙනවා.
ඒ කියන්නේ නඩුව විසඳන්න තිබුණු වැදගත් සාක්ෂි එකින් එක අතුරුදහන් වෙමින් තිබුණා.
මේ අසාධාරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ජෝමන් පෘතන්පුරක්කල් ඉදිරියට එනවා. එයා “සිස්ටර් අභයා ක්‍රියාකාරී කමිටුව” පිහිටුවලා, මේ මරණය සියදිවි නසාගැනීමක් නෙවෙයි කියලා පෙන්වමින් යුක්තිය ඉල්ලා සටන් කරන්න පටන් ගන්නවා.
හැබැයි ඒ සටන ඉවර වෙන්න තව අවුරුදු ගණනාවක් ගත වෙනවා
පරීක්ෂණය කේරල ක්‍රයිම් බ්‍රාන්ච් එකට
ජනතා විරෝධය සහ මාධ්‍ය පීඩනය වැඩිවෙද්දී, 1992 අප්‍රේල් 16 වෙනිදා නඩුව කේරල ක්‍රයිම් බ්‍රාන්ච් එකට භාර දෙනවා.
හැමෝම හිතුවේ “දැන්වත් ඇත්ත එළියට එයි” කියලයි.
හැබැයි මාස ගණනක් විමර්ශනය කරලා 1993දී ක්‍රයිම් බ්‍රාන්ච් එකත් කියන්නේ මේක සියදිවි නසාගැනීමක් කියලයි.
ජනතාව නැවතත් විරෝධය පළ කරනවා. අන්තිමට නඩුව ඉන්දියාවේ ප්‍රධාන විමර්ශන ආයතනයක් වන CBI වෙත භාර දෙනවා.
නිලධාරියෙක් රස්සාව දාලා යයි
CBI නිලධාරී වර්ගීස් පී. තෝමස් යටතේ අලුත් කණ්ඩායමක් විමර්ශනය පටන් ගන්නවා.
මුලින්ම එයාට පැහැදිලි වෙනවා මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි, මිනීමැරුමක් කියලා.
හැබැයි එයා විමර්ශනය ඉදිරියට ගෙන යද්දී බලපෑම් එන්න පටන් ගන්නවා.
1994දී එයා මාධ්‍ය හමුවක් කැඳවලා කියන්නේ, ඉහළ නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් තමන්ට මේක සියදිවි නසාගැනීමක් කියලා ලියලා නඩුව වහන්න බලපෑම් කරන බවයි.
ඒකට එකඟ වෙන්න බැරි නිසා, විශ්‍රාම යන්න තවත් අවුරුදු ගණනක් තිබියදීම එයා CBI තනතුරෙන් ඉල්ලා අස්වෙනවා.
ඒකෙන්ම තේරෙනවා මේ නඩුව පිටිපස්සේ තිබුණු බලය කොච්චර ලොකුද කියලා.
බෝනික්කෙක් හෙළි කළ ඇත්ත
නැතිවෙලා තිබුණු සාක්ෂි නිසා CBI එකට තිබුණේ ලොකු අභියෝගයක්.
ඒ නිසා එයාලා අභයාගේ උසට සහ ශරීර ප්‍රමාණයට සමාන බෝනික්කෙක් හදලා, එයා ලිඳට වැටුණු ආකාරය විවිධ විදිහට පරීක්ෂා කරනවා.
තමන්ම ලිඳට පනින විදිහටත්, කෙනෙක් තල්ලු කරන විදිහටත්, සිහසුන් ශරීරයක් ලිඳට දාන විදිහටත් පරීක්ෂණ කරනවා.
ප්‍රතිඵලය පැහැදිලියි.
අභයාගේ ඔළුව පිටිපස්සෙ තිබුණු තුවාලය එයා ලිඳට පැනීමෙන් සිදුවෙන්න බැහැ කියලා හොඳටම තේරෙණවා.
ඒ කියන්නේ එයා ලිඳට වැටෙන්න කලින් හිසට පහරක් වැදිලා තිබුණු බවට ප්‍රබල සාක්කියක් තියෙනවා
අවුරුදු ගණනකට පස්සේ ආපු එකම සාක්කිකාරයා
නඩුව අවුරුදු ගණනක් ඇදිලා යනවා. සාක්කි අතුරුදහන් වෙනවා. සාක්කිකරුවන් කටඋත්තර වෙනස් කරනවා.
එතකොට, අවුරුදු ගණනකට පස්සේ හැමෝම නොසිතපු කෙනෙක් ඉදිරියට එනවා.
ඒ තමයි අඩක්කා රාජු.
සමාජය කොන් කරපු, ජීවත් වෙන්න පොඩි පොඩි දේවල් හොරකම් කරපු දුප්පත් මනුස්සයෙක් තමයි ඒ.
1992 මාර්තු 27 පාන්දර, අභයා මියගිය වෙලාවේ රාජුත් කන්‍යාරාමයට ඇතුළු වෙලා හිටියා.
එයා ආවේ කන්‍යාරාමයේ වහලේ තිබුණු තඹ කම්බි ගලවලා විකුණලා කීයක් හරි හොයාගන්න. හැබැයි වහලේ ඉඳන් එය දැකපු දෙයක් නිසා එයාගේ ජීවිතයම වෙනස් වෙනවා. පාන්දර තුනහමාරට විතර, තරුණ කාන්තාවන් ඉන්න කන්‍යාරාමයකට පිරිමි කෙනෙක් හොරෙන් ඇතුළු වෙනවා. රාජු ඒ දිහා බලාගෙන ඉන්නවා.
ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි ප්‍රසිද්ධ පූජකයෙක්. පස්සේ තවත් පූජකයෙක් සහ කන්‍යාරාමයේ පාලිකාවත් එයා සමඟ එකතු වෙනවා. රාජු ඒ වෙලාවේ දැක්ක දේ තමන්ගේ හිතේ තියාගන්නවා. පහුවදා අභයා ලිඳේ මැරිලා ඉන්නවා දැක්කම එයාට තේරෙනවා තමන් එදා රෑ දැකපු දේට මේ මරණය සම්බන්ධ වෙන්න පුළුවන් කියලා.
“මම හොරෙක් හැබැයි මිනීමරුවෙක් නෙවෙයි”
රාජු CBI එක ඉදිරියේ තමන් දැක්ක දේ කියනවා.
ඒක දැනගත්තම එයාව අත්අඩංගුවට ගන්නවා. එයාට බරපතළ බලපෑම් එල්ල කරනවා. පූජකයන්ගේ නම් කියන්නේ නැත්නම් එයාටත්, එයාගේ පවුලටත් ලොකු මුදලක් සහ පහසුකම් ලබාදෙන බව කියනවා.
ඒත් රාජු එකඟ වෙන්නේ නැහැ.
අන්තිමට එයා කියන්නේ එක දෙයයි.
“මම දුප්පත් හොරෙක් වෙන්න පුළුවන්. හැබැයි මම මිනීමරුවෙක් නෙවෙයි. මගේ හෘද සාක්ෂිය මම සල්ලිවලට විකුණන්නේ නැහැ.”
උසාවියේදී එයාගේ පරණ හොරකම් ගැන ප්‍රශ්න කරද්දීත් රාජු ඒවා ප්‍රතික්ෂේප කළේ නැහැ.
“ඔව් ස්වාමීනි, මම හොරෙක්. ඒ හොරකම්වලට මම දඬුවම් විඳලා තියෙනවා. හැබැයි එදා රෑ මම දැක්ක දේ ගැන මම බොරු කියන්නේ නැහැ.”
අවසානයේ එයාගේ සාක්ෂිය නඩුවේ තීරණාත්මක කොටසක් බවට පත්වෙනවා.
අවුරුදු ගණනක් බලය, සල්ලි සහ බිය ඉදිරියේ හැංගිලා තිබුණු සිස්ටර් අභයාගේ කතාව අන්තිමට හෙළි කළේ සමාජය කොන් කරපු දුප්පත් හොරෙක්.
රාජුගේ මේ නොසැලෙන කටඋත්තරය නිසා අවසානයේදී 2008 අවුරුද්දේ පාදර් තෝමස් කූටර්, පාදර් ජෝස් සහ සිස්ටර් සෙෆි කියන තුන්දෙනාවම මේ නඩුවේ ප්‍රධාන සැකකරුවන් විදිහට නිල වශයෙන් නම් කරනවා.
හැබැයි මේ තුන්දෙනාත් මාරම සූක්ෂමයි. පොලිසිය කොච්චර ප්‍රශ්න කළත් එයාලා කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. මේ නිසා සීබීඅයි එක තීරණය කරනවා එයාලව බැංගලෝරයේ අධි තාක්ෂණික විමර්ශන ඒකකයකට අරගෙන ගිහින් නාකෝ ඇනලයිසිස් පරීක්ෂණය කරන්න.
නාකෝ ඇනලයිසිස් කියන්නේ සැකකරුවෙකුට විශේෂ ඖෂධයක් ලබාදීලා, එයාගෙ හිතාමතාම සිතීම සහ බොරු ගොතන හැකියාව තාවකාලිකව අඩු කරලා, ප්‍රශ්න කිරීම්වලදී එයාගෙන් තොරතුරු ලබාගන්න කරන පරීක්ෂණයක්. මේ පරීක්ෂණය භාරව හිටියේ වෛද්‍ය මාලනි කියන විශේෂඥවරිය.
මේ තුන්දෙනාව වෙන වෙනම ප්‍රශ්න කරලා, සම්පූර්ණ පරීක්ෂණයම සීඩී පටි තුනක පටිගත කරනවා.
හැබැයි මෙතනදිත් පල්ලියේ ලොකු හයිය අතක් ක්‍රියාත්මක වෙලා තිබුණා.මේ සීඩී පටි උසාවියට ඉදිරිපත් කළාම විනිසුරුවන්ට තේරෙනවා, ඒවායේ වැදගත් තැන් තැන්වලින් කපලා, හඬ වෙනස් කරලා, විශාල වශයෙන් සංස්කරණය කරලා තියෙනවා කියලා. ඒ නිසා උසාවිය වහාම මේ සීඩී පටි තුනම විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරනවා. උසාවිය සීබීඅයි එකට නියෝග කරනවා දින 10ක් ඇතුළත මේ පරීක්ෂණයේ මුල්, සංස්කරණය නොකළ වීඩියෝ පටි හොයාගෙන එන්න කියලා. හැබැයි ඒ අතරතුරේ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වෙනවා.
කේරලයේ ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හරහා මේ නාකෝ පරීක්ෂණයේ සංස්කරණය නොකළ මුල් වීඩියෝ දර්ශන මුළු රටටම පෙන්නනවා.
ඒ වීඩියෝ මාධ්‍යයට ලබා දුන්නේ කවුද කියන එක අදටත් අභිරහසක්.
හැබැයි ඒ මුල් වීඩියෝවලින් 1992 මාර්තු 27 වැනිදා පාන්දර කන්යාාරාමයේ කුස්සිය ඇතුළේ සිද්ධ වුණු දේ ගැන අලුත් තොරතුරු රැසක් හෙළි වෙනවා.
නාකෝ පරීක්ෂණයේ මුල් වාර්තා අනුව එදා පාන්දර 4.15ට විතර සිස්ටර් අභයා තමන්ගේ කාමරයෙන් නැගිටලා වතුර උගුරක් බොන්නත්, කෝපි එකක් හදාගන්නත් පහළ තට්ටුවේ කුස්සියට එනවා.
කුස්සියේ ලයිට් නිවලා තිබුණත්, කුස්සියට ළඟ තිබුණු සිස්ටර් සෙෆිගේ රහස් කාමරයේ දොර භාගෙට ඇරිලා තිබුණා.
සිස්ටර් අභයා ශීතකරණය ඇරලා වතුර බෝතලයක් අතට ගන්නකොට, ඒ කාමරයෙන් අමුතු ශබ්ද කිහිපයක් ඇහෙනවා.
කාටහරි කරදරයක්ද කියලා බලන්න එයා ඒ කාමරයට එබිලා බලනවා.
එතනදී එයා දකින්නේ තමන්ගේ ඇස්වලටවත් විශ්වාස කරන්න බැරි දෙයක්.
කන්‍යාරාමයේ පාලිකාව වුණු සිස්ටර් සෙෆි, පාදර් තෝමස් කූටර් සහ පාදර් ජෝස් කියන පූජකවරුන් දෙදෙනා එක්ක එකට ඉන්නවා කියන එකට පරීක්ෂණවලින් හොයාගත්තා කියන එක වාර්තා වෙනවා.
මේ දර්ශනය දැකලා සිස්ටර් අභයා බයවෙලා අතේ තිබුණු වතුර බෝතලය බිම දාලා කෑගහන්න හදනවා.
ඒත් ඊට කලින් පාදර් තෝමස් සහ පාදර් ජෝස් සිස්ටර් අභයාව අල්ලාගෙන නිහඬ කරන්න උත්සාහ කරනවා.
ඒ කලබලයේදී සිස්ටර් අභයාගේ එක සෙරෙප්පුවක් ශීතකරණය ළඟ ගැලවිලා වැටෙනවා.
එයාව බිම දිගේ ඇදගෙන යද්දී එයාගෙ බෙල්ලේ සහ උරහිසේ සීරීම් තුවාල ඇති වෙනවා.
ඒ වෙලාවේ තමන්ගේ රහස එළියට ගියොත් තමන්ගේ ආගමික තනතුර, සමාජ තත්ත්වය, හැමදේම නැතිවෙයි කියන බියෙන් සිස්ටර් සෙෆි කුස්සියේ තිබුණු පොරවක් අතට ගන්නවා.
එයා සිස්ටර් අභයාගේ ඔළුව පිටිපස්සට එයින් පහර දෙනවා.
ඒ පහරින් සිස්ටර් අභයා සිහිසුන්ව බිම ඇද වැටෙනවා.
එයා එතනම මියගියා කියලා හිතපු මේ තුන්දෙනා, කුස්සියේ තිබුණු සාක්කි ඉක්මනින් ඉවත් කරලා, සිස්ටර් අභයාගේ ශරීරෙ පිටුපස දොරෙන් එළියට අරගෙන යනවා.
අවසානයේ සිස්ටර් අභයාගෙ සිරුර කන්‍යාරාමයේ තිබුණ ළිඳට දමනවා.
පසුව සිදුකරපු පශ්චාත් මරණ පරීක්ෂණවලින් හොයාගන්නවා, ළිඳට දාන වෙලාවෙත් සිස්ටර් අභයාට යම් තරමකට පණ තියෙන්න ඇති කියලා වගේම, අවසානයේ දියේ ගිලීම නිසා මැරෙන්නට ඇති කියන එක.
මේ නාකෝ පරීක්ෂණයේ දර්ශන එළියට ආවට පස්සේ මුළු ඉන්දියාවෙම මේ සිද්ධිය ගැන දැඩි අවධානයක් යොමු වෙනවා.
හැබැයි නීතිමය ක්‍රියාමාර්ග දිගින් දිගටම ඇදී යනවා. අවසානයේ 2009දී සැකකරුවන් ඇප මත නිදහස් වෙනවා.
ඊට පස්සේ 2019 වෙනකම් අවුරුදු ගණනාවක් තිස්සේ උසාවිවල තර්ක විතර්ක සිද්ධ වෙනවා.
සාක්කි ප්‍රමාණවත් නැහැ කියලා පෙන්වමින් සැකකරුවන් නිදහස් කරගන්න එයාලගෙ නීතිඥවරුන් උපරිම උත්සාහ කරනවා.
අවසානයේ පාදර් ජෝස්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්කි නැති වීම නිසා එයාව නිදහස් කරනවා.
නමුත් අවසානයේ සත්‍යය වෙනුවෙන් තීන්දුව ලැබෙන දවස උදා වෙනවා.
ඒ 2020 දෙසැම්බර් 22 වැනිදා.
කේරලයේ තිරුවනන්තපුරම්වල සීබීඅයි විශේෂ අධිකරණය මේ නඩුව සම්බන්ධයෙන් තමන්ගෙ ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරනවා.
අඩක්කා රාජුගේ නොසැලෙන සාක්කිය සහ විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වුණ තොරතුරු පදනම් කරගෙන, පාදර් තෝමස් කූටර් සහ සිස්ටර් සෙෆි සිස්ටර් අභයාගේ මරණයට වගකිව යුතු බවට අධිකරණය තීරණය කරනවා.
ඒ දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන අතරෙම රුපියල් ලක්ෂ පහ බැගින් දඩ මුදලක්ද නියම කරනවා.
අවුරුදු 28ක් පුරාවට ඇත්ත වෙනුවෙන් සටන් කරපු අඩක්කා රාජු ඒ තීන්දුව අහගෙන උසාවියෙන් එළියට එන්නේ ඇස්වල සතුටු කඳුළු පුරවාගෙන.
“මට අද මාරම සතුටුයි. මගේ අහිංසක දුවට, ඒ කියන්නේ සිස්ටර් අභයාට, අවුරුදු 28කට පස්සේ හරි යුක්තිය ලැබුණා. මම එදා සල්ලිවලට ආශා වුණා නම් මේ මිනීමරුවෝ අදත් නිදහසේ ඉන්න තිබුණා. දුප්පත් හොරෙක් වුණත් මම මගේ සත්‍යය පාවලා දුන්නේ නැහැ.” කියලා අඩක්කා රාජු කියනවා.
වසර 28ක් පුරාවට බලය, සල්ලි, දේශපාලන සම්බන්ධතා සහ ආගමික බලපෑම් හරහා යටගහන්න උත්සාහ කළ මේ සිද්ධිය අවසානයේ හෙළිවෙන්නේ සමාජයේ කිසිම බලයක් නැති, හැමෝම කොන් කරපු දුප්පත් මනුස්සයෙක්ගේ අවංක සාක්කිය නිසයි.
බලයට සහ සල්ලිවලට ඕනෑම අපරාධයක් යටගහන්න පුළුවන් කියලා හිතන මිනිස්සුන්ට සිස්ටර් අභයාගේ කතාව කියන්නේ හරිම කටුක පාඩමක්.
මොකද ලෝකයා ඉස්සරහා ආගමික ලේබල් දාගෙන ඉන්න එකෙන් කෙනෙක්ගේ ඇතුළාන්තය පිරිසිදු වෙන්නේ නැහැ.
ඒ වගේම සමාජය කොන් කරපු මනුස්සයෙක් කියන්නේ අනිවාර්යයෙන්ම නරක මනුස්සයෙක් කියන එකත් නෙවෙයි.
අවසානයේ අවුරුදු 28ක් පුරාවට සත්‍යය වෙනුවෙන් නොසැලී හිටපු අඩක්කා රාජු වගේ එක මනුස්සයෙක් නිසා, සිස්ටර් අභයාගේ මරණයට යුක්තියක් ලැබෙනවා.











