දෙපා වියළීම කියන්නේ කැසීම, සම රළු වීම , වියළි සම ගැලවී යාම සහ අපහසුතාවයට හේතු විය හැකි පොදු සමේ ගැටලුවක්. මෙම තත්ත්වයන් වලට හේතු තේරුම් ගැනීම සහ නිසි සැලකිල්ලක් දැක්වීම ඔබේ සම නිරෝගීව හා දෙපා වල සමේ තෙතමනය ආරක්ෂා කර තබා ගැනීමට උපකාරී වෙනවා. දෙපා වියළී යාමට හේතු සහ ඒවාට ඔබට කළ හැකි පිළියම් මෙන්ම වියළි දෙපා සුන්දරව පවත්වාගෙන යා හැකි ආකාර පිළිබඳවයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ
දෙපා වියලීම සඳහා පොදු හේතු මොනවද?
නිතර උණුසුම් වතුරෙන් ස්නානය කිරීම
දෙපා වියලීම සඳහා ප්‍රධාන හේතුවක් ලෙස නිතර උණුවතුර ස්නානය කිරීම දක්වන්නට පුළුවන්. උණු වතුර සමේ ස්වාභාවික තෙල් ඉවත් කර වියළි හා තද බවක් සමට ලබා දෙනවා. දිගින් දිගටම උණුවතුර භාවිතයෙන් කාලයත් සමඟ මේ වියළි බව තවත් නරක අතට හැරීමේ හැකියාව පවතිනවා.
කාලගුණ විපර්යාස
සීතල කාලගුණය සහ අඩු ආර්ද්‍රතාවය වාතයේ තෙතමනය අඩු කළ හැකි අතර එමගින් සමේ ස්වභාවිකව පවතින තෙල් ගතිය සහ තෙතමනය පහසුවෙන් ඉවත්ව යනවා.මෙය ඉතා ඉක්මනින් දෙපා වියළී යාමට හේතුවක්.
රළු සබන් වර්ග සහ සේදුම්කාරක
සමහර පිරිසිදුකාරකවල සහ සබන් වර්ග වල සමේ ආරක්ෂිත බාධකය සහ ස්වාභාවික තෙල් ඉවත් කරන සැර අමද්‍රව්‍ය අඩංගු වන අතර ඒවා මගින් සම පහසුවෙන් වියළීමට ලක් වෙනවා.
විජලනය
ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමෙන් දෙපාවල පමණක් නොව සම්පූර්ණ ශරීරයම විජලනයට ලක්වී ඉතා ඉක්මනින් සම වියළී යාම හා කැසීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.
වයසට යාම
පුද්ගලයන් කාලයත් සමග වයසට යන විට, සමේ තෙල් නිෂ්පාදනය ස්වාභාවිකවම අඩු වී යනවා. එමගින් සම පහසුවෙන් වියලි බවට ලක්වනවා.
වායු සමීකරණ සහ හීටර්
වායු සමීකරණ සහ හීටර් මගින් පරිසරයේ තෙතමනය අඩු කරන නිසා වියලි සම සහ කැසීම ඇතිවිය හැකියි.
සමේ රෝග
සමේ රෝග, කැසීම් සහ විවිධ ආසාත්මිකතා නිසා සම වියළීම, දෙපා රළු වීම වැනි තත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා.
වියලුනු දෙපා රැක බලා ගත යුත්තේ කෙසේද?
දිනපතා මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න
ස්නානය කිරීමෙන් පසුව සම තරමක් තෙත්ව තිබියදී ඉතා හොඳ ගුණාත්මක භාවයකින් යුතු, සමේ තෙතමනය ආරක්ෂා කරන අමුද්‍රව්‍ය අඩංගු මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න. මෙය තෙතමනය වඩා හොඳින් ආරක්ෂා කිරීමට උපකාරී වනවා.
මෘදු පිරිසිදු කාරකයන් භාවිතා කරන්න
සම පිරිසිදු කිරීම සඳහා පිරිසිදු කාරකයන් තෝරා ගැනීමේදී සමේ ස්වාභාවික තෙල් ඉවත් නොකරන මෘදු, සුවඳින් තොර පිරිසිදු කාරකයන් තෝරා ගන්න.
ඇල්මැරුණු ජලයෙන් ස්නානය කරන්න
අධික උණුසුමක් සහිත වතුරෙන් ස්නානය කිරීමේදී සමේ ස්වාභාවික තෙල් සහ තෙතමනය ඉවත්වන බැවින් සෑම විටම ස්නානය කිරීම සඳහා ඇල්මැරුණු ජලය භාවිතා කරන්න.
Exfoliate කිරීමේදී ප්‍රවේසම් වන්න
සමේ මැරුණු සෛල ඉවත් කිරීමට සහ මොයිස්චරයිසර් අවශෝෂණය වැඩි දියුණු කිරීම සඳහා සතියකට වරක් හෝ දෙවරක් පමණක් මෘදු exfoliate කිරීමක් සිදු කරන්න.
වියලි දෙපා සඳහා නිවසේදී කළ හැකි දේවල් මොනවාද ?
ස්වාභාවික තෙල් ආලේප කරන්න
පොල්තෙල්, ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් දෙපා වල වියලි බව අඩු කිරීමට සහ වියළි සම මෘදු කිරීමට උපකාරී වනවා. රාත්‍රී කාලයේදී එවැනි තෙල් වර්ගයක් දෙපාවල හොඳින් ආලේප කර විනාඩි පහළොවක් පමණ සම්භාහනය කරන්න.
කෝමාරිකා භාවිතා කරන්න
කෝමාරිකා ජෙල් මගින් කැසීම සහ ආසාත්මිකතාවලට පත් සම සමනය කිරීමට උපකාරී වන අතර සජලනය ලබා දෙනවා.
සීරීම් වළක්වා ගන්න
සම වියළී තිබීමේදී සමේ ඉතා ඉක්මනින් කැසීම් තත්ත්වයන් වර්ධනය වනවා. එවැනි තත්ත්වයන්වලදී සම සීරීම් වලට ලක්වන අතර එහිදී සමට තවත් හානි සිදුවනවා. එම නිසා කැසීම් ඇති වන සෑම විටම හොඳ තෙතමනකාරකයක් භාවිතා කරන්න.
කපු ඇඳුම් අඳින්න
මෘදු කපු රෙදි ඝර්ෂණය අඩු කර සමට වාතය ලැබීමට උපකාරී වනවා.මෙමගින් සමේ ආසාත්මිකතා, කැසීම් සහ වියලීම් වළක්වා ගත හැකි වෙනවා. විශේෂයෙන්ම මේස් භාවිතා කිරීමේදී හොඳ අමුද්‍රව්‍ය වලින් නිපදවන ලද මේස් භාවිතා කරන්න.
මීට අමතරව,
හොඳින් සජලනය වී සිටින්න
සෞඛ්‍ය සම්පන්න මේද අනුභව කරන්න
උදාහරණ ,
- අලිගැට පේර
- ඇට වර්ග සහ බීජ
- ඔලිව් තෙල්
- මේද මාළු
විටමින් බහුල ආහාර වැඩියෙන් පරිභෝජනය කරන්න
ඔමේගා-3 මේද අම්ල ආහාරයට ගන්න
ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න
ආතතිය කළමනාකරණය කරන්න
වියළි දෙපා සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවන් වලදීද ?
දැඩි කැසීම
රතු ලප
සමේ ඉරිතැලීම් හෝ ලේ ගැලීම
වේදනාව
නිවසේ සත්කාර සමඟ සුව නොවන රෝග ලක්ෂණ ,
පවතින අවස්ථාවන් වලදී ඔබ වෛද්‍යවරයෙකුගෙන් හෝ සම පිළිබඳව විශේෂඥයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි
වියළි දෙපා බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් වුවත් සමහර අවස්ථාවන් වලදී සහ තත්ත්වයන් වලදී නිවසේදී සිදු කරන සත්කාර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සාමාන්‍ය දෙපා වියලීමකට සාමාන්‍ය සත්කාර සහ ස්වභාවික නිෂ්පාදන ප්‍රමාණවත් වුවත් ඉන් ඔබ්බට ගිය තත්ත්වයන් වලදී ඔබ නිසි ප්‍රතිකාර ලබාගත යුතුයි.










