ඔන්න එක පුංචි දරුවෙක් ඉන්නවා. මෙයාගෙ නම මලීශා.
මේ දරුවා පුංචි කාලෙදි පංති කාමරේ හුදකලා වෙලා තමයි ඉන්නෙ. කවුරුවත් එක්ක වැඩිය කතා කරන්නෙ නෑ. යාලුවො නෑ. පැත්තකට වෙලා ඉන්නෙ.
ඒ නිසාම ගුරුවරු කියනවා “හරි හොඳ ළමයා, කාටවත් කරදරයක් නෑ” කියලා. ඇත්තටම එකම එක යාලුවෙක් තමයි ඉන්නෙ. පංතියේ කොණකම වාඩිවෙලා ඉන්නෙ. ක්‍රීඩාවට වගේ දේවල් වලට ආසත් නෑ. ක්‍රීඩාවකට දැම්මත් දවසයි දෙකයි නතරවෙනවා.
“මට බෑ මං ආස නෑ” කියනවා. හොඳට පාඩම් කරනවා කාමරේට වෙලා. කාමරෙන් එලියට එන්නෙ නෑ කිසිම දේකට. කාමරේටම වෙලා ඉන්නවා. කවුරු ආවත් ගෙදෙට්ට කතා කරන්නවත් එන්නෙ නෑ.
ටික ටික ඉතින් අම්මා බලනවා ටියුශන් පංතිවලට එහෙම දාන්න. එහෙම දැම්මත් දවසක් දෙකක් ගිහින් නතර වෙනවා. පොඩි කාලෙ මිනිස්සු හරි ආදරෙයි මෙයාට මොකෝ අහිංසකයි. සද්ද බද්ද නෑ. ඒත් ටික ටික ලොකු වෙද්දි මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. පස්සෙ පස්සෙ මෙයා ඉස්කෝලෙ යන්න කැමති වෙන්නෙත් නෑ. පොඩ්ඩ ඇත්තන් යකා නගිනවා. අම්මට කියනවා “මම තනිවෙලා මට කවුරුවත් නෑ කියලා”.
අවසානයෙදි හොයලා බලද්දි මේ මලීශාට තිබිලා තියෙන්නෙ වෙන මුකුත් නෙවෙයි සමාජ භීතිකාව කියන මානසික තත්ත්වය.
මොකද්ද මේ සමාජ භීතිකාව කියන්නේ?
අලුත් තැනකට ගියාම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දුන්නම, නැත්නම් පිරිසක් ඉදිරියේ Presentation එකක් කරන්න ගියාම පොඩි බයක්, ලැජ්ජාවක් ඇතිවෙන එක සාමාන්‍යයි. ඒත්, සමාජ භීතිකාව (Social Phobia) කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, වඩාත් ගැඹුරු තත්ත්වයක්.
ඒක නිකම්ම “අධික ලැජ්ජාව” කියලා බැහැර කරන්න බැහැ.
සරලවම කිව්වොත්, මේක සමාජ අවස්ථාවන් වලදී හෝ අන් අයගේ අවධානයට ලක්වන ඕනෑම අවස්ථාවක ඇතිවන දැඩි, අසාමාන්‍ය බියක් හා ආතතියක් සහිත තත්ත්වයක්.
මේ අය සාමාන්‍යයෙන් හිතන්නේ:
“අනේ මගේ අඩුපාඩු අනිත් අය දකියි.”
“මම මොනවා හරි වැරදි දෙයක් කරයි.”
“අනිත් අය මාව විනිශ්චය කරයි, සමහරවිට මාව පහත් කරලා සලකයි.”
මේ දැඩි බිය නිසා ඔවුන් හැකි සෑම විටම සමාජ අවස්ථා මඟහරින්නට උත්සාහ කරනවා. ඒ වගේම, මේක හුදෙක් මානසික තත්ත්වයක් නෙවෙයි, මේ පිටිපස්සේ මොළයේ සිදුවන රසායනික හා භෞතික වෙනස්කම් තියෙනවා.
ශරීරය දක්වන ප්‍රතිචාර
- හදවත වේගයෙන් ගැහෙනවා.
- හුස්ම ගැනීම වේගවත් වෙනවා.
- වැඩිපුර දහදිය දානවා.
- මුහුණ රතුවීම, වෙව්ලීම.
- කතාව පැටලීම, වචන අමතක වීම.
- මාංශ පේශි තදවීම, ඔක්කාරය දැනීම.
- නිතර Wash Room යන්න අවශ්‍ය වීම.
ජීවිතයට වෙන බලපෑම
මේ තත්ත්වය නිසා ජීවිතය ගොඩක් දුරට අවුල් වෙන්න පුළුවන්.
- අධ්‍යාපනය බිඳ වැටෙන්න පුළුවන්: (Presentation, විභාග, අලුත් පන්ති මඟහැරීම).
- රැකියා ගැටළු (සම්මුඛ පරීක්ෂණ, රැකියා ස්ථානයේදී අදහස් ප්‍රකාශ කිරීමේ අපහසුව).
- මිතුරන්ගෙන් හා සමාජයෙන් ඈත්වීම, හුදකලාවීම.
- ආත්ම අභිමානය අඩුවීම.
- අවස්ථාවන් මඟහැරීම.
- දරුණුම අවස්ථාවලදී සියදිවි නසා ගැනීමට පවා උත්සාහ කිරීම.
සමාජ භීතිකාව ඇතිවන්නේ ඇයි?
මේකට හේතු කිහිපයක් බලපානවා.
- ජානමය හේතු: පවුලේ සමීපතමයන්ට මේ වගේ තත්ත්වයක් තිබුණොත්, ඔබටත් ඇතිවීමේ අවදානමක් තියෙනවා.
- මොළයේ වෙනස්කම්: හැඟීම් පාලනය කරන මොළයේ කොටස්වල (උදා: ඇමිග්ඩලා) සිදුවන ව්‍යුහාත්මක හෝ රසායනික වෙනස්කම්.
- පාරිසරික හේතු:
- කුඩා කාලයේදී අවමානයට හෝ අපහාසයට ලක්වීම.
- ලිංගික අපයෝජන වැනි කම්පන සහගත අත්දැකීම්.
- දෙමාපියන්ගේ දැඩි නීතිරීති හා ගැටළු මැද හැදී වැඩීම.
බොහෝ දෙනෙක් හිතන්නේ මේක සාමාන්‍ය ලැජ්ජාවක් කියලා. ඒ නිසා ප්‍රතිකාර ගන්න යොමු වෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ බය හිතෙන අවස්ථා මඟහැරලා, සමාජයෙන් වෙන්වෙලා ඉන්න එක.
ඒත්, මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!
ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම්, නිසි උපදේශනය (Counseling) සහ ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත්. නිවැරදි ප්‍රතිකාර මඟින් මේ අසාමාන්‍ය බය සහ ලැජ්ජාව ක්‍රමයෙන් නැති කරගෙන, සාමාන්‍ය සමාජ කුසලතා ඉහළ නංවාගෙන, සතුටින් ජීවත් වෙන්න පුළුවන්.









