පිනි සේල – 14

අප එනතුරු වඩා දීප්තිමත් සිනාවක් පැළඳ සිටි දිනුක අපට එක් විණි.හිමල්ක නිවාඩු දින තුන අම්මා සමඟ ගමනක් යොදා ගැනීම නිසා ඔහු බැන වදිමින් එවන මැසේජ් කියවමින් ඊෂාත් දිනුකත් සිටියේ විනෝදයෙනි.ඊෂා පුදුමාකාර ප්‍රීතියකින් ඉපිලෙමින් සිටීම නිසාම මලිඳුට නොකියා හදිසියේ ගමේ යාම ගැන හිත හදා ගන්නට මට සිදු විණි.

දිනුක සැබෑවටම කවුරුන්දැයි වටහා ගන්නට අමෝද අයියාට අපහසු නොවන්නට ඇත. එහෙත් ඔහු ඉතා ඉක්මනින් දිනුක සමඟ හිතවත් වීම ගැන ඊෂා සිටියේ සොම්නසිනි.

“මස්සිනාලා මරා ගන්න එකක් නෑ වගේ”

ඈ මට කෙඳිරී ය.

ඊෂාගේ ලෝකය සම්පූර්ණ වීම ගැන ප්‍රීතියක් මට ද ඇත.ඈ ඉතා ආදරණීය යෙහෙළියකි. බොහෝ අසීරු කාලයක් පසු කරන්නට මට තිබූ එකම සවිය ඇය ය. ඉතින් ඊෂා ප්‍රාර්ථනා කරන ලෝකය ඇය ඉක්මනින් හිමි කර ගැනීම සැබෑ සතුටකි.

මා බොහෝ අප්‍රිය කරන ත්‍රිලර් වර්ගයේ චිත්‍රපට ගැන විවාදයක් මෝටර් රථය තුළ පැතිර යන්නට පටන් ගත්තේ අප කොළඹින් මිදෙන විට ය. ඒ මාතෘකාව මා බිඳක් හෝ ප්‍රිය කරන්නේ නැත.ඉයර් ෆෝන් යුගලය දෙකනේ පැළඳ අසුනේ කෙළවරට ගුලි වී මම මගේ ලෝකයකට පාව ගියෙමි.

ඊෂා මගේ අතට තට්ටුවක් දැමුවේ ගී අතර ඔහේ පාවෙමින් හුන් මගේ දැහැන බිඳ දමමිනි. පැයකටත් වඩා මා නිහඬ ලෝකයක ගිලී සිටි බව මට වැටහුණේ එවිට ය.කල්පනා කරන්නට අපමණ දෑ ඇති මට බණ්ඩාරවෙල ට යන තුරුම වුවත් වදනකුදු නොදොඩා මගේ ලෝකයක තනි වන්නට පුලුවන. නමුත් අද මා එසේ සිටියා ඕනෑවට වඩා වැඩි ය.

“පිනී.. හොඳටම නිදා ගත්තනේ.. අපි ඔයා ඇහැරෙනකම් කියලා උදේට කන්නවත් නැවැත්තුවේ නෑ… දැන් නම් බෑ.. හරී බඩගිනී..”

ඊෂා නෝක්කාඩු මුහුණක් මවා ගෙන කියවාගෙන ගියා ය. මා සැබෑවටම සිටියේ මගේ ලොවක තනි වී ගෙන ය. නමුත් මා වටා ඇති නෝක්කාඩු මුහුණු බඩගින්නේ බව වැටහෙන විට මට දැනුණේ දුකකි. මා ආත්මාර්ථකාමී වූවා හොඳටෝම වැඩි ය.

“පිනී.. මොකුත් අවුලක් ද මචං?”

දිනුක වඩා මිත්‍රශීලි විය. මා ඔහුට පිළිතුරු දුන්නේ හිස දෙපසට වැනීමෙනි. කිසිත් නොඇසූ මුත් අමෝද අයියා සිටියේ විමසිල්ලෙනි.

“උඹ ඉන්නේ ගෙදර යනකොට අංකල් මතක් වෙන දුකෙන් ද? අර මෝඩපාල මොනවටම හරි බැනපු දුකකින්ද.. හිමා දාලා යන්න උනාට නම් මටත් දුකයි..ඒත් ඒක කඳුලු වැටෙන දුකක් නෙවෙයිනෙ..”

සිහින ලෝකයේ පාවෙමින් සිටි බව සිතුවාට මට නින්ද යන්නට ඇත. මට ද අමතක සිහිනයක් මා හඬවන්නට ඇත. නමුත් ඒ තාත්තා ගැන මතකයක් නොවන බව මට සහතික ය. මලිඳු අමනාප වේයැයි බියෙන් හිරි වැටුණු හිත මට පාලනය කර ගත නොහැකි තැනට පැමිණ ඇති සෙයකි.

“උදේට කාලා බීලා ඉමුකෝ.. බඩගින්නට නින්ද යන්න ඇති පිනීට..”

කුඩා අවන්හලක් සමීපයේ රිය නවතන අතර අමෝද අයියා කියන්නේ සන්සුන් ව ය.

“මට සීරියස්ලි අමතක වුණා.අපි කතා කරපු ටොපික් එක පිනීට පේන්නම බැරි ටොපික් එකක්.. මල පැනලා නිදා ගන්න ඇති. කැම්පස් එකේදිත් අපි ත්‍රිලර් මූවිස් ගැන කියවනකොට බැන බැන පැත්තකට යන මනුස්සයනෙ..”

දිනුකට මිතුරන් ගැන කුඩා කරුණකුදු අමතකව නොයයි.ඔහු මදෙස බැලුවේ සමාව අයදින ලීලාවකිනි.

“නෑ.. අනේ, මට ඇත්තටම ලොකු නිදිමතක් ආව…”

මගේ දෙමිතුරන්ට වඩා අමෝද අයියා වියවුලට පත් වීම ගැන මට තිබුණේ බියකි. ඔහු මා වැනි කුඩා නොවටිනා කෙල්ලක ගැන අවුලට පත් වීම අනවශ්‍ය වැඩකි.

“මෙයාට කවදාහරි මෙයා වගේම හරි ඉමෝෂනල් ෆිල්ම්ස් බලන, පොත් කාවෙක් තමයි හොයලා දෙන්න ඕන..නැත්නම් මෙහෙම මුල්ලක් අල්ලන් නිදා ගනී..”

ඊෂා අනවශ්‍ය කතාවක් ඇරඹීය.

“ඒ මොකටද.. එක වගේ කෙනෙක් නෙවේ නංගි ඔයාව ඔයා විදියටම බාර ගන්න ඔයාව චේන්ජ් නොකරන කෙනෙක් හොයා ගන්න. අන්න එතකොට ජීවිතේ ලේසියි..”

අමෝද අයියා රියෙන් බැස්සේ එසේ කියාගෙන ය. ඉතා තද ගති ඇති, කිසිදු සිහිනයකට ඉඩ නොදුන් තම මතයම නිවැරදි බව කී ප්‍රථම ප්‍රේමය ගැන තිවංකි පැවසූ කතාවක් යූ ටියුබ් ට්‍රෙන්ඩින් ආ හැටි හිතමින් මම රියෙන් බැස්සෙමි.තිවංකි පවසන හිතුවක්කාරයා අපට නොපෙනෙන්නේ ඇයි?

උදෑසන ආහාරය ප්‍රණීත වුව මට ආහාර ගන්නට උවමනා වූයේ නැත. ඊෂාගෙන් බැනුම් අසන්නට බැරිකමට කිරිල්ලක මෙන් අහුලා කන්නට ගත් මට මලිඳුගෙන් ඇමතුමක් ආවේ නොසිතූ ලෙස ය. එය නොසලකා හිඳින්නට ඊෂා සන් කළ ද එය කරන්නට නොහැකි දෙයකි.මා කෑම මේසයෙන් නැගිට අවන්හල් උද්‍යානයට ආවේ ඔහුට කියන්නට දෙයක් සිතමිනි.

“කොහෙද ඉන්නේ පිනී.. ඔයාට ලෙක්චර්ස් නැත්නම් ඔන්නොහෙ අපිට ගෙදර ගියෑකි හවස..”

ඔහු කියන්නේ ඉතා මෘදුව ය. මා දියව යන බව දැනිණ.අප ගමට යන බව කියා ගන්නට මට බොහෝ අසීරු විණි. බොහෝ වෙලා ගත විණි. දෑස් තෙත්ව ගිය ද සැබෑව හෙළි කළ යුතුම විය.

“මදෑ.. මං මේ ෂෝට් ලීව් දැම්මෙ ඔයාට හෝම් සික් කියලා.. කමක් නෑ.කොහොමත් ඉතිං ඔයාට දැන් සල්ලිකාරයෝ ලොකු වෙලා කියලා මට තේරුණා. මං මගෙයි කියලා හිතාගන්න මිනිස්සුන්ට කොහොමත් වෙනස් වෙන්න ලොකු වෙලාවක් යන් නෑ පිනී..”

ඔහු එතරම් දේ කියන්නට උවමනා නැත.මා සැබෑවටම හිඳින්නේ දුකින් බව ඔහුට මගේ හඬ ඔස්සේම වැටහිය යුතු ය.නමුත් ඔහු තුවාලයට අනිමින් එය පාරන්නේ හිතක් නැත්තෙකු ලෙස ය.

අමෝද අයියා හොඳ මිනිසෙකු නොවන බව යළිත් සිහි කළ මලිඳු දුරකථනය විසන්ධි කර දැමී ය. උදෑසන පටන් මතු වන්නට උත්සාහ කළ කදුළුවලට මෙවර වැට බඳින්නට හැකි වූයේ නැත. ඒවා ඔහේ ගලා එමින් තිබිණ.

“මේ ඇයි දෙයියනේ…”

ඊෂා මා සොයා එද්දීත් මා සිටියේ නම නොදන්නා කඳු වැටියක් දෙස බලාගෙන ඉකිලමින් ය.

“අර බූරුවා මොකක්ද කිව්වේ කියපං…”

ඊෂා නිවැරදි සැකයක එල්බ ගත්තා ය. මා ඇයට සියල්ල හෙළි කරේ හඬමිනි. ඊෂා පුපුරා යද්දීම දෙමස්සිනෝ අප වෙත පැමිණිය හ.

“මේ දරුවා අඬන්නේ ඇයි…”

ප්‍රශ්නය ඇසුවේ අමෝද අයියා ය. ඊෂා පිළිතුරු දුන්නේ දිනුක ට ය.

“අර ගොං තඩියා පිනීව අවුල් කරනවනෙ.. දැනුත් මල විකාරයක් කියලා..”

දිනුක ඉතා ප්‍රවේසම් සිනාවක් මට පා කළේ ය. අසීරු තැන්වල ඔහු අප සමඟ බව කියන්නට ඔහු යොදා ගන්නේ ඒ සිනාව ය. බොහෝ වෙලා කිසිවක් නොඇසූ අමෝද අයියා ඊෂාගෙන් ඊළඟ පැනය ඇසුවේ පහත් හඬිනි.

“ගොං තඩිය?? පිනීට බෝයි කෙනෙක් නෑ නේද?”

ඊෂා මගෙන් අවසර ගත්තේ නැත. නමුත් ඈ මගේ අප්‍රකාශිත ප්‍රේමය ගැන එක හුස්මට තම සොයුරාට හෙළි කරද්දී ඔහු වාහනය දෙසට ඇවිද ගියේ මදෙස නොබලාම ය. නැවත ඔහුගේ මුහුණ බලන්නට ලැජ්ජා ඇති මම ද අසුන කෙළවරට ගුලි වූයේ තවත් නින්දක් ගැන සිතමිනි.

“පිනී…”

අමෝද අයියා රිය පණ ගැන්වූයේ මට අමතමිනි.

“ආදරේ කරන එක ලේසි වැඩක් නෙවේ තමයි. මලිඳු හෙට අනිද්දා ගමේ එයිද? අපි ඌට කතා කරමු. ඊට පස්සෙ ඔය ඇඬිල්ල නවතීනෙ.. “

ඔහු අවන්හලෙන් රිය පාරට ගන්නා’තර එසේ කී ය.

මලිඳුට මගේ ප්‍රේමය ගැන කියන්නට ඊෂාවත් ඉදිරිපත් වී නැත.නමුත් අමෝද අයියා ඊළඟ පියවරක් වෙනුවෙන් සැරසේ. මම කිසිවක් කියා ගත නොහැකි ව ඔහේ මාවත දෙස බලා හුන්නෙමි. මාර්ගය බොහෝ දුර ය.අප තව බොහෝ දුර යා යුතු ය.කිසිවක් නොකියාම අමෝද අයියා ඉදිරියට රිය ගෙනයමින් සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ) හිමි සිහින -148

අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය...

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content