මතක දිගහැරුම 82 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූ දෙවන දිගහැරුම ,

මගේ ජීවිතයේ මට අමතක කල නොහැකිම චරිතයක් වූ ජපන් අම්මා වරක් ලංකාවට පැමිණියාය.ඇය එසේ පැමිණීමට හේතු වූ විශේෂම කාරණාව වූයේ මගේ දරුවන් දෙදෙනාය.ඇය සමග එහි සිටි මගේ මිතුරියක් ද පැමිණි අතර ඇය ලංකාවට පැමිණියේ ප්‍රථම වතාවට ය.සති දෙකක පමණ කාලයක් ඔවුන් අප සමඟ ලංකාවේ ගත කළහ.එම කාලය තුළ ඔවුන් නවාතැන් ගත්තේ අප නිවසේය.ඒ අතරතුර අප ඔවුන් කැටුව බොහෝ ස්ථාන නැරඹීමට ගියෙමු.ජපානයේ දී මා සකස් කළ සිංහල කෑම වර්ග ඔවුන් රස විඳ ඇති නිසා මා ඔවුන්ට මගේ නිවසේදීද සිංහල කෑම වර්ග පිළියෙල කර දුන්නෙමි.සුපුරුදු පරිදි ජපන් අම්මා ඒවා රස රසවින්දේ ඉතාම ආසාවෙනි.

නැවත ජපානය බලා යාමට සූදානම් වූ විට, තමන්ගේම දරුවෙකුට මෙන් කවදත් මට සලකමින් ආදරය දැක්වූ ජපන් අම්මාගේ සිත තුළ වූයේ විශාල දුකකි.ජපානය බලා යාමට පෙර දිනක ,

” අනේ මට අප්සාරි නෑනේ දැන් , නංගි වත් එහෙ අරන් යන්න පුළුවන් ද “

යනුවෙන් ඇය ඇසුවාය.එවිට හෂාන් විහිළුවට මෙන් එයට එකඟ විය.මගේ නංගී යනු අම්මා ඇසුරේම සිට හැදුණු වැඩුණු ඉතා ලැජ්ජාශීලී අයෙකි.ඒ වන විට අධ්‍යාපන කටයුතු අවසන් කර සිටි ඇය රැකියාවක නිරත වූයේ නැත.එම නිසා හෂාන්ගේ අදහස වූයේ නංගී ජපන් අම්මා සමග ජපානයට ගොස් ටික කලක් සිටීමෙන් ඇයගේ එම ලැජ්ජාශීලී ගතිය පහව ගොස් ඇගේ ජීවිතය තව තවත් හොඳ මාවතකට යොමු වේ යැයි කියාය.හෂාන් නිකමට මෙන් පැවසූ එම දේවල් ජපන් අම්මා විසින් එක සිතින්ම භාර ගත්තාය.ජපන් අම්මාට මගේ නංගිව ජපානයට කැටුව යාමට ඇත්ත වශයෙන් ම වුවමනා බව ඉන් පසුව මා මගේ අම්මා සමග පැවසුවෙමි.අම්මාගෙන් ඒ සඳහා විරුද්ධත්වයක් නොවූ අතර නංගි ඒ සඳහා කැමැත්ත පළ කරනවා නම් ඇය ජපන් අම්මා සමග ජපානය බලා ගියාට කම් නැතැයි ඇය පැවසීය.අම්මා එසේ පැවසීමත් සමගම ජපානයට යාම සඳහා නංගි කැමැත්ත පළ කළාය.මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බලමින් , මගෙම අම්මා මෙන් මා හට ආදරය මෙන්ම රැකවරණයද සැලසූ ජපන් අම්මා, මා රැක බලාගත් සේම මගේ නංගිව ද රැකබලා ගනී යන විශ්වාසය මා තුළ තදින්ම විය.

” එහෙනම් ජපන් අම්මා නංගිව එක්කගෙන යන්න.ගමනට යන සේරම වියදම් මම දරන්නම් “

යනුවෙන් හෂාන් පැවසුවේය.ඉන්පසුව ඔහු නංගිගේ ජපන් ගමනට සියලුම කටයුතු සූදානම් කර ටිකට් පත් ද වෙන්කරවා දී අවශ්‍ය සියලු පහසුකම් සැලසුවේය.අවසන ජපන් අම්මා ජපානය බලා යන විට මගේ නංගී ද ඇය සමඟ පිටත් වූවාය.

මගේ නංගී අවුරුද්දක පමණ කාලයක් ජපානයේ ජීවත් වූවාය.මා බලාපොරොත්තු වූ පරිදිම ජපන් අම්මා ඇයව ඉතා හොඳින් රැක බලා ගත් අතර නංගි එහිදී ජපන් භාෂාව ද ඉතා හොඳින් ඉගෙන ගත්තාය.වීසා එක සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් නංගීට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ජපානයේ ගත කිරීමට නොහැකි විය.එම ගැටලුව පැන නොනැගුනා නම් ඇය දිගින් දිගටම ජපානයේ ජීවත් ජීවත් වන්නට ඉඩ තිබුණි.

නංගි නැවත ලංකාවට පැමිණි පසු රැකියාවක් කිරීමට අදහසක් නොතිබුණු නිසා ඇයට ඉතා හොඳ විවාහයක් කර දීමට මගේ දෙමව්පියන්ට උවමනා විය.තාත්තා මෙන්ම ඉතා පැහැපත් සහ සුන්දර තරුණියක වූ මගෙ නංගි, ගති ගුණවලින් මට වඩා හාත්පසින්ම වෙනස් තැනැත්තියක් වූවාය.සමාජයේ බොහෝ දෙනකු ආශ්‍රය කිරීමට මට මෙන් අවස්ථාව නොලද ඇය ඉතා ලැජ්ජාශීලීය.

බංගලාදේශයේ ජීවත් වන අපගේ හිතවතෙකු වරක් අප අමතා නංගි වෙනුවෙන් විවාහ යෝජනාවක් ඇතැයි පැවසීය. පසුව ඔවුන් විසින් විවාහ යෝජනාව ගෙන ආ තරුණයාව සම්බන්ධ කරගත හැකිදුරකථන අංකය ද අප වෙත ලබා දුන්හ.කෙසේ හෝ ඉන් පසුව එම තරුණයාගේ අම්මා අප වෙත දුරකථනයෙන් ඇමතුවාය.අදාළ තරුණයා හෂාන් සමග එකම පන්තියේ ඉගෙන ගත් බවත් , හෂාන් තමන්ව හොඳින් හඳුනන බවත් එම තරුණයාගේ අම්මා පැවසුවාය.

” මම චින්තක වික්‍රමගේ ගේ අම්මා.හෂාන් ගෙන් අහන්නකො හෂාන් මාව හොඳට දන්නවා .ඒ දෙන්නා එකම පන්තියේ ඉගෙන ගත්තේ “

ඇය එසේ පැවසූ බව මා හෂාන් සමග පැවසුවෙමි.

” අනේ ඔව් මම හොඳට දන්නවා.ඉස්සර මම practice matches වලට යනකොට මම වැඩි හරියක් ඉස්කෝලේ නෑනේ.එතකොට මගේ notes ඔක්කොම ලියලා දෙන්නේ එයා .එයාගෙ අකුරු හරිම ලස්සනයි.අම්මා ඉස්සර අහනව notes වෙලා දෙන්න ගෑනු ළමයෙක් ද කියලත් “

හෂාන් එසේ පැවසූ විට අප ඉතා සතුටු වූයෙමු.වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ චින්තක ඇතුළු ඔහුගේ පවුලේ අය නංගිව බැලීම සඳහා ඉන්පසුව අප නිවසට පැමිණියහ.ඉන්පසුව ඔවුන් නංගි කෙරෙහි පැහැදී එක පයින්ම විවාහයට කැමැත්ත පළ කළහ.ලැජ්ජාශීලී තරුණියක වූ මගෙ නංගිට ඒ වන විට ජීවිතය පිළිබඳව එතරම් අත්දැකීම් නොවූ නිසාත් , තරුණ විය හිණිපෙත්තේ ම සිටින නිසාත් ඇය විවාහය සඳහා එකවරම කැමැත්ත පළ කළේ නැත. චින්තක යනු නංගි මෙන්ම ඉතා අහිංසක පුද්ගලයෙකු බවත් , ඔහු නංගීව ඉතා ආදරයෙන් රැක බලා ගන්නා බව සියයට සියයක්ම විශ්වාස බවත් හෂාන් වටහා දුන් පසුව සහ අප සියලු දෙනාමද කරුණු වටහා දීමෙන් අනතුරුව නංගි විවාහය වෙනුවෙන් කැමැත්ත පළ කළාය.

හෂාන් විසින් නංගිගේ විවාහ මංගල උත්සවය අප නිවසේ පැවැත්වීමට සැලසුම් කළ අතර මුළු නිවසම මල්වලින් අලංකාර කොට විවාහය වෙනුවෙන් අවශ්‍ය සැරසිලි කිරීමට කටයුතු කළේ හෂාන් ය .වැඩිමහල් සහෝදරයකු මෙන් සියලුම දේ සොයා බලමින් කිසිදු අඩුපාඩුවක් නොමැතිව, සිංහල චාරිත්‍රානුකූලව විවාහය පැවැත්වීමට හෂාන් වගබලා ගත්තේය.විවාහ මංගල උත්සවය සඳහා දෙපාර්ශවයේම නෑදෑයන් සහ හිතවතුන් බොහෝ දෙනෙකු සහභාගී විය.කලකට පෙර මා රැකියාවෙන් ඉවත් වන විට හෂාන් මා හට පොරොන්දු වූ ලෙසම ඔහු මගේ දෙමාපියන් වෙනුවෙන් පමණක් නොව නංගි වෙනුවෙන් ද යුතුකම් ඉටු කළේ ඒ ආකාරයෙන් ය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles