මතක දිගහැරුම 97 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ හත්වන දිගහැරුම ,

අපගේ එංගලන්ත ගමන අතර අතරවාරයේදී මගේ අම්මා අසනීප වී තිබුණි.නමුත් ඒ පිළිබඳව කිසිවෙකුත් මා හට පැවසුවේ නැත.මා එය දැන ගත්තේ දින ගණනාවකට පසුවය.අම්මා වයස අවුරුදු 35 පමණ කාලයේ සිට දියවැඩියා රෝගයෙන් පෙලෙමින් සිටි අතර , මා ගුවන් සේවිකාවක ලෙස සේවය කරන කාලයේ ගෙන එන රස කැවිලි වර්ග සහ චොකලට් වර්ග ඇය ආහාරයට ගත්තාය.ඊට අමතරව නිවසේ දී ද විවිධ අතුරුපස වර්ග සහ රස කැවිලි වර්ග සකස් කරන ඇය ඒවා ද රස වින්දාය.ඒවා හේතුකොටගෙන ඉතාම අඩු වයසේ සිටම ඇය දියවැඩියා රෝගයෙන් පෙළුනාය.එවැනි දෑ ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ඇයට පැවසීමට තාත්තාද අකමැති වූ අතර ඔහු පැවසුවේ ඒවා ආහාරයට ගත්තත් ඇයට නියමිත බෙහෙත් නිසි වේලාවට ලබා ගන්නා ලෙසයි.ඇතැම් අවස්ථාවන්වලදී මා අම්මව වෛද්‍යවරයා වෙත කැටුව යන විට ඔහු පවසන්නේ මා හටද පරිස්සම් වන ලෙසයි.මන්ද ගුවන් සේවිකාවක ලෙස සේවය කරමින් සිටි මා ද විවිධ ආහාර වර්ග අනුභව කරන නිසාය.මා එමිරේට්ස් ආයතනයේ සේවය කරන කාලයේ මගේ කාමරයේ ඇඳ අසල කැඩ්බරි වර්ගයේ චොකලට් එකක් වරදින්නේ නැත.

කෙසේ හෝ අපගේ එංගලන්ත ගමන අතර අතරවාරයේදී අම්මා නවාතැන් ගෙන සිට ඇත්තේ නංගිගේ නිවසේය.ඒ කාලයේදී අම්මාගේ වෙනසක් නංගිට දැනී ඇත.ඇයගේ අතක වෙනසක් සහ කට ඇද වී තිබෙනු දුටු නංගී ඇයව වහාම රෝහල් ගත කර ඇත.ප්‍රතිකාර වලින් පසුව අතෙහි සහ කටෙහි ඇතිවූ ගැටලුව මදක් තිබුනද ,ඇය ක්‍රම ක්‍රමයෙන් සුව අතට හැරුනාය.

දේශපාලනයට පිවිසීම සඳහා ලැබුණු ආරාධනාව පිළිගත් හෂාන්ට අවිස්සාවේල්ල ආසනයේ තරුණ සංවිධායකවරයෙක් හැටියට වැඩ කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණි.ඒ අවස්ථාවේ සිට පිළියන්දල ප්‍රදේශයේ සිටි හෂාන්ගේ මිතුරන් ඇතුළු තවත් බොහෝ දෙනකු ඔහුගේ සහයට ඔහු හා එක් විය.පිළියන්දල සිට අවිස්සාවේල්ලට සැලකිය යුතු දුර ප්‍රමාණයක් තිබුණු අතර එහි තිබුණේ වෙනස්ම ආකාරයේ පරිසරයක් ය.කෘෂි කර්මාන්තයේ නියැලෙන ඉතා අහිංසක සහ සාමාන්‍ය ජනතාව එම ප්‍රදේශයේ වාසය කළ අතර ප්‍රදේශයේ තරමක් ඇතුළට වන්නට තේ වතු, රබර් වතු සහ දිය ඇලි සහිත අලංකාර පරිසරයක් ද විය.වැඩ කටයුතු සඳහා ඉතා උදෑසනම පිටත්වන හෂාන් නැවත නිවසට පැමිණෙන්නේ රෑ බෝ වී හෝ පසුදින පාන්දර වන විටය.ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඒ වන විටත් ප්‍රසිද්ධියක් උසුලමින් සිටි නිසා හෂාන් වටා තරුණ පරපුරේ බොහෝ දෙනා එක් රැස් වෙමින් සිටියහ.ඒ අතරතුරදී හෂාන් බොහෝ සාර්ථක ලෙස අවිස්සාවෙල්ල ප්‍රදේශයේ ඔහුගේ දේශපාලන කටයුතු කරගෙන ගියේය.

අවිස්සාවේල්ල නගරයට ආසන්න ස්ථානයකින් හෂාන් ඔහුගේ කාර්යාල කටයුතු සඳහා ද හදිසියකදී නවාතැන් ගැනීම සඳහා ද නිවසක් කුලියට ගත්තේය.මම ද හැකි සෑම අවස්ථාවකදීම ඔහුගේ වැඩ කටයුතු වලට සහාය දීම සඳහා ඔහු හා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගියෙමි.ඒ වන විට මා දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි නිසා මා එහි ගියේ තරමක් අඩු වෙන්ය.නමුත් ඒ අතරතුරදී මා විසින් අපගේ අනෙක් සියලු වැඩ කටයුතු වලද නිරත වූයෙමි .

වැඩිමහල් දරුවන් දෙදෙනා වෙනුවෙන් අප වෙනමම කාමරයක් සූදානම් කර තිබුණද ඔවුන් කිසි දිනක රාත්‍රියේ දී එහි නිදා ගත්තේ නැත.රාත්‍රී කාලයේ දී එහි තනිවම නිදා ගැනීමට ඔවුන් දෙදෙනා බියක් දැක්වූහ.එමනිසා ඔවුන් දෙදෙනාම හෂාන්ගේ සහ මගේ නිදන කාමරයේ අප දෙදෙනා මැද නිදා ගැනීමට පුරුදු වී සිටියහ.කෙසේ හෝ තෙවන දරු ප්‍රසූතියට ආසන්න කාලයේ දී මා පොලොවෙ ඇතිරූ මෙට්ටයක් මත නින්දට යාමට පුරුදු වූයේ එය මට පහසුවක් වන නිසාය.ගුවන් සේවිකාවකට සාමාන්‍යයෙන් හට ගන්නා කොන්දෙ ආබාධය පලවන දරු ප්‍රසූතියෙන් පසුව මා හට තරමක් වැඩිපුර දැනුණි.ඒ හේතුව නිසාත් අප සමග නින්දට යන දරුවන්ගේ දෙපා මගේ කුසේ වැදෙතැයි තිබූ බිය නිසාත් එසේ පොළොව මත ඇතිරූ මෙට්ටයේ නිදා ගැනීම මා හට විශාල පහසුවක් විය.ඇතැම් අවස්ථාවලදී කුස සිටින දරුවාගේ පිටතට පෙනෙන චලනයන් දෙස බලා සිටීමට අපගේ නිවුන් පුතුන් දෙදෙනා දැක්වූයේ පුදුමාකාර කැමැත්තකි.එවැනි චලනයක් දුටු විට ඔවුන් කුස අතගාමින් ඉතා ආසාවෙන් ඒ දෙස බලා සිටියහ.

වරක් මා ස්කෑන් පරීක්ෂණයකට සහභාගී වූ විට මගේ කුසෙහි වැඩෙමින් සිටි පුතුගේ මුහුණ මා තිරය මත දුටුවෙමි.ඉතා රවුම් හැඩති ඔහුගේ මුහුණ මා හට හොඳින්ම මතකය.දරු ප්‍රසූතිය සඳහා වෛද්‍යවරුන් විසින් මා හට දින නියම කර තිබුණේ සැප්තැම්බර් මාසයේ නම වන දිනදීය.පලවෙනි දරු ප්‍රසූතිය සීසර් සැත්කමක් වූ නිසා දෙවන දරු ප්‍රසූතිය ද සීසර් සැත්කමකට අනුව සිදු කිරීමට වෛද්‍යවරුන් තීරණය කර කලහ.අපගේ නිවුන් දරුවන් දෙදෙනා උපත ලද්දේ සැප්තැම්බර් නම වන දින බැවින් අනෙක් දරුවාවද එම දිනයේදීම සීසර් සැත්කමක් මගින් ප්‍රසූත කිරීමට උත්සාහ කරමු යැයි වෛද්‍යවරයා පැවසුවේ ය.නමුත් අවසාන වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි වූ විට වෛද්‍යවරයා පැවසුවේ සැප්තැම්බර් 9 වන දින තෙක් සිටීමට තරමක් අපහසු නිසා සැප්තැම්බර් පස්වන දින පමණ සීසර් සැත්කමක් කිරීමට සිදුවනු ඇති බවයි.එම නිසා සැප්තැම්බර් 4 වන දින රෝහල් ගත වන ලෙස වෛද්‍යවරයා දැනුම් දුන්නේය.

සැප්තැම්බර් මස 4 වන දින මා හෂාන් සමග පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දෙවන දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූයෙමි.නයින්වේල්ස් රෝහලේ වෛද්‍ය හත්තොටුව මහතාගේ අධීක්ෂණය යටතේ මා එම රෝහලේ ප්‍රසූතිය සඳහා සූදානම් වූයෙමි.සැප්තැම්බර් පස්වන දින සීසර් සැත්කම සිදු කෙරෙනු අතර එය පලවන දරු ප්‍රසූතියට වඩා මා හට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් බවට පත් විය.පලවන දරු ප්‍රසූතියේදි සාමාන්‍ය නිර්වින්දනය යටතේ දරු ප්‍රසූතිය සිදු කෙරුණ ද , දෙවන දරු ප්‍රසූතිය සිදු කෙරුණේ කොන්ද ප්‍රදේශයට ලබාදුන් එන්නතකින් කොන්දෙන් පහළ ප්‍රදේශය පණ නැති කිරීමෙන් අනතුරුවය.වේදනාවක් නොදැනුන ද සැත්කම කෙරෙන විට එය මා හට හොඳින්ම දැනුණි.ප්‍රසූතිය අතරතුරදී හෂාන් මා අසලම සිට මගේ හිස අත ගාමින් මා සමග සිටීම මා හට විශාල සහනයක් විය.වෛද්‍යවරුන්ද ඉතා මිත්‍රශීලීව ගීත ගායනා කරමින් විහිළු තහළු කරමින් මා හට බිය නොසිතෙන ආකාරයට ප්‍රසූතිය සිදු කළහ.කුඩා පුතුව කුසින් පිටතට ගන්නා විටම ඔහු කෑ ගසමින් හැඬුවේය.පෙකණි වැල කැපීමෙන් අනතුරුව දරුවාව පිරිසිදු කිරීමටත් ප්‍රථම , හෙදියක් විසින් ඔහුව මගෙ මුහුන මත තැබුවාය.දරුවාගේ හැඬීම නතර වූයේ ,කුස තුළ දී ඔහුට දැනුණු මගේ උණුසුම නැවතත් දැනුනු පසුවය .මා ඒ අවස්ථාවේ දී දුටුවේද ස්කෑන් පරීක්ෂණයේදී මා දුටු රවුම් හැඩැති මුහුණම ය.කෙසේ හෝ දරුවාව පිරිසිදු කිරීමට හෙදියන් විසින් රැගෙන යන විට ඔහු නැවතත් කෑගසා හඬන්නට පටන් ගත්තේය. දෙවන දරු ප්‍රසූතිය මා හට ඉතා සුන්දරම අත්දැකීමක් වූ අතර එය හෂාන්ටද අමුතුම ආකාරයේ අත්දැකීමක් වි‍ය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles