පිනි සේල – 19

මම අම්මාත් අමෝද අයියාත් මඟ හැර මුළුතැන්ගෙයින් පිටතට ආවෙමි. මගේ හිතට දැනුණේ අප උගුලකට හසු වන්නට යන බව ය. මිනිසුන් තමාගේ කාර්යය වෙනුවෙන් අනෙකා පාවිච්චි කරන බවට අමෝද අයියා ම පවසා එතරම් වෙලාවක් ගොස් නැත.ඉතින් දැන් ඔහුත් සැරසෙන්නේ එයටම බව මට සහතික ය.

ඊෂාත් දිනුකත් කතාබහක ය. එතැනට ගොස් ඔවුන්ට බාධාවක් වන්නට මට හිතක් නැත. ඔවුන්ට කියවන්නට මොනතරම් දේවල් ඇත්දැයි මා සිතුවේ මඳ සිනාවකිනි.මලිඳු බරාඳයේ පුටුවකට වී දුරකථනය ඔබමින් හුන්නේ ය.

ඉතින් සියල්ල ඔහුට කියන්නට ගත වූයේ විනාඩි කිහිපයකි.මා ගිරවියක වන්නට ඇත. ඔහු නිහඬවම අසා සිටියේ ය.ඔහු මේ ගැන කියන දේ අසන්නට ඇස් දැල්වූයෙමි.

“මෙච්චර නරක් වුණේ කොහොමද පිනී…”

ඔහු ඇසුවේ එහෙම ය. මගේ දෙසවන් මටම විශ්වාස නැතිව ගියමුත් ඔහු ඇසුවේ එය බව සහතික ය.

“අමෝද අයියා ගෑනු ළමයිගෙ සීන් වලට එච්චර හොඳ මනුස්සයෙක් නෙවෙයි තමා. ඒත් එච්චර ලොකු බිස්නස් ෆැමිලි එකක කොල්ලෙක් මොකටද බං උඹලගෙ ෆාම් එක කොල්ල කන්නේ. ඇත්තටම එයා ඔය අහන්නේ නිකාං එළවලු විකුණනවට වඩා වෙනස් වැඩක් කරන්න.ඒ මනුස්සයට ඒකට ඉඩ දෙනවා. ඔයා නොදන්නවට ගමේ ගෑනු අය වැඩිපුර එලෝලු ගන්නෙ ඔයාලගෙ ෆාම් එකෙන්.වැඩට ඉන්න ගෑනු ඒවා හොරෙන් විකුණනවා. වේලු මාමත් ඕවා තිතට බලන් නෑ. දැනටම ඔයාලාට සෑහෙන පාඩුයි තමා. අන්න ඒ හින්දා විකාර නොකර ඔය තීරණේ අම්මට ගන්න දෙන්න. නිස්කාරනේ මිනිස්සු අවිස්වාස කරන්න එපා.මහ කැත වැඩක්..”

ඔහු කියවාගෙන යන දෙය මට තෝරා ගැන්ම පවා අපහසු ය. අමෝද අයියා කපටි බව වහා පිළි ගනීයැයි මා සිතූ යෞවනයා අමෝද අයියාගේ යෝජනාව දෑතම ඔසවා තහවුරු කරයි.

“අනික එයාලා ඔයාව ගෙදර නවත්තං ඉන්නවා. ඊෂා තමන්ගෙම සහෝදරී වගේ ඔයාව බලා ගන්නවා. මං හිතුවට වඩා අමෝද අයියත් හොඳයි. හැබැයි මට දිනුකව නම් අල්ලන් නෑ. ඌ ඔය ඊෂාට ලං වෙලා ඉන්නේ සල්ලි වලට..”

මලිඳු බොහෝ දේ දන්නා පරිදි කියවන්නට පටන් ගත්තේ ය. මා සැනසුමක් වෙනුවෙන් ඔහු වෙත ආවද ඔහු නැවත මගේ හිත අවුළවා අවසන් ය.කිසිවක් නොකියාම මා අසුනෙන් නැගිට ගතිමි.

නමුත් ඔහු කියන දේ ඇත්‍තකි. ඊෂාගේ තාත්තා විශාල ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකි. එහි මතු හිමිකාරිත්වය අයත් අමෝද අයියාට ය. ඒවා සමඟ බලද්දී අපේ ගොවිපොළ ඔවුන්ට මහා වටිනාකම් සහිත තැනක් නොවේ. ඉතින් අප රවටා මෙය ලබා ගැනීම මගේ හිතේ හටගත් මෝඩ සහ බොළඳ සිතුවිල්ලක් යන පැහැදිලි සත්‍යය මා මටම අවබෝධ කරවන්නට තැත් දැරූවෙමි.

“ඔය ගෙට යන්නේ තද වෙලා කියලා දන්නවා. මොලෙන් හිතලා බලනවා.. එතකොට හරි..”

මා නිවස තුළට ආවේ දුක්බරව ය.අමෝද අයියා අපේ පැරණි ඇල්බමයක් පෙරළාගෙන නංගි සමඟ කියවිල්ලක ය.ඔහු සිටින ඕනෑම තැනක් පිරුණු ස්වභාවයක් ඇති තැනක් වන්නේ කොහොමදැයි සිතමින් මම අම්මා වෙත ගියෙමි. ඈ මුළුතැන්ගෙය තුළ නැත. මීනා නැන්දා කරියක් සකසමින් හුන්නා ය.මම අම්මාගේ කාමරයට එබී බැලුවෙමි.

“පුතේ.. අර දරුවා කිව්ව දේට වචනයක් දෙන්න එපැයි. මං පොඩි මාමාට කෝල් කරා.”

අම්මා ඇඳ මතින් හිඳ ගත්තේ ලොකු කතාවකට මුල පුරමිනි. ඇය වහා පොඩි මාමාට අමතන්නට ඇත. ජීවිතයේ බැරෑරුම් ගැටලු විසඳා ගන්නට අම්මාට සෑම මොහොතක ම සෙවණැල්ල වන්නේ පොඩි මාමා ය. පොඩි මාමා මේ ගැන කුමක් කියන්නට ඇත්දැයි සිතද්දී මගේ හිත කුහුලින් බර විය.

“ඉතින්..”

“මාමා නම් කියන්නේ ෆාම් එක විකුණලා ඒ සල්ලිවල පොලියෙන් ජීවත් වෙන්න කියලා. ඒත් පුතේ මට තාත්තා මහන්සියෙන් හදපු දේ විකුණන් කන්න බෑ.අර දරුවන්ගේ බිස්නස් එක කරන්න අපි එළවලු දෙමු.. එයාලා අර උඩහ ඉඩමත් බද්දට අරන් පලතුරු දාන්නම් කිව්වෙ..”

අම්මා හිඳින්නේ සතුටින් නම් ඒ යෝජනාවට පිටු පාන්නට මට උවමනා නැත. අනිත් කාරණය ඇය මේ සෑම වගකීමක් ම හිසෙහි පටවා ගත යුතු නැති බව ය.

“නංගි මොකෝ කියන්නෙ අම්මේ..”

“චූටිගෙන් අහන්න ඕනි නෑනෙ පුතේ.. එයා තාම ඕවා තීරණේ කරන වයසක නෑනේ.. ඔයා දැන් ඕක මලිඳුගෙනුත් ඇහුවද?”

අම්මා මලිඳු හා මා අතර සම්බන්ධයක් ඇතැයි සැක කරන බවට නංගි කී හැටි මට වහා සිහි විය. ඇය මේ අහන්නේ එවැනි දෙයක් බෙදා ගන්නට තරම් අප සමීප බව නොවේ ද?

“මං දැන් නිකමට වගේ කීවා..මලිඳුත් නම් කියන්නෙ අම්මේ ඒක හොඳ වැඩක් කියලා..”

අම්මා මවෙත නිහඬ සිනාවක් හෙළුවා ය.

“මලිඳු හදිස්සියෙම කොළඹට මාරු වෙනකොට මං නිකමට හිතුවා…”

“අනේ එහෙම නම් මොකුත් නෑ අම්මේ.. මං දිවුරන්නං…”

මා ලැජ්ජාවෙන් රත්පැහැ වන්නට ඇත. අම්මා කිසිත් නොකියා ම මගේ හිස පිරිමැද්දා ය. තවදුරටත් ඈ සමඟ හිඳින්නට ලැජ්ජාවක් ඉපැදුණු නිසා මා එතනින් වහා මිදී ආවෙමි.

අම්මා මාත් නංගීත් හැරෙන විට අපව කියවා ගන්නට හොඳින් දැන සිටියා ය. ඇගේ ශබ්ද කෝෂයේ බැනුම් තිබුණේ ම නැත.දඬුවම් ද තිබුණේ අල්පව ය. ඕනෑම රහසක් ඈ සමඟ බෙදා ගන්නා තුරු අපට ඉවසුමක් තිබුණේ ම නැත. නමුත් අම්මාට නොකියා හංගා ගත් රහසක් හිතේ ඇති බැවින් මට දැනෙන්නේ අපහසුවකි.

අමෝද අයියා සහ නංගී වෙත ගොස් ඔවුන්ගේ කතාවට හවුල් වන්නට හදද්දී ම දිනුක නරක් කර ගත් මුහුණක් ඇතිව ගෙට වැදුනේ ය. ඒ ඇයි දැයි බලන්නට මෙන් අමෝද අයියා ද ඇල්බමයෙන් දෑස් ඉවතට ගත්තේ ය.

“දෙන්නා මරා ගන්න ඇති.. අපිට ඉතින් ඕවා අදාළම නෑ.. “

හිනාවක් මවාගෙන එසේ කියූ ඔහු නැවත ඇල්බමයට දෑස් ඔබා ගත්තේ ය.මට අපේ සමහර මිතුරියන්ගේ අයියලා සිහි විය.නැගණිය ප්‍රේමයකට පැටලුණු බව දැනගත් වහා ඔවුන් කරන්නේ නංගීගේ ප්‍රේමවන්තයාට තර්ජනය කිරීම ය. තමන්ගේ ආදර කතා අමතකව ගොස් නංගිගේ පෙම්වතා පමණක් චූදිතයන් කරන බහුතර අයියලා අතර අමෝද අයියා තේරුම් ගැනීමේ ශක්තියක් ඇති වැඩිමහල් සහෝදරයෙකි. සැබෑවටම ඊෂා ගැන ඉරිසියා හිතෙන ප්‍රධාන ම කාරණාව එය නොවේදැයි මා සිතුවේ ආලින්දයේ ඇති තාත්තාගේ ඡායාරූපය දෙස බැලුම් හෙළමිනි.

එහෙත් තාත්තා ගැන සිහි කර නෙත් තෙමා ගන්නට ඉඩක් වූයේ නැත.

“කෝ අක්කේ මලිඳු අයියා..”

නංගි ඇසී ය.

“යන්න ඇති නේද . කීවේ නැද්ද…”

මා සමඟ තදින් කතා කළ නිසා ම ඔහු නොකියාම පිටව යන්නට ඇතැයි සිතූ මම වියවුල් ව ගියෙමි. අමෝද අයියා වහා නැගී සිටියේ යමක් සිහිපත් ව ය.

” අපේ මෝඩිත් ගෙට ආවේ නෑනෙ.. හීතලේ අඬනවා ඇති..පිනී ගිහින් බලන්න..”

මා පිටතට ආවේ ඊෂා සොයන්නට ය. දුටු දසුන මට සම්පූර්ණයෙන්ම අවුල් වන්නට ප්‍රමාණවත් ය. මා හැරී බැලුවේ අමෝද අයියා කොහෙදැයි බලන්නට ය. ඔහු මා අසලම විය. මා කිසිදා නොදුටුව තද බැල්මක් සහිත මුහුණකින් මා අසලම විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content