පිනි සේල – 27

“ඔයා මොනවා ගැනද කියන්නේ?”

මා සැබෑවටම සිටියේ වියවුල් ව ය. ඊෂාට මා සමඟ හදිසියේ අමනාප වෙන්නට ද හේතුවක් තිබිය නොහැක. අප ඊයේ රාත්‍රිය ද ගෙවූයේ සිනාබර විහිළු තහළුවෙනි.

“පිනී.. මං දන්නවා ඔයා මලිඳුට ආදරෙයි කියලා. ඒ ආදරේ මොන විදියේ වුණත් ඔයාට මං කියපුවා එයා එක්ක ශෙයාර් කර ගත්තේ ඇයි?”

ඊෂාගේ ආවේගය කදුළු සමඟ මතු වී එයි. පැටලී යන මට ද හැඬෙන්නේ හේතුවක් නැතිවම ය.

“ඔයා මොනවද මේ කියන්නේ..”

“ඔයයි මලිඳුයි අතර අෆෙයා එකක් තියනවා කියලා මම දැන් දන්නවා.ඔයාලගේ අම්මලා ඒක ගැන කතා වුණා කියලත් මං දන්නවා. මට ඒක ඔයා නොකීවට දුකයි තමා.මොකද මං දිනුකගේ හැම දෙයක්ම ඔයාට කිව්ව හින්දා..”

වහා නිවැරදි වෙන්නට මට ඕනෑ විය. නමුත් දැන් එයට ප්‍රමාණවත් කාලයක් මට ඉතිරිව නැති බව කියන්නට මෙන් ඊෂා නැවතත් ආවේගයෙන් කියවන්නට පටන් ගත්තා ය.

“මට ඒවා ඇත්තටම වැඩක් නෑ පිනී. ඒත් මට කියන්න ඇයි අපේ අයියා ගැන ඔයා මලිඳුට අවුල් දේවල් කිව්වෙ. තිවංකි නිසා අයියා අවුලෙන් හිටියා. ඔව් ඇත්ත. ඒත් අයියා විශ්වාස කරන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න බෑ කියලා ඇයි ඔයා මලිඳුට කීවේ? අයියා ඔයා ගැන හෝප් එකක් තිබ්බද නැද්ද කියන්න මම දන් නෑ පිනී. ඒත් එයා මට වගේම ආදරෙන් ඔයාට සැලකුවා. ඇයි අයියා ගැන කතා හදලා කිව්වේ…එයා කොහොමටත් නරක මනුස්සයෙක් නෙවෙයි.”

මම ඊෂාගේ අතක් අල්ලා ගතිමි. ඇය වහා එය ඉවතට ඇද ගත්තා ය.

“මට තව දුරටත් ඔයා මගේ පිනී නෙවෙයි. අපි ආයේ හොඳ යාලුවෝ වෙන එකක් නෑ.ඔයාට මෙහෙන් යන්න කියන්න මට බෑ. ඔයා ඉන්න. හිත හැදුණම මම කතා කරන්නං..”

ඊෂා කඳුලු පිසිමින් යන්නට ගියා ය. මගේ දෑසට ඉනූ කදුළු කෙලවරක් නැතිව ගලා යමින් තිබිණි. ඊෂාත් මාත් ඕනෑ තරම් රණ්ඩු අල්ලා ඇත. රාත්‍රියේ බලන චිත්‍රපටිය තෝරා ගත නොහැකිව ඇල්ලූ රණ්ඩු ද, ඇඳුම් තෝරන්නට ගොස් අලුත්ම විලාසිතා ගැලපීම් ගැන ඇති කරගත් මත ගැටුම් ද නලුවන් සහ ගායකයන් බෙදා ගන්නට නොහැකිව ඇල්ලූ ජල්ලි ද අද සිදුවීමට කිසි අයුරකින් සමපාත නැත. ඒ කරුණු සම්බන්ධයෙන් අපහාස කරගනිමින් අපි හිනැහෙමින් සිටියෙමු. අද කදුළු නොවැටී අපට කතා කරන්නට නොහැකි විය.

අමෝද අයියා සහ තිවංකි ගැන මලිඳු සමඟ මා පැවසුවේ මලිඳු මගේ දීර්ඝකාලීන ම මිතුරා නිසා ය.මා ඔහුට අප්‍රමාණ ලෙස බැඳී හුන් නිසා ය. ඔහුගෙන් රහස් සැඟවීමට මට ඕනෑ වූයේ නැත. මලිඳු ඒ ගැන ඊෂාට පැවසුවේ මොන හේතුවකට දැයි මට දැන ගන්නට ඕනෑ විය. නමුත් ඒ ගැන මලිඳුගෙන් අසන්නට මට ධෛර්යයක් වූයේ නැත.

මගේ උපන්දිනය දා මලිඳු මා ප්‍රතික්ෂේප කරන්නේ නම් හිත හදා ගන්නටත් ඊෂලා සමඟ රැඳෙන්නටත් මා සිතූ බව සැබෑවකි. දැන් මලිඳු මට හිමි වන බව තහවුරු ය. ඔහු හිමි වන්නේ නම් මා සතු සියලු වටිනා දෑ මට අහිමිව ගිය ද කම් නැති බව හදිසියේ මට සිතිණි.

ආත්මාර්ථකාමී වෙමින් සිටින බව මට නොදැනුණා නොවේ.එහෙත් ආදරය ඉදිරියේ ඕනෑම යුවතියක ආත්මාර්ථකාමී වන බව ද අනුවණ වැඩ කරන බව ද මම ද දනිමි. මේ අවදානමට අඩිය නොතබා හිඳින්නට මට සිත් නොදේ. වසර ගණනක් සිහින දුටු ඒකපාර්ශ්වික ආදරය මට හිමි වන බව දැනෙද්දී ජීවිතය සමඟ වඩාත් බැඳී ඇති මිත්‍රත්වය ලංසුවට තැබීම අනුවණ බව ඇත්තකි.

ඊෂා සහ මලිඳු අතරින් තෝරා ගැනීමක් කරන්නට යැයි දෛවය මගෙන් ඉල්ලා සිටියි.

මම මලිඳු තෝරා ගනිමි.

එය පිටතින් බලන්නෙකුට ඉතා නරක සහ ආත්මාර්ථකාමී තීරණයක් සේ පෙනෙන ඉඩ වැඩි ය. මා මෝඩියක බව නංගීත් හිමල්කත් දිනුකත් ඉඳුරා ම පවසනු ඇත.

කම් නැත.

මේ මොහොතේ එය මිස වෙන කළ යුත්තක් මට පැහැදිලි නැත.

“කැම්පස් එක පැත්තේ එනවද පිනී..”

මලිඳුගෙන් කෙටි පණිවිඩයක් ආවේ එවිට ය.මේ අපේ “ස්ටඩි ලීව්” දින කිහිපය ය. නමුත් පාඩම් කරන්නට එහි දී ද හැකි ය. මලිඳු හමු වී හවස් යාමය පාඩමට යොදවන තීරණයකට එන්නට මට ගත වූයේ තත්පරයෙන් ද හරි අඩකි.

“තව පැයෙන් එන්නං මලිඳු.”

මම වහා හැඳ පැළඳ ගතිමි. ඊෂා එනවාදැයි අසන්නට මට ඕනෑ වූයේ නැත. ඇය නොඑන බව මම දනිමි. දිනුක කොහොමටත් අද නොඑන බව විශ්වාස ය. හිමල්කට ද මා සරසවියට යන බව කියන්නට ඕනෑ නැත. මලිඳු ඉන්නා තැනක ඔවුන් තිදෙනා ම නැති වීම හොඳ බව මම සිතුවේ මලිඳුගේ කැමතිම වර්ණයේ ගවුමකින් හැඩ වෙන ගමන් ය.

” අද ලෙක්චර්ස් නෑ නේද පිනී..”

පහත මාලයට ආ මගෙන් අමෝද අයියා ඇසුවේ මුළුතැන්ගෙය පැත්තේ සිට සාලයට එන අතර ය. ඔහු දුටුවනම මා කැළඹී යනු ඇතුළාන්තයට දැනුණ ද මට සන්සුන් වීමට අවැසි විය. අමෝද අයියාගේ සන්සුන් දෑස් බැල්ම මඟ හැර මලිඳුගේ දිලිසෙන නෙත් මවා ගත් මම අයියා වෙත හැරුණෙමි.

“මට ලයිබ්‍රි එකෙන් පොතක් ගන්න ඕන අයියා.නෝට්ස් වගයක් අඩුයි.ඊෂා නම් එන්නෙ නෑලු..”

වහා පිළිතුරු දී නික්මෙන්නට මට ඕනෑ විය.

“හදිසියක් නැත්නං ඔහොම ඉන්න. මං පැය බාගෙන් ලෑස්ති වෙලා එන්නං..ඔයාවත් ඩ්‍රොප් කරන් ගියෑකි මට..”

මලිඳු හමු වීමට යන්නට වඩා හැඩවැඩ වී සිටින මට අමෝද අයියාගේ වාහනයෙන් යාමට සිත් දෙන්නේ නැත.මා පැමිණියේ ඔහු සමඟ බව මලිඳුට පවසන්නට ද නොහැක.

“මං යන්නං මෙහෙම්ම අයියේ. ඉක්මනට ගියොත් හොඳයි..”

මා වහා පිට වුණේ එහෙම කියා ගෙන ය.අමෝද අයියා තෝරා ගත නොහැකි බැල්මකින් බලා සිටිනවා නෙත් කොණින් දකිද්දීත් හිත ගල් කර ගත යුතු බව මගේ යටි සිත මට බල කරමින් තිබිණි.

“මලිඳු කොහොමටත් මං මෙහෙ ඉන්නවට කැමති වෙන් නෑ.මෙයාලා අමතක කරල ඈත් වෙන්න දැන්ම හිත හයියට තියා ගන්න ඕන..”

ත්‍රීරෝද රියට නැග දෑස් තද කර පියා ගත් මම මටම කොඳුරා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content