ඉසිවර ගුණයෙන් පිරිපුන් සුරතුර කතුරුමුරුංගා

වර්තමානයේ ගෘහණියන් කෘතීම ආහාර වලින් තොරව ස්වාභාවික ගුණයෙන් පිරිපුන් ආහාර  තෝරා ගැනීමට දක්වන කැමැත්ත මහත් සේ ඉහළ ගොස් තිබෙනවා.ජන මාධ්‍ය ඔස්සේ  ඒ සඳහා ලැබෙන ඉඩ සේම,පෝෂණය පිලිබඳ  ඇතිවන කතිකාව සමහරවිට එයට හේතු විය හැකියි.ඉතින්  දරුවාගේ සේම පවුලේ පෝෂණය ගැන මනා සැළකිල්ලක් දක්වන ඔබ වෙනුවෙන් කතුරුමුරුංගා වල ගුණාගුණ ගැන කතා කරන්නට අප සිතුවා.

පෝෂ්‍යදායී පළා වර්ග අතරින් කතුරුමුරුංගා වලට හිමි වන්නේ ප්‍රධාන තැනක්.පොළවෙන් ඉහළට යන අතු ඉති නිසා වර්ෂාව කාලයේදීත් බය නැතිව කෑමට ගත හැකිවීම විශේෂ වනවා.

 ආයුර්වේදීය ගුණ

  • සෙම් පිත් නැති කරයි.
  • ශක්තිය වර්ධනය කරයි.
  • බඩගින්න ඇතිකරන ගුණයෙන් යුතුයි.
  • මළ බද්ධය නැති කරයි.
  • ඇස් පෙනීම වර්ධනය කරයි.
  • නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව,පීනස ආදියට සුදුසුයි.
  • සෙංගමාලය වියළි කැස්ස දුරුකරයි
  • ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීය පද්ධතියේ රෝග සඳහා සුදුසුයි.

රෝග වලට කතුරු මුරුංගා

පීනස

දීර්ඝ කාලයක් පවතින පීනස නිසා සමහර අයගේ නාසයෙන් දුගඳ හමන අවස්ථාවන් ඇතිවනවා.කතුරුමුරුංගා කොළ ඉස්ම බිංදු දෙක තුනක් දිනකට දෙවරක් නාසයට ඉසීමෙන් ඉක්මන් සුවය ලැබෙනවා.

රක්තහීනතාවය සහ ඇස් පෙනීමේ මඳ බව

කොළ මැල්ලුම් ලෙස හෝ දළු සම්බෝල ලෙස ලෙස ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.මල් කිරිහොදි ලෙස සාදා ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.

ස්ත්‍රී ප්‍රජනන රෝග,ශරීරයේ දැවිල්ල,රුධිර වහනය

කතුරුමුරුංගා මල්

කැස්ස,ඇදුම,උගුරේ ඇතිවන ආසාදන

සුදු කතුරුමුරුංගා කොළ කලං 4, සුදු කතුරුමුරුංගා මල්  කලං 4,  පාවට්ටා කොළ කලං 4, බැගින් ගෙන පත අට එකට සිඳුවා පෙරා උදේ  සවස සූකිරි සමඟ පානය කරන්න.

දිව සහ තොල් පැලීම, කටේ ඇතිවන බිබිලි

කතුරුමුරුංගා මල් සහ කොළ යන වර්ග දෙකම රතු ළුණු සමඟ උයා ගිතෙල් දමා උදේ සවස ආහාරයට ගැනීමෙන් සුවය ලැබේ.

 මල බද්ධය

කතුරුමුරුංගා කොළ මැල්ලුම දිනක් හැර දිනක් කෑමට ගන්න.කොළවල පවතින අධික තන්තුමය ස්වභාවය නිසා මල බද්ධය ඉක්මනින් සුවකරයි.

 සමේ ඇතිවන බිබිලි

විවිධ ආසාධන හේතුවෙන් සමේ ඇතිවන බිබිලි සහිත තුවාල සඳහා කතුරුමුරුංගා කොළ කොටා ලබාගත් ඉස්ම ආලේප කිරීම ඉතාමත් ගුණ දායකයි.සමේ පැහැපත් බවටද මෙම ප්‍රතිකාරය ඉතාමත් සුදුසු වනවා.

ඉතින් ඉතාමත් ඉහළ ඖෂධීය ගුණයෙන් පිරිපුන් කතුරුමුරුංගා අපේ පවුලේ වෛද්‍යවරයාටත් වඩා ලෙඩ රෝග නිවාරණය කිරීමට දක්ෂයි නේද

 – චම්මි –  

Previous articleපමණ දැනගෙන තෙල් කන්න
Next articleමේ වසරේ ලොව මවිත කළ රුසියානු තෙල් කුවේරයන්ගේ විවාහ උත්සව
චම්මි ඉරේෂා කරපුටුගල
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ ජන සන්නිවේදනය පාඨමාලාව සමග ජාතික තරුණසේවා සභාවෙන් නිර්මාණාත්මක සංනිවේදනය ඇතුලුව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝතාක්ෂණය හදාරා ඇත. රන්දිව ජාතික පුවත් පතේ විශේෂාංග ලේඛිකාවක ලෙසද,ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මෙල් මැදුර ආයතනයේ ප්‍රජා සංවර්ධන නිලධාරිනියක ලෙසද ,පිටපත් රචිකාවක ,වෙලද දැන්වීම් පිටපත් රචිකාවක ලෙසද අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.ළමා පොත් 12කට ආසන්න ප්‍රමාණය ක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් අන්තර්ජාතික සංවිධානය ක් වන රූම් ටු රීඩ් ආයතනය සමග සිදුකර ඇත.විනෝදාංශය ක් ලෙස කෙටි චිත්‍රපටකරණයේ නියැලෙනීය.