ගෙදර වැඩ ටික කරගන්න වෙලා මදි වෙලා ඔබත් මැසිවිලි නගන කෙනෙක්ද?

ගෙදර වැඩ ටික කරගන්න වෙලා මදි වෙලා ඔබත් මැසිවිලි නගන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි. සුන්දර නිවහනක් කියන්නේ පවුලේ සාමාජිකයන් සියලූ දෙනාගේ කායික මානසික සුවය සදහා වැදගත් වන ප‍්‍රධාන සාධකයකි. තම පවුලේ සාර්ථකත්වය සඳහා වැදගත් වන ආදරණීය නිවහනක් ලෙස තම නිවස පවත්වාගෙන යාමේ වැඩි වගකීමක් තියෙන්නේත් කාන්තා පාර්ශ්වයට නිසාම මේ කාරණය ගැන ඔබත් සමග කතා කරන්න අපි හිතුවා.
තම නිවස සුන්දරව අලංකාරව පවත්වාගෙන යාමේ වැඩි වගකීමක් සමාජයෙන් කාන්තාවට පවරන්නේ නිර්මාණශීලි බව හා සුන්දරත්වය කාන්තාවන් සමගම බැඳී පවතින නිසාමයි. නමුත් වර්තමාන තරගකාරී ජීවන රටාව තුළ නිවසේ ආර්ථිකය සමබරව පවත්වාගෙන යාම සඳහා නිවසේ කාන්තාවටත් රැුකියාවට යාමට සිදුවීමත් සමගම නිවහන වෙනුවෙන් යොදන්න තියෙන කාලය සීමිත වෙලා.
ගොඩක් කාන්තාවන්ට තියෙන ලොකුම ගැටළුව තමයි තමන්ට තියෙන සීමිත කාලයෙන් නිවස පිරිසිදු කිරීම, අලංකාර කිරීම කරන්නේ කොහොමද කියන දේ. බොහෝ කාන්තාවන් ලැබෙන සුළු විවේකයේදීත් ගෙදර වැඩ බදාගත්තම වෙන්නේ ඇයට කිසිම විවේකයක් නැති වෙලා අනවශ්‍ය පීඩනයකට පත් වෙනවා. ඒ පීඩනයත් එක්කම ගෙදර වැඩ ගැන අනික් සාමාජිකයන්ටත් නිතරම මැසිවිලි නගන්න අපේ බොහෝ කාන්තාවන් පුරුදු වෙලා. මේ තත්වය දිගින් දිගටම පැවතුනොත් ඔබට වගේම අනෙක් සාමාජිකයවන්ටත් ගෙදර අපායක් වෙන්නත් පුළුවන්.
ඉතින් වැඩි වෙහෙසක් නොගෙන ගෙදර වැඩ ටික පිළිවෙළට කර ගන්නේ කොහොමද කියලා ඔයත් එක්ක අපි කතා කරන්න හිතුවා.

බොහොම සරල කලමනාකරණයකින් වැඩි වෙහෙසක් නොගෙන ඔබේ නිවස පිළිවෙලට තියා ගන්න පුළුවන්. නිවැරදිව සැලසුම් කරාම ඕනම දෙයක් අනවශ්‍ය වෙහෙසකින් තොරව කරන් යන්න පුළුවන්.

  • නිවසට අනවශ්‍ය බඩු රැගෙන ඒම නවතා දමන්න. බොහෝ කාන්තාවන් දකින දකින ලස්සන දේවල් මිලදී අරන් තමන්ගේ ගෙදර අනවශ්‍ය බඩුවලින් පුරව ගන්නවා. ඔබ නොසිතුවාට මේ දේවල්වලින් ගෙදර අනවශ්‍ය ලෙස ඇහිරෙනවා. ගෙදර පොලව හැකිතාක් නිදහසේ තියෙනකොට ඔබට පිරිසිදු කරන්න ගත වෙන කාලය මෙන්ම බඩු එහාට මෙහාට අදිමින් පිරිසිදු කරන්න යන වෙහෙස අඩුයි.
  • වෙලාවක් යොදා ගෙන ගෙදර තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. ඔබේ ඇඳුම් අල්මාරියේ තියෙන ඇඳුම්, දරුවන්ගේ ගවුම්, පරණ පොත් පත්තර, ඔබේ කුස්සියේ තිබෙන කැඩුණු පරණ බඩු වගේ දේවල් සියල්ල ඉවත් කරන්න. සමහර කාන්තාවන්ගේ අල්මාරියේ තිබෙනවා ඔබ මාස කීපයකින්වත් ඇඳපු නැති පරණ ඇඳුම්. මේ දේවල් නිසා ඔබට ඔබට අල්මාරිය පිලිවෙළක් කරන්න යන කාලය විතරයි වැඩි වෙන්නේ. අනික දරුවන්ගේ පොත්පත්වලින් අනවශ්‍ය පොත් ඉවත් කරාම දරුවන්ගේ කාමරවල අනවශ්‍ය දූවිලි රැඳෙන එක නතර වෙනවා.
  • ඔබම පාවිච්චි කරන්න ගන්න උපකරණ නැවත ගත්ත තැනින්ම තියන්න උත්සහ කරන ගමන්, පවුලේ අනික් සාමාජිකයන්ටත් මේ පුරුද්ද ඇති කරන්න උත්සහ කරන්න. ගෙදර බඩු තැන තැන විසිරෙන විට තමයි ඔබේ නිවස අපිළිවෙල.
  • ඔබ මුළුතැන්ගෙය තුළ වැඩ කරන විට අවශ්‍යම දේවල් පමණක් භාවිත කරන්න. සෝදා පිරිසිදු කරල තියන හැම භාජනයක්ම උයනකොට පාචිච්චි කරන්න එපා. සීමිත භාජන ප‍්‍රමාණයක් ඔබේ කටයුතු සඳහා යොදා ගන්න. එවිට ඔබට වැඩ අවසානයේ පිරිසිදු කිරීමට තිබෙන දේවල් ප‍්‍රමාණය අඩුයි.
  • මුළුතැන්ගෙයි වැඩ ඉවර කරපු ගමන්ම පිරිසිදු කරන්න. ඉඳුල් භාජන නිතර රැුස් කරලා තියන්න ඔබ පුරුදු වුනොත් නැවත පිරිසිදු කරන්න යන කාලය වැඩි වෙනවා වගේම අනවශ්‍ය මැස්සෝ, කැරපොත්තෝ වගේ කෘමි සතුන් බෝ වෙලා ඔබට අනවශ්‍ය කරදරත් එක් වෙනවා.
  • තවත් වැදගත්ම දෙයක් තමයි ඔබට නිවස වෙනුවෙන් කරන්න තියෙන මූලික වැඩයට ප‍්‍රමුඛතාවය ලබා දීලා එය අවසන් කිරීම. රෙදි වේලලා ගෙනපු ගමන්ම එය නිවැරදිව අසුරන්න. ඒ වගේ කටයුතු පස්සට කල් දැම්මම ඔබට වැඩ ගොඩ ගැහෙනවා.
  • ඔබ විවේකයෙන් ඉන්න වෙලාවටත් කරන්න පුළුවන් පුංචි වැඩ ගෙදර තියෙනවා. රාත‍්‍රියට රූපවාහිණිය නරඹන කොටම ඔබට පහුවෙනිදට උයන්න අවශ්‍ය එළවළු කපලා සූදානම් කරන්න පුළුවන්. පොඩි වැඩ දෙකක් එකපාර කරන කොට ඔබට වැඩ වැඩි කොටසක් අඩු කාලයකින් අවසන් කරල විවේකයෙන් ඉන්න පුළුවන්.
  • අපේ සමහර කාන්තාවන් හිතනවා ඕනම දෙයක් මං කලොත් විතරයි හරියට වෙන්නේ කියලා. ඒක නිසාම ගෙදර හැම වැඩක්ම ඇය අතින්ම කරන්න ගිහින් ඇය අනවශ්‍ය පීඩනයක් ඇති කර ගන්නවා. මේ අදහස ඔබේ හිතේ තියන සිතුවිල්ලක් විතරයි. ඒ නිසා ගෙදර වැඩ අනෙක් සාමාජිකයන්ටත් බෙදා දෙන්න. ඔවුන්ව මෙහෙයවලා නිවැරදිව ඔබ වැඩ ටික කරගන්න දක්ෂ වුනොත් ඔබට ලොකු කාලයක් ඉතිරි වේවී.

ඉතින් අද ඉදලා මේ දේවල් ක‍්‍රියාත්මක කරලා බැලූවොත් පොඩි කාලයකින් අඩු මහන්සියකින් ගෙදර සුන්දරව තියා ගන්න ගමන් විවේකය සඳහා පොඩි වෙලාවක් වෙන් කරගන්නත් ඔබට පුළුවන් වේවි.

Related Articles

Don't Miss


Latest Articles