පතිනියකගේ සටහන් – 5

දික්කසාදය ජීවිතය අවසන් නොකරයි..

දික්කසාදය, ප්‍රේම සම්බන්ධයක් අවසන් වීම අපේ රටේ උදවිය දකින්නේ ජීවිතය සම්පූර්ණයෙන් ඉවර කරගත්තා වගේ.
මම ඒක තව දුරටත් තේරුම් ගත්තේ අද ඔෆිස් එකේ වුණු දේකින්.

“තාරු..මේ බලන්න.. මේ ගර්ල් මාරම ලස්සනයි අනේ. මටත් චර්ච් වෙඩින් එකට මෙහෙම ඩ්‍රෙස් කරන්න හිතුණා”

ඔෆිස් ලන්ච් රූම් එකේ දී ෂෙරීන් මට පෙන්නුවේ මේ දවස්වල රටේ ජනප්‍රියම විවාහයේ ලස්සනම මනමාලිව.

“ඇත්තටම එයා හරිම ලස්සනයි ෂෙරීන්. මට මතක් වෙන්නෙම මේගන් කුමාරිව”

ඇය සුන්දරයි. ඇගේ හිනාව තුළ තියෙන්නේ ලෝකයම ජයගත් හැඟීම. ඒ නිසාම ඇගේ නෑනලා දෙන්නටත් වඩා මේ විවාහය තුළ ඇය සුන්දරම මනාලිය වූ වග මට හිතෙනවා.

“අපෝ මේ කෙල්ල එක පාරක් බැඳපු එකියක්නෙ තාරුකා. කසාදෙ කඩාගෙන ලිහාගෙන ආය බඳිනවා .ජීවිතේ නාඩගමක් කියලයි හිතේ”

නිර්මලා ආන්ටි අපේ කාර්යාලයේ පරිණතම ගැහැණිය. ඇගෙන් එහෙම වදනක් පිටවීම ගැන මට දැනෙන්නෙ අපුලක්.

“මේ ගර්ල් එක වතාවක් මැරි කරා තමයි ආන්ටි. එතකොට එයා වයසිනුත් පොඩියි. ඒ ඩිවෝස් එකට හරියටම හේතුව දන්නේ එයානෙ. එයා ජීවිතේ විඳවන්නේ නැතුව නිර්භීතව ඩිවෝස් නොවුණනම් මෙහෙම සන්තෝසෙන් අලුත් ජීවිතයක් එයාට ලැබෙන් නෑනෙ”

ෂෙරීන් කියන්නේ කේන්තියෙන්. ෂෙරීන් හරියටම හරි. කසාදයක් බඳින්න ඕන ඒක කඩා ගන්න නොවුණත් නොගැළපෙන තැනක විඳවමින් ජීවිතය ගෙවිය යුතු නැහැ. ඕනෑම වෙලාවක නොබියව තමන්ගේ ජීවිතේ වෙනුවෙන් හරිම තීරණයක් ගන්න ගැහැණියකට හැකි විය යුතුමයි.

නිර්මලා ආන්ටි අපි ළඟින් යන්නේ අකමැත්තෙන්.

“ෂෙරීන් එහෙම කියපු එක නියමයි .පහුගිය කාලේ කසුන් එක්ක තිබ්බ අෆෙයා එක බ්‍රේකප් වුණාම නිර්මලා ආන්ටි මට උපදෙස් දුන්නෙ මං සියදිවි නසා ගන්න තරම් නරක තීරණයක් ගත්තා වගේ”

අයේෂා කියන්නෙ හිනාවකින්.

“ඒ වුණාට දීපිකා පදුකොන්ගේ වෙඩින් විස්තර ගැන කීවේ අගේ කර කර.දීපිකා රන්බීර් අත් ඇරුණම රන්වීර් එක්ක ජීවිතේ පටන් ගත්‍ත එක ස්වීට්. මං කසුන් ජීවිතේට ළං කර ගන්න හොඳ මනුස්සයෙක් නෙවෙයි කියලා දැනගෙන ඒක බ්‍රේකප් කරලා ඉන්පස්සෙ ජීවක තෝරා ගත්තු එක හරිම කැත වැඩක්.

අයේෂා තව දුරටත් කියනවා.

“ඒ අපේ ලංකාවෙ විදිය අයේෂා. පිට රටක අය කරන හැම දේම මාරයි. අපේ රටේ ගෑනු ළමයෙක් නොගැළපෙන සම්බන්ධයක් අයින් කරන එක. ආය ලස්සනට ජීවිතේ පටන් ගන්න එක තුහ් නොදකිං වැඩක්. අෆෙයා එකක්, මැරේජ් එකක් බිඳෙන එක ගෑනු ළමයෙක්ගෙ ජීවිතේම ඉවර වෙන දෙයක් කියලා හිතන එක අපේ මිනිස්සු නවත්තා ගන්න ඕන. නැත්නම් ගෑනු අයට හැමදාම උරුම දුක, නින්දා අපහාස විතරයි.”

මං අයේෂාට එහෙම කීවේ අපේ මිනිස්සුන්ට ආකල්ප වෙනසක් ඇති කරගන්න නොහැකි ඇයි කියලා හිතමින්.

– නිබන්ධිකා –

Related Articles

Don't Miss


Latest Articles