ස්කූටි පදින විට කවදාවත් මේ වැරදි කරන්න එපා..

වර්තමානයේ දී ස්මාට් කාන්තාවන් බොහොමයක් දෙනා ස්කූටියක හිමිකාරියක්. ප්‍රමාණයෙන් කුඩා බවත්, හුරුබුහුටි පෙනුමත්, පාලනය කිරීමේ පහසුවත් ස්කූටි කාන්තාවන් අතර ජනප්‍රිය වන්නට බලපානවා. නිතර කුඩා දුරක් ගමන් කිරීමට ඇත්නම් ස්කූටියක වටිනාකම බොහොමයි. ස්කූටියක් පැදවීමේදී අප සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. 

ඔබ මේ පරීක්ෂාවන් නොකර කිසිවිටක ස්කූටියට නගින්නට එපා 

ස්කූටියෙන් ගමනක් යාමට පෙර ඔබ සිදු කළ යුතු දේවල් කිහිපයක් විශේෂඥයින් දක්වා තිබෙනවා. ඒ ගමන කරදරයකින් තොරව නිම කරන්නටයි.

  1. ඔබ දිගු වෙලාවකට පසු ස්කූටිය ස්ටාට් කිරීමේදී ස්කූටිය වටා අංශක 360ක පිටත පරීක්ෂාවක් කළ යුතුයි. ඒ ඔබ නතර කළ අයුරින් ම වාහනය තිබේදැයි බැලීමටයි. එහිදී ඔබ ටයර් සහ ලයිට් පරීක්ෂා කළ යුතුයි. 
  1. බ්‍රේක් නිසි පරිදි ක්‍රියාත්මක වේ දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබට අත්‍යවශ්‍ය ම මොහොතේ බ්‍රේක් නොවැදුණහොත් ඔබ අනතුරේ!
  1. ඉන්ධන ප්‍රමාණවත් පරිදි තිබේ පරීක්ෂා කර බැලිය යුතුයි. නැතිනම් ඉන්ධන අවසන් වී ඔබ අතරමගදී කරදරයට පත් විය හැකියි.
  1. ඩෑෂ් බෝඩ් එකේ පෙන්වන සංඥා පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතුයි. තාක්ෂණික ගැටලු පෙන්වන්නේ එතැනින්.

නඩත්තුව හා සම්බන්ධ වැදගත් වන මේ කරුණු අමතක කරන්නට එපා

  1. බ්‍රේක් පරීක්ෂා කිරීම නිතර සිදු කළ යුතුයි. බොහෝ අය පුරුදුව සිටින්නේ එක් බ්‍රේක් එකක් පමණක් ගැසීමටයි. එය ඉතා වැරදි ක්‍රියාවක්. එහිදී බ්‍රේක් අනවශ්‍ය පරිදි ගෙවීමක් සිදුවිය හැකියි. සෑම විටම බ්‍රේක් දෙකම එකවර ක්‍රියාකරවීමට සිහි තබාගත යුතුයි.
  1. රෝද වල පීඩනය නිරතුරු ව පරීක්ෂා කළ යුතුයි. ඔබ රෝදවලට සුළං පොම්ප කිරීමේදී අදාළ අගය පිළිබඳ හොඳ සැලකිල්ලෙන් සිටීම වැදගත්. පොම්ප කරුවන් පුරුද්දට මෙන් මෝටර් රථවල පීඩනයම බයිසිකල් රෝදවලටත් යොදන්නට පුළුවන්.

කිසිවිටෙකත් ඉන්ධන අන්තිම බිංදුව දක්වා හිඳෙන තුරු පදවන්න එපා.

  1. නිතරම ඉන්ධන ටැංකියේ භාගයකට වඩා ඉන්ධන පුරවා තබා ගැනීමට සැලකිලිමත් වීමෙන් ඔබට ඉන්ධනවල ලීටරයට වැඩි දුර ප්‍රමාණයක් ධාවනයට හැකි වෙනවා. එවිට එන්ජිමට ඉක්මනින් අඩු ඉන්ධන ප්‍රමාණයක් පොම්ප වීම ඊට හේතුවයි. එමෙන්ම ඉන්ධන ටැංකිය හිස් වන තුරු ධාවනය මගින් අනවශ්‍ය ලෙස පොම්පය ක්‍රියාකිරීමෙන් එහි ආයු කාලය ද කෙටි වනවා.
  1. පිරවුම් හලෙන් ඉන්ධන පිරවීමට වඩාත් සුදුසු වන්නේ උදේ 11ට පෙර කාලයයි. දවල් වන විට අධික තාපය නිසා වාෂ්ප නිපදවෙනවා. එවිට ඉන්ධන පිරවීමේදී පිරෙන්නේ එම වාෂ්පත් සමගයි. එය ඔබට අවාසි සහගතයි. 

ස්කූටි පදින විටත් සාමාන්‍ය රථ වාහන නීති පිළිපදින්නට අමතක කරන්නට එපා

ස්කූටි වුවද අදාළ රථ වාහන නීති සියල්ල පිළි පැදිය යුතු වීම අතිශය සාමාන්‍ය කරුණක්. එහෙත් එය ඉතා වැදගත්. ඔබ පුහුණු කාලයේදී ඉගෙන ගන්නා සියලු නීති රීතිවලට අදාළව දළ අදහසක් මතකයේ තබා ගනිමින් පැදවීම කළ යුතුයි.

ස්කූටියක් යන්නත් පාපැදියක් නොව තවත් වාහනයක් බව ඔබ සිහි තබාගත යුතුයි. විශේෂයෙන් අතුරු  මාර්ගවල ස්කූටි පදින ඔබත් මේ රථ වාහන නීති නිසි අයුරින් පිළිපදින්නට අවශ්‍ය වෙනවා. අතුරු මාර්ගවල රථවාහන නීති නොතකා ධාවනයෙන් මේ මොහොත වන විටත් අනතුරු විශාල සංඛ්‍යාවක් සිදු වීම ඊට හේතුවයි.

ස්කූටිය කුඩා නිසා ඔබ අනෙක් වාහනවලට කිට්ටුවෙන් ගමන් කරන්නේ නම් අනෙක් වාහනවල පැති කණ්ණාඩිවලට ඔබව නොපෙනෙන්නට ඉඩකඩ වැඩියි. නිසි දුර පවත්වාගෙන පැදවීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි. නැතිනම් පැත්තෙන් ඉස්සර කිරීම්වලදී අනතුරු සිදුවිය හැකියි.

වාහනයක් පසු පසින් යන විට සෑම අවස්ථාවකදීම නිශ්චිත දුරක් පවත්වාගනිමින් ස්කූටිය පැදවිය යුතුයි. හදිසියේ ඉදිරියේ වාහනය නැවැත්වුවහොත් ඔබට නතර කරගැනීමට ඉඩක් තිබිය යුතුයි. ඔබට නිසි පරිදි ඉදිරිය නොපෙනුනහොත් ද අනතුරු සිදුවිය හැකියි.

දුර ප්‍රමාණය කොහොම උණත් හෙල්මට් එක අමතක කරන්න එපා.

හිස් ආවරණය (helmet) ඔබ අනිවාර්යයෙන් පළඳිනවාමයි. පොලිසියට බිය වීම නිසා ඔවුන් දුටු තැන හෙල්මට් පැළඳීම නම් කොහෙත් ම සුදුසු නැහැ. ඔබේ ආරක්ෂාව ඔබ සතුයි. ස්කූටියේ යන දෙදෙනාම අනිවාර්යයෙන් හෙල්මට් පැළඳීම අත්‍යවශ්‍යයි. 

ඔබ අඳින්නේ සාරියක් හෝ ඔසරියක් නම්, එහි පොට පිළිබඳ ව ඉතාම සැලකිලිමත් විය යුතුයි. එය රෝදයේ පැටලී අනතුරු සිදු විය හැකි වීම ඊට හේතුවයි. එය නිසි පරිදි රඳවා ගත යුතුයි. නොමැති නම්, පහසු නමුත් ඉතා ආරක්ෂාකාරී ඇඳුමක් ඇඳ ගැනීම සුදුසුයි. හොඳ ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත කබායක් ද පැලඳිය යුතු වනවා. අත් වැසුම් ද පැළඳීම කළ යුතුයි.

නිතරම අමතර යතුරක් තබා ගැනීම නුවණට හුරු දෙයක්. බොහෝ දෙනා හිස් ආවරණයත් සමඟ යතුරත් ආසන කවරය යටට දමා අමතක වීමෙන් වසනවා. එය කරදර ගොඩකට මුලක්. අමතර යතුරක් තිබීමෙන් ඒවා විසඳෙනවා. 

ස්කූටියේ යන දරුවන්ගේ ආරක්ෂාව සුළුකොට තකන්නට එපා

  1. කුඩා දරුවන් රැගෙන යාමේදී ඔවුන් ඉදිරිපසින් තබා ගෙන යාම ඉතාමත් අනාරක්ෂිතයි. පිටුපස අසුනේ තබාගෙන යාමේදීත් ආරක්ෂිත බඳ පටියකින් තද කර බැඳ ගෙන රැගෙනයාමයි වඩාත් සුදුසු. නින්ද ගොස් බිමට වැටී අනතුරු සිදුවිය හැකි වීම ඊට හේතුවයි.
  1. එමෙන් ම අනිවාර්යයෙන් දරුවාගේ හිසට සරිලන සේ හෙල්මට් එකක් පැළඳවිය යුතුමයි

මහ වැස්සේ අධික වේගය එපා

කාලගුණ වෙනස්විම් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අධික වර්ෂාවක දී ඔබට ස්කූටියට යාම අසීරුයි. එම අවස්ථාවන්වල පාර ලෙස්සීම නිසා ඉතා සෙමින් සහ ප්‍රවේශමෙන් පැදවූයේ නැත්නම් අනතුරු වීමේ සම්භාවිතාවය ඉහළයි. 

මේ ස්මාට් ටිප්ස් භාවිතා කරමින් ඔබට වඩාත් හොඳින් ස්කූටි පදවන්නට හැකි වේ යැයි අප විශ්වාස කරනවා. ඕනෑම අවස්ථාවක වැඩියෙන් ම වටින්නේ ආරක්ෂාවයි. ඔබේ ආරක්ෂාව ඇත්තේ ඔබ අතේමයි. ස්කූටි පදවන විට ඉහත ආරක්ෂක ක්‍රමවේද භාවිතා කිරීමෙන් අනතුරු වළක්වා ගන්නට ඔබට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles