තේ කෝප්පයක් බොන අතරේම තේ ගැන විස්තර ටිකක් දැනගමුද ?

පුංචි දරුවන්ගේ ලෝකය කුතුහලයෙන් පිරිලා. හැම දෙයක්ගැනම සොයා බලන්න එයාලට ඕන. ඉතින් මගේ පුතා අහනවා කොහොමද අපට තේ ලැබෙන්නේ කියලා. ඇත්තටම මම දැනගෙන හිටියේ තේ ගසෙන් නෙලන දළුවලින් තේ හදනවා කියලා විතරක් වුනත් ඔහුට ඒ උත්තරය ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් මෙවැනි අවස්ථා රැසක් අම්මා කෙනෙකුට එන එක හරිම සාමාන්‍ය වුනත් හැමදාම බොන තේ කෝප්පය ඇතුලේ කුණාටුවකට ඉඩ නොතියා ඔබත් සමඟ තේ ගැන විස්තර කිහිපයක් බෙදා ගන්න මට හිතුණා.

තේ අපේ රටේ හරිම ජනප්‍රිය පානයක්. තේ කෝප්පයකින් අමුතුම ප්‍රබෝධයක් අපට ලැබෙනවා. තේ නිපදවීම සඳහා වැඩිපුරම ශ්‍රමය සපයන්නේ කාන්තාවන්. අපේ රටේ තේ වවන ප්‍රදේශ දේශගුණය අනුව කොටස් තුනකට බෙදෙනවා. ඒ උඩරට තේ, මැදරට තේ, පහත රට තේ යනුවෙන්. දළු නෙලීම, කාණු කැපීම, කර්මාන්තශාලාවල වැඩ කිරීම ආදී වශයෙන් ඇති කටයුතු වලින් බහුතරයකට කාන්තා ශ්‍රම දායකත්වය ලැබෙනවා.

උදෑසනින්ම තේ ගසෙන් තේ දළු නෙලීම ඇරඹෙන අතර එසේ නෙලාගෙන එන දළු තව් මැරීම නම් ක්‍රියාවකට භාජනය කරනවා. ඊට විශේෂයෙන් සැකසු පෙට්ටිවල දැල මතට දළු දමා විශාල විදුලි පංකා මඟින් සුළං පහර වැදීමට සලස්වනවා. මින් තේ දලුවල ඇති ජලය සියයට හතලිස් පහක් පමණ ඉවත් වෙනවා. මින් පසු දළු ඇඹරීමේ යන්ත්‍ර වලට දළු දමා ඇඹරීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. මේ අවස්ථාවේ තේ කැබලි දුඹුරු පැහැයට හැරෙන අතර සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඊළඟ පියවර වන්නේ දළු වෙලීමයි. විශාල වියලන යන්ත්‍ර වලින් වියලිමේදී දළු කළු පැහැයට හැරෙනවා. ඉන්පසු නවීන යන්ත්‍ර මඟින් තේ කොළ වර්ග කරන අතර කොටස් තුනකට වෙන්කරනවා. ඉතා පිරිසුදු තේ කොළ , නැවත පිරිසිදු කල යුතු තේ කොළ, හා ප්‍රතික්ෂේපිත තේ කොළ ලෙසට. ඉතා පිරිසුදු තේ අසුරා තේ වෙන්දේසියට යොමු කරන අතර ඊට පෙර කර්මාන්තාශාලාව තුලදී රස පරික්ෂාව සඳහා යොමු කරනවා.

මිල අධිකම තේ වර්ගය හැඳින්වෙන්නේ ගෝල්ඩන් ටිප් ලෙස. ඒ වගේම අද කාලයේ ජනප්‍රිය ග්‍රීන් ටී ලබාගන්නේ ජාන තාක්ෂනය අනුව නිපදවූ තේ ගස්වලින්. අධික තරබාරුව, දියවැඩියාව , සඳහා ගුණදායක බව විශ්වාස කරන නිසා ග්‍රීන් ටී සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

තේ වල අඩංගු ෆ්ලෝරයිඩ් මඟින් සිරුරේ දෛනික ෆ්ලෝරයිඩ් අවශ්‍යතාවෙන් සියයට විස්සක් පමණ සපිරෙන බව වෛද්‍යවරු පවසනවා. හදවත් රෝගීන්ට තේ පානය ගුණදායක දායක වන අතර දත් දිරායාමද අවම වෙනවා. ඒ වගේම තේ වල විටමින්, ඛනිජ ලවණ තියෙන නිසා බඩවැල් වල මනා ක්‍රියා කාරිත්වයට තේ ගුණදායක බව පැවසෙනවා.

ඔන්න ඉතින් ප්‍රශ්නයක් ගිය දුරක්. කඳුරට පැත්තට කරන සංචාරයකදී ඔබේ දරුවන්ට තේ කර්මාන්ත ශාලාවක් නරඹන්න අවස්තාවක් ලබා දෙන්නත් අමතක කරන්න එපා. මොකද ලෝක ප්‍රසිද්ධ සිලෝන් ටී හදන හැටි ගැන අප දැනගෙන සිටිය යුතුම නිසා. දැන් නම් හදාගත්ත තේ කෝප්පේ රස බලලත් ඉවර ඇති නේද ?

– චම්මි –

 

Related Articles

Don't Miss


Latest Articles