මවක් වීම අභියෝගයක්

0
308

“ගෙදර දොරේ වගකීම් ඉටු කිරීම මිනිසුන් සතු අත්‍යවශ්‍ය කාර්යයක් වී තිබෙනවා. . . . මවක් ඇගේ වගකීම් හරි හැටි ඉටු කරන්නේ නැත්නම් අනාගත පරපුරක් බිහි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් කිසිකමකට නැති පරම්පරාවක් තමයි බිහි වෙන්නේ.”—ඇමරිකා එක්සත් ජනපදයේ 26 වැනි ජනාධිපති, තියඩෝර් රූසවේල්ට්ගේ ප්‍රකාශයක්.

මිනිස් ජීවයක් මෙලොවට බිහිවීමට මවක් සිටිය යුතුමයි. නමුත් මවකගේ කාර්යභාරය දරුවන් බිහි කිරීමට පමණක් සීමා වන්නේ නැහැ.

“සෑම දරුවෙකුගේම සෞඛ්‍යය, අධ්‍යාපනය, බුද්ධිය, පෞද්ගලිකත්වය, චරිතය සහ මානසික ස්ථාවරත්වය රැකගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ මවටයි. මවක් වීම ම කාන්තාවකට එක්තරා අන්දමක අභියෝගයක්.  ඇයට පැවරෙන වගකීම්, ඇගෙන් ඉටු විය යුතුකම් ඇගේ අවශ්‍යතා මේ සියල්ල ම මවක් වන හැම කාන්තාවක් ම දිනාගත යුතු අභියෝගයි.

රැකියාව හරහට

පවුලේ නඩත්තුවට බොහෝ මව්වරුන්ට රැකියාවක් කරන්න සිදු වෙන නිසා දරුවෙකුව හැඩගැස්විය යුතු මුල් අවදියේදී දරුවන්ට ඉගැන්වීම අභියෝගයක් වී තිබෙනවා. සංවර්ධිත රටවල් බොහොමයක පවා අවුරුදු තුනට අඩු වයස් මට්ටමක දරුවන් සිටින මව්වරුන්ගෙන් අඩකට වඩා සංඛ්‍යාවක් රැකියාවන්වල නියුතු අය බව සංඛ්‍යාලේඛන රැසකින් තහවුරු වී තිබෙනවා.

මීට අමතරව ස්වාමිපුරුෂයන් රැකියාවන් සඳහා දුර බැහැර වෙනත් නගරයකට හෝ රටකට යෑම නිසා පියාගේ සහාය නොමැතිව දරුවන්ව හදාවඩා ගැනීමට බොහෝ මව්වරුන්ට සිදු වෙනවා. දරුවෙකුගේ බුද්ධිය හා විමසිලිමත් බව වර්ධනය කිරීම වගේම ඔවුන් තුළ තිබෙන නිර්මාණශීලිත්වය ඔප්නැංවීම සඳහා මවක සතු කාර්යභාරය ඉතා වැදගත්.

සෑම දරුවෙකුගේම සෞඛ්‍යය, අධ්‍යාපනය, බුද්ධිය, පෞද්ගලිකත්වය සහ මානසික ස්ථාවරත්වය රැකගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ මවටයි. මාතෘත්වය යනු බිය, සැක, ප්‍රීතිය මුසු වූ ඉතා සංකීර්ණ මෙන්ම පුදුමාකාර අද්දැකීමක්. මව්වරුන් තම දරුවන් සමඟ කාලය ගත කරන අතරතුරේදී අද්දකින සුන්දර අවස්ථා වෙන කිසිම දෙයක් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් නැහැ. නමුත් ඇතැම්විට ඔවුන් කොතරම් වෙහෙසට පත් වෙනවාද කිව්වොත් තම වගකීම් තවත් දරාගන්න බැහැයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. ඇතැම් මව්වරුන් තමන්ගෙ ජීවිතය සමාන කරන්නේ කඩුලු පැනීමේ තරඟයකටයි.

කාලය ගෙවී යද්දී තව තවත් කඩුලු පනින්න සිදු වන අතර එන්න එන්නම ඒවායේ උසත් වැඩි වෙන බව ඔවුන් පවසනවා. විවේකය දරුවන්ට දරුවන්ව හොඳින් රැකබලා ගැනීම සඳහා තමන්ගේ විවේක කාලය මෙන්ම හිතමිතුරන් සමඟ විනෝද වීම වැනි දේවල්ද කැප කිරීමට සමහර අවස්ථාවලදි මව්වරුන්ට සිදුවෙනවා. “මගේ ළමයින්ට මාව උවමනා වන හැම වෙලාවකම මං ඒගොල්ලන් එක්ක ඉන්න ඕනේ” කියා දරුවන් පස්දෙනෙක් සිටින මවක් එක් පුවත්පතකට සඳහන් කර තිබුණා. “මට දැන් හොඳට වේලාව අරගෙන නාලා මහන්සිය අරින්න තරම් කාලය නැහැ. ඉස්සර වගේ නෙමෙයි දැන් මම ඉක්මනට නාලා ඉක්මනට එළියට එනවා. ඉස්සර මගේ මහත්තයාට මං විශේෂ කෑමක් හදලා අපි දෙන්නා විතරක් එකතු වෙලා කන දවස් තිබුණා. දැන් නම් මං ඔය තියෙන මොනවාහරි එකක් ඉක්මනට රත් කරලා දෙනවා. මං හරි ආසයි නිවාඩුවක් අරගෙන මං කවදාවත් දැකපු නැති තැන්, දැකපු නැති දේවල් බලන්න යන්න. ඒත් ඉතිං ඒවා කරන්න කොහෙද වේලාව? හැබැයි අපේ රෙදි ටික නම් හෝදලා, මැදලා, නවලා තියන්න මං කොහොමහරි වෙලාව හොයාගන්නවා.” තවත් මවක් තමන්ගෙ දවසේ වැඩකටයුතු ගැන කියා තිබුණෙ ඒ විදියටයි.

කියවන්න :  පුංචි පැටවුන්ට අලි ඉක්කාවක් ගැන ලස්සන කතාවක් කියලා දෙමු ද?

කොහොම නමුත්, බොහෝ මව්වරුන් තම දරුවන් ඇති දැඩි කරද්දී ප්‍රීතිය අත්විඳින සොඳුරු අවස්ථා ගැන කතා කරන්න පසුබට වෙන්නේ නැහැ. “ඉඳ හිට ඒගොල්ලන්ගේ මුහුණේ සිඟිති සිනා රැල්ලක් විකසිත වෙද්දී, ‘අම්මට මං ආදරෙයි’ වැනි සුරතල් කතාවක් අහන්න ලැබෙද්දී හා එක පාරටම ඒගොල්ලන් මාව ඇවිල්ලා බදාගනිද්දී මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා” කියා එක් මවක් කියා තිබුණා.

තනියම බැරි ගෘහ කටයුතු දවස පුරාම රැකියාවේ නිරත වී මහන්සියෙන් සිටින මවකට ගෙදරට ඇවිත් විවේක ගන්න බැහැ. ඇය ආව ගමන් ගෙදර වැඩ කටයුතුවල නිරත වෙන්න අවශ්‍යයි. මවක් රැකියාවක් කළත් නැතත්, ගෙදර දොරේ හා දරුවන්ගේ වැඩ කටයුතු බලාකියා ගත යුත්තේ ප්‍රධාන වශයෙන්ම ඇයයි කියා සාමාන්‍ය මතයක් පවතිනවා.

වැඩි පැය ගණනක් රැකියාවේ නිරත වන මව්වරුන්ගේ ගණන එන්න එන්නම වැඩි වන නමුත් ඔවුන්ගේ බර සැහැල්ලු කිරීමට පියවරුන් බොහෝදුරට ඉදිරිපත් වන්නේ නැහැ. ලන්ඩන්හි ද සන්ඩේ ටයිම්ස්පුවත්පතේ මෙසේ ලියා තිබුණා. “බ්‍රිතාන්‍යයේ නිවෙස්වල පියවරුන්ව සොයාගත නොහැකියි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව, පියවරුන් තම දරුවන් සමඟ ගත කරන්නේ දිනකට විනාඩි 15ක් තරම් කෙටි කාලයක් පමණයි. . . . බොහෝ පිරිමින් තම පවුලේ අය සමඟ කාලය ගත කරන්න සතුටු නැහැ. . . . ඊට වෙනස්ව බ්‍රිතාන්‍යයේ රැකියා කරන සාමාන්‍ය මවක් තම දරුවන් සමඟ දිනකට විනාඩි 90ක් ගත කරනවා.”

සෑම දෙයක්ම ඔවුන්ට හුරුපුරුදු ආකාරයටම කෙරෙන්න ඕනේ කියා සිතන නිසා භාර්යාවන් ඔවුන්ට වැඩ පවරන්න කැමති නැහැයි කියා සමහර පුරුෂයන් මැසිවිලි නඟනවා. පුරුෂයන් පවසන්නේ “අපි මොනවා කළත් එයාලට අල්ලන්නේ නැහැ” කියායි. විඩාවට පත් වූ ගෘහණියකට පුරුෂයාගේ සහයෝගය අවශ්‍ය නම් ගෙදර දොරේ යම් වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳව ඇය නම්‍යශීලී විය යුතු බවයි  මින් පැහැදිලි වන්නේ. අනික් අතට, පුරුෂයා ගෙදර දොරේ වැඩ කටයුතු කිසිවක් නොකර සිටීම සඳහා ඉහත සඳහන් තර්කය අතකොළුවක් කරගැනීමත් සුදුසු නැහැ.

කැමැත්තට ඉඩ දීම

කෙසේවුවත් සමහර මව්වරුන් රැකියාවකට යන්නේ ආර්ථික ගැටළු තිබෙන නිසාමත් නොව, යම් තෘප්තියක් ලබාගැනීමට එහෙමත් නැත්නම් තමන්ගේ ආත්ම ගරුත්වය ගොඩනඟා ගැනීමටයි. දරුවන් ලැබුණු පසු කරමින් සිටින රැකියාව නතර කරන්නට සිදුවීම සමහර මවුවරුන් කැමැත්තක් දක්වන්නේ නැහැ. දරුවො ටික ටික ලොකු වෙනවනේ, ඉතින් ටික කාලයක ප්‍රශ්නයකට උත්තරයක් හැටියට රස්සාව නැතිකරගන්න එක අපරාදයක්. සමහර මව්වුරුන්ගෙ අදහස තමයි ඒ. එකපාරටම තනියෙන් දරුවෙක් එක්ක ගෙදරට වෙලා ඉන්න වුණාම අමුතු පාළුවක් දැනෙන බවත් ඔවුන් සඳහන් කරනවා. බිරිඳක් හැටියට මවක් හැටියට ඇය කාලය වෙන් කරගත යුත්තේ ඇගෙන් සිදුවිය යුතු යුතුකම් වෙනුවෙන් විතරක් ද? එතකො‍ට ඇගේ රැකියාවක් කරන්නට ඇති කැමැත්ත, ඒ අයිතිය කවුද ඇයට ලබාදෙන්නේ. රැකියා කරන තවත් මව්වරුන් පිරිසක් විමසා තිබුණේ ඒ ආකාරයෙනුයි.  පවුල් ජීවිතයේ අත්දකින අධිකතර මානසික වෙහෙසින් මිදෙන්න මවක් රැකියාවක් කරන එක හොඳයි. එහෙම නොවුණොත් ඇගේ ජීවිතය නිවසකට කොටු වෙනවා. ඇයට සමාජ අව‍බෝධය ටිකෙන් ටික නැතිව යනවා. තවත් මවකගේ අදහස වී තිබුණේ එයයි.

බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ එක් ලිපියක මෙසේ වාර්තා කර තිබුණා. “සමහර දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තරමක් සන්සුන් වාතාවරණයක් ඇති තම වැඩපොළ තුළ වැඩිපුර පැය ගණනක් විවේක ගන්නයි. එහෙත් එන්න එන්නම උදාසීන, කලහකාරි හා කැරලිකාර ස්වභාවයක් විදහාපෙන්වීමට පටන්ගන්නා තම දරුවන් සමඟ ගත කරන්න තිබෙන කාලය තව තවත් අඩු වන නිසා එක ගැටලුවක් විසඳන්න ගිහින් තවත් ගැටලු ගණනාවක් මතුවීම පමණයි මෙහිදී සිදුවන්නේ.” මහන්සිය සහ දරු පෙම රැකියා ස්ථානයේ වැඩ හා ගෙදර දොරේ වැඩ එකිනෙකට සමබරව කිරීම පහසු දෙයක් නෙවෙයි. බොහෝ මව්වරුන්ගේ හැඟීම් හෙළි කරමින් නෙදර්ලන්තයේ මවක් මෙසේ පවසනවා. “කොයි වෙලාවේ බැලුවත් මට මහන්සියි. මම උදේ නැඟිටින්නෙත් මහන්සියෙන්. මම වැඩ ඇරලා ගෙදර ආවම මට කිසිම වැඩක් කරගන්න බැහැ. ‘අම්මාට හැම තිස්සේම මහන්සියිනේ!’ කියලා මගේ ළමයි දැන්ම ඉඳන් කියන්න පටන් අරගෙන. එහෙම කියද්දී මට මං ගැනම හරි කනගාටුවක් දැනෙනවා. මම වැඩට නොයා ඉන්න කැමති නැහැ. හැබැයි මගේ ළමයි වෙනුවෙන් හැම දෙයක්ම කරන්නත් ඒගොල්ලන් එක්ක විනෝද වෙමින් කතා බහ කරන්නත් මට ඕනේ. සර්ව සම්පූර්ණ මවක් වෙන්න වෑයම් කළත් මට එහෙම වෙන්න බැහැ.”

කියවන්න :  Bedtime Story - කැලේට ලොක්කා..

දරුවන් ඉල්ලන කාලය කාන්තාවන් පැය ගණනාවක් තම දරුවන්ගෙන් ඈත් වී සිටින විට දරුවන්ගේ ප්‍රධානතම අවශ්‍යතාව වන තම මව්වරුන්ගේ කාලය සහ අවධානය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. බ්‍රසීලයේ දරුවන් පිළිබඳ මනෝ චිකිත්සකයෙක් වන ෆ’නැන්ඩා ඒ. ලීමා  සඳහන් කරන්නේ මවකගේ කාර්යභාරය හොඳම ආකාරයෙන් ඉටු කළ හැක්කේ මවකට පමණක් බවයි. “දරුවෙකුගේ ජීවිතයේ වඩාත්ම තීරණාත්මක අවධිය වන්නේ ඔහුගේ ජීවිතයේ මුල් අවුරුදු දෙකයි” කියා ඇය පවසනවා. “ඒ වයසේදී, මව තමා සමඟ නැත්තේ ඇයි කියා තේරුම්ගැනීමට තරම් දරුවාට හැකියාවක් නැහැ.” දරුවාගේ ඕනෑ එපාකම් බලාගැනීම සඳහා මව වෙනුවට වෙනත් කෙනෙකුව තබා යන්න පුළුවන් වුණත්, එම පුද්ගලයාට මවගේ තැන ගත නොහැකියි. “මවගේ සෙනෙහස තමාට ලැබෙන්නේ නැහැයි කියා ළදරුවාට දැනෙනවා” කියා ඇය තවදුරටත් පවසනවා.

එක් පෞද්ගලික ආයතනයක පූර්ණ කාලීන රැකියාවක් කරන මවක් මෙසේ පවසනවා. ‘මට මං ගැනම ලොකු කනගාටුවක් දැනුණා. මට දැනුණේ හරියට මගේ චූටි දූව මං ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ අතරමං කරලා යනවා වගේ. තමාගේම දරුවාගේ වර්ධනය අත්විඳින්න බැරි වුණාම හරිම දුකක් දැනෙනවා. අනිත් එක දරුවා මාත් එක්ක ඉන්නවාට වඩා ඒ ආයතනයේ ඉන්න කැමතියි කියලා දැනගත්තාම හරිම අමුතු හැඟීමක් ඇති වෙනවා. මෙහෙම කාලයක් ගතවෙනකොට දරුවාට අම්මාව අඳුරගන්න බැරිව යනවා. එයාව හදා වඩා ගන්නේ නැති හින්දා අම්මාට ගරු කරන්නෙත් නැහැ. දරුවා දන්නවා එයාගේ අම්මා කවුද කියලා. හැබැයි වැඩි කැමැත්තක් දක්වන්නේ එයාව බලාගෙන ඉන්න කාන්තාව එක්ක ඉන්නයි.”

අනාගතය ගොඩනැගීම නූතන මාතෘත්වය තුළ ඇති කාර්යභාරය අතීතයට බඩා බෙහෙවින්ම සංකීර්ණයි. දරුවන්ගේ අනාගතය සාර්ථකව ගොඩනැගීමේ විශාලතම අභියෝගය භාරගන්න සිදුවන්නේ මවටයි. එහෙත් සමාජ, ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පසුබිමක සිට වඩාත් පුළුල්ව අවබෝධ කරගත යුතු සහ සියලු දෙනාගේ සුවිශේෂ අවධානය යොමුවිය යුතු කරුණු රාශියක් ඒ තුළ තිබෙනවා. වෙහෙස මහන්සි වී තම දරුවන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන මිලියන ගණන් කඩිසර මව්වරුන් අනාගතය ගොඩනගන්නට  දරන උදාර වෑයම කිසිවෙක් කිසිලෙසකින්වත් අමතක නොකළ යුතුයි.

-නිරංජලා-