ඈත දුර ආකාසේ -32

“ඔක්කොම නඩු ඉවර වෙලා ආදිත්‍ය එනකන් ඔයා බලන් ඉන්නවද?”

රොෂේන් රශ්මිගෙන් ඇසුවේ ආදිත්‍ය ඇප ලබා නිවසට ආ දිනයේ ය.තුරුලි දෙවුර ගස්සා රොෂේන් දෙස බැලුවේ අපහාසාත්මක මුහුණකිනි.

“ඔය නඩුව කොච්චර කලක් ඇදෙයිද දන්නවයැ”

ඇය එසේ කියා ජංගම දුරකථනයට මුහුණ ඔබා ගත්තා ය.නමුත් රොෂේන්ට මාතෘකාව තවදුරටත් ඇදගෙන යාමේ උවමනාවක් දැනිණ.

“කිඩ්නැප් සීන් ලේසි නෑ. තුරුලිගෙ තාත්තත් එන්න ඇත්තෙම ඕකටනෙ.ආදිත්‍ය අවුරුදු දෙක තුනකට හරි ඇතුළෙ තමා.අනික අර හොර ඩොකියුමන්ට්ස් හදපුවා..”

රශ්මි මොහොතක් නිහඬව සිටියා ය.ඇයට මේ ප්‍රශ්නය ගැන ඇගේ අදහසක් වූ අතර එය රොෂේන්ට හෙළි කළ යුතු බව ඇය සිතුවා ය.

“මෙහෙමනෙ,ඇත්තටම අපිට යාලුවෝ හැටියට කරන්න දෙයක් නෑ.අපි එයාට තුරුලි කිඩ්නැප් කරන්න කීවේ නෑනෙ.එක්කො ඔය මැරේජ් එක හරියට කරන්න තිබ්බ.එහෙම කරානම් කිඩ්නැප් කරන ප්ලෑන් එක හැදුවෙ තුරුලි එක්ක කියලවත් කියන්න තිබ්බා.”

රශ්මි එසේ කියද්දී රොෂේන් වහා මැදට පැන්නේ ය.ඇය කියන කතාවල අසත්‍ය තැන් නැතිවාම නොවේ.

“මට ප්‍රශ්න දෙකක් තියනව.පළවෙනි එක, ඇත්තටම ඔයාල යාලුවොද.පහුගිය කාලෙ ඔයාලා දෙන්න විතරක් ගිය ට්‍රිප් එහෙම අනන්තවත් තිබ්බෙ.අනික ඉතිං මට ආදි කිව්වෙ ඔය කිඩ්නැප් අයිඩියාස් සම්පූර්ණයෙන් දුන්නෙ ඔයා කියලනෙ..”

ප්‍රේමයක සේයාවකුදු නොතිබී ආදිත්‍යට බොහෝ සමීපව කාලය ගත කළ අන්දම රශ්මි වහා අමතක කර දැමුවා ය.ඇය ඔහු බොහෝ දේ වෙනුවෙන් පාවිච්චි කළා ය.තුරුලි විවාහ කර ගන්නා ඒකායන බලාපොරොත්තුවක සිටි ආදිත්‍ය තමන් ද නැතිවම බැරි චරිතයක් කර ගත් අන්දම ඇය සිහි කළේ සිනාවක් අතරිනි.සැබැවින්ම ඇයට ආදරය උවමනා වූයේ නැත.ලබා ගන්නට අරමුණු පමණක් බොහෝ විණි

“ආදි ආපහු ආවම ඌව මැරි කරන්න රශ්මි.ඔයාගෙ සැලෝන් එක තියනවනෙ..ආදිටත් මොකක් හරි බිස්නස් එකක් සෙට් කරමු..”

ආදිත්‍යගේ මුදල් කඩාවඩා ගනිමින් ඇය ඉදිකර ගත් රූපලාවණ්‍යගාරය සිහි කරමින් රොෂේන් කියද්දී රශ්මි ඉතා උස් හඬින් හිනැහෙන්නට පටන් ගත්තා ය.

“ඔයා මට විහිලු කරනවද රොෂේන්..මං කොහොමත් මැරි කරන්න ආස නෑ.ආසාවක් ආවත් ඒ වගේ නිකමෙක් මැරි කරන් නෑ..”

තුරුලි වැනි අහිංසක යුවතියක බිරිඳ කරගෙන රශ්මි අනියම් බිරිඳ ලෙස තබා ගන්නා සිහිනවල ගිලී සිටි ආදිත්‍යට දැන් කිසිවෙකුත් ඉතිරි නැති වග සිහි වූ රොෂේන් සුසුමක් හෙලී ය.තුරුලි සමඟ යහපත් ලෙස ජීවත් වූවානම් ඉතා සාර්ථක ජීවිතයක හිමිකාරයෙකු වන්නට ඔහුට නොතිබුණා දැයි රොෂේන් සිතුවේ ළතැවිල්ලෙනි.

“අර ආදිත්‍යගෙ අම්මා ඇවිල්ලා..”.

තුරුලිගේ අම්මා රූපවාහිනිය ඉදිරිපිට හුන් සැමියා වෙත ආවේ නොසන්සුන් මුහුණකිනි.සඳලි විශ්ව විද්‍යාලයටත් තුරුලි රැකියාවටත් ගොස් හිඳීම ඇයට මහත් සහනයක් විණි.

“අදත් ඇවිල්ල පොල් ගහපුවයි මොන මොනව හරි කියවල යයි රවි.මගෙ ඔලුව විකාර වෙනව මේවට..”

තාත්තා කෙනෙකු කම්පිත කරන්නට අපහසු ය.ඔහු සන්සුන් මුහුණකින් ප්‍රතිවාදිනිය වෙත ආවේ ය.ලොකුකම් අහකින් තබා සමාව යදින්නට ආ ගැහැනිය පුතුගේ නිදහස ඉල්ලා කන්නලව් කරන අන්දම ඔහු අසා සිටියේ ය.

“ඒක දැන් උසාවියේ විබාග වෙන නඩුවක්නෙ ආදිත්‍යගේ අම්මේ.අපිට බෑ දැන් මොකුත්ම කරන්න..”

ඇය පිංසෙණ්ඩු වන අන්දම දරා ගත නොහැකි තැන තුරුලිගේ අම්මාම ළතැවුලෙන් කීවා ය.අම්මා කෙනෙකුට ඒ තරම් හඬන්නට වීම ගැන ඇයට දැනුණේ සැබෑ වේදනාවකි.තමන්ගේ වේදනාව සහ ඇගේ වේදනාව අහසට පොළොව මෙන් වුවද කාගේත් වේදනා වේදනාවක්ම බව ඇය සිතුවා ය.

බුරුලක් නොලැබෙන තැන පිටත් වන්නට ගිය ආදිත්‍යගේ අම්මා තමන්ගේ සුපුරුදු රටාවට වහා එළඹුණා ය.

“ඒ ළමයි දෙන්න ආදරෙන් හිටිය.අර මියුරුලගෙ ඉනාව කනකං.ඊටපස්සෙ තමයි තුරුලි වෙනස් උනේ.ඔය ගුරුකං කරල අල්ල ගන්න කසාද වැඩිය යාදෙන් නෑ.මාත් ජීවත් වෙයිනෙ.අපිට පෙනි පෙනිම ඕවා කැඩිල යයිනෙ.එදාට මං ආයෙත් එන්නංකො..”

තුරුලිගේ අම්මා තෝන්තුවාවෙන් හිඳ ගත්තා ය.බොහෝ කාලයක් තනිව දරා ගත් වේදනාව ඇය සැමියාගේ උරහිසේ හිස හොවාගෙන දිය කර හැරියා ය.

“මේ ළමයා මේ කරගත්තු දේ ගැන මට පුදුම වේදනාවක් දැනෙන්නෙ රවි.ඔය සම්බන්දෙ පටන් ගත්තු කාලෙම මමයි චූටියි කොච්චර ට්‍රයි කරාද ඕක නවත්තන්න.ඒත් ඇහුවෙම නෑනෙ.මෙච්චර විනාසයක් වෙනකම්ම හිටියනෙ මේකෙම එල්ලිලා..”.

ඇය හඬමින් පවසද්දී ස්වාමියා ඇගේ හිස පිරි මැද්දේ ය.සැපපහසුකම් අඩුවක් නොකර ඔවුන්ට දුන්න ද පියෙකුගේ සහ සැමියෙකුගේ ආදරය තමන් අතින් ඔවුන්ට ලැබුණා දැයි රවි මහතා සිතුවේ වේදනාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles